කෙළිබිම සුපතළ ජ'පුර නම - සේසත්

කෙළිබිම සුපතළ ජ'පුර නම - සේසත්

"Mora Elle Champions Trophy 2019"හොඳම පිතිකරු ලෙස අබිසෙස් ලැබූ ඔහු සේසත් අනුරාධ මල්පෝරු...., නැතිනම් ජ'පුර කවුරුත් ආදරෙන් හඳුන්වන මද්දා. සරසවි කෙලිබිමේ සිටින විශිෂ්ටයන් අතර අති විශිෂ්ටයන් සොයා යන චාරිකාවේ හමුවන මීලඟ දක්ෂයා ඔහුයි. ක්‍රීඩාව සහ අධ්‍යාපනය යන දෙකම සම සම ව පවත්වාගෙන යමින් 2017-2018 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එල්ලේ කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කල සේසත් සිය අධ්‍යාපනයට අමතරව ක්‍රීඩාව තුලින් විශ්වවිද්‍යාලය ජීවිතය තුළ අත්පත් කරගෙන ඇති ජයග්‍රහණ බොහොමයක් වෙයි.

 

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය අලෙවි කලමණාකරණ අධ්‍යයනාංශයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබන සේසත්, මෙම සිව් වසර තුළදී එල්ලේ ක්‍රීඩාවට සේම ක්‍රිකට් ක්‍රීඩාවට ද සිය උපරිම දායකත්වය ලබා දීමට සමත්ව ඇත. ඒ අනුව සිය ප්‍රථම වසරේදී දැක්වූ මූලික දක්ෂතා හේතු කරගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය එල්ලේ කණ්ඩායමට ඇතුළත් වූ ඔහු එම වසරේ ම (2016) ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා සංගමය පවත්වන ක්‍රීඩා උලලේදී (SLUSA) අන්තර් විශ්වවිද්‍යාලයීය එල්ලේ තෙවන ස්ථානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ අතර එම වසරේදීම වැඩිම ලකුණු රැස් කල එල්ලේ පිතිකරුවා ලෙස ජ'පුර වර්ණ රාත්‍රියේ වර්ණ දිනා ගැනීමටද සමත්කම් දැක්වීය.

 

ඒ අනුව, එල්ලේ ක්‍රීඩාවට අදාලව මේ වන විට ඔහු දිනා ඇති ජයග්‍රහණ අතර 2016,2017,2018 SLUSA ක්‍රීඩා උළෙලේ දී එල්ලේ ක්‍රීඩාවට අදාලව වර්ණ දිනා ගැනීම,එල්ලේ ක්‍රීඩාව සඳහා 2016, 2017, 2018 වසරවල අඛණ්ඩව ජ'පුර වර්ණ දිනා ගැනීම සහ 2019 දී නිර්දේශිත නාම අතරට එක් වීම සටහන් කල හැකිය. 2017/18 ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එල්ලේ කණ්ඩායම් නායක ලෙස කටයුතු කරන විට සිය නායකත්වය යටතේ වසර අටකට පසුව අන්තර් විශ්වවිද්‍යාලයීය එල්ලේ ශූරතාවය ජ'පුර මව් තුරුලට ගෙන ඒමට සිය කණ්ඩායම ගෙන යාමටද සේසත් අනුරාධ සමත් විය. මීට අමතරව 2019 SLUG තරගාවලියේ දී එල්ලේ ශූරතාවය දිනූ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසද ඔහු සිය දක්ෂතා පෙන්නුම් කර ඇත.

 

ක්‍රීඩාව චමත්කාරජනකය. එහි සීමා මායිම් නැත. සිය හැකියාව, වගවීම සහ කැපවීම මත තමාට අභිමත මාවත් කිහිපයකින් ඉහලටම යාමට ක්‍රීඩකයෙකුට හැකිය.එලෙසම සේසත් අනුරාධ ද, එල්ලේ ක්‍රීඩාව ලෙසම ක්‍රිකට් ක්‍රීඩාවද සිය දක්ෂතා එළිදැක්වීම සඳහා තෝතැන්නක් කරගත් අයෙකි. ඒ අනුව ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය මගින් පවත්වන " Sagara Sixes" ක්‍රිකට් තරඟාවලියේ දී , ක්‍රීඩකයෙකු ලෙස ශූරතාවය, හොඳම පිතිකරු සහ තරඟාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට 2018 වසරේදී ඔහු සමත් විය. එලෙසම, J’pura Sixes තරඟාවලියේ හොඳම පිතිකරු සහ තරඟාවලියේ අනුශූරතාවය ද, J’pura Premier League තරඟාවලියේ හොඳම පිතිකරු ලෙස 2017 දී සහ තරඟාවලියේ වීරයා ලෙස 2018 දී ද වර්ණ දිනාගැනීමට සේසත්ට හැකි විය. තවද Creative Sixes Inter University 2019 ක්‍රිකට් තරඟාවලියේදී ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම් ශූරතාවය දිනාගැනීමට සිය දායකත්වය නොඅඩුව සැපයීමට ඔහුට අවස්ථාව ලැබුනි.

 

මෙලෙස නොකඩවා කෙලිබිමේ අබිසෙස් ලබන්නට අඩිතාලම ලැබුනේ සිය පාසලෙන් බව සේසත් කෘතගුණ පූර්වක ව පවසයි. සිය පාසල් අධ්‍යාපනය බුත්පිටිය මහා විද්‍යාලයෙන් ලබා ගන්නා ඔහු එහිදී පාසල් ක්‍රීඩා නායක ලෙස ද , 15 න් පහල පාපන්දු නායක ලෙසද , 17 න් පහල ක්‍රිකට් සහ එල්ලේ නායක ලෙසද කටයුතු කර ඇත. පාසලෙන් ලද ඒ අඩිතාලම විශ්වවිද්‍යාලය තුලදී ශක්තිමත් අත්වැලක් කර ගෙන තමා ඉදිරියට ගිය බව ඔහු පවසයි. තව ද සිය ජීවිතය සහ ඉගෙනුම සමබර කරගැනීමට ද ක්‍රීඩාව මහත් රුකුලක් වූ බව සේසත් පවසන්නේ නිහතමානී ආඩම්බරයකිනි. එමෙන්ම ක්‍රීඩකයෙකු ලෙස ආ ගමන් මගේදී මුහුණ දුන් ජයග්‍රහණ සේම කටුක අත්දැකීම්වල්දී ද තමාව නොමදව දිරිමත් කල සිය පවුලේ සාමාජිකයන් සියලුම දෙනා තමාට වර්තමානයේ ද විසල් ශක්තියක් බව ඔහු සඳහන් කරයි. එලෙසම සිය පුහුණුකරු ලෙස කටයුතු කරන සුදර්ශන කීර්තිරත්න මහතා ද, සහය පුහුණුකරු ලෙස කටයුතු කරන ඩිල්ශාන් චතුරංග මහතාව ද ඔහු ගෞරව පූර්වකව සිහිපත් කිරීමට අමතක නොකලේය.

 

තරඟයක් අවසානයේ තම කන්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දින, සති, මාස ගණන් තම කාලය සහ ශක්තිය කැප කිරීමට ඕනැම ක්‍රීඩකයෙකුට සිදුවේ. සමහරවිට ක්‍රීඩාව නිසා ඔහුට අහිමි වන්නේ ඔහුගේ විවේක කාලයයි; නැතහොත් ලබැඳියන් සමග ගත කරන කාලයයි. එසේ වුවද එම අසීමාන්තික කැප කිරීම් අග ලබන එකම තෘප්තිය ක්‍රීඩාවෙන් ලබන අමිල අත්දැකීම් ය. ගෙවුන කාලය පුරාම තමා අත්විඳි සුවිශිෂ්ටම ජයග්‍රහණය එය බව සේසත් පවසයි. "ඔබට ක්‍රීඩාවේ දක්ශයෙකු වීමට අවශ්‍ය නම් ක්‍රීඩාවට ආදරය කරන්න" යන්න ඔහු ඔබෙන් ඉල්ලන ඉල්ලීමයි.

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය නාමය කෙලිබිමේ රඳවන්නට නොනිමි මෙහෙයක් කල සේසත් අනුරාධ මල්පෝරු, ඔබට අනාගතයේත් දෙස් විදෙස් ක්‍රීඩාව ජයගැනීමට හැකිවේවා යන්න MoraSpirit අපගේ පැතුම වන අතර අප සමග ඔබගේ අත්දැකීම් බෙදා ගැනීමට එක් වීම සම්බන්ධවද අප ඔබට විශේෂයෙන් ස්තූතිවන්ත වෙමු. සුභ පැතුම් !

 


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments