ජ'පුර බේස්බෝල් නව මානයකට ගෙනා හදවතේ පුහුණුකරු

ජ'පුර බේස්බෝල් නව මානයකට ගෙනා හදවතේ පුහුණුකරු


විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුභසිද්ධිය උදෙසා සැමදා නොමදව කටයුතු කරන MoraSpirit අපි ක්‍රීඩා පුහුණුකාර ගුරැභවතුන් ඇගැයිමේ අරමුණ ඇතිව Coach of the Heart යනුවෙන් තරගවලියක් සංවිධානය කර ඇති බව ඔබ මේ වනවිට නොදන්නා කරුණක් නොවේ.

එහි පලමු අදියර ජයග්‍රහණය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය බේස්බෝල් ක්‍රීඩාවේ පුහුණුකරු වන විහග ද සිල්වා මහතා සමග සුහද පිලිසදරක යෙදෙන්නට අපට හැකියාව ලැබුණි. එහිදි ඔහු අප හා බෙදාගත් අදහස් මේ ලිපියෙන් ඔබ හා බෙදාගැනීමට අප තීරණය කළෙමු.

විහඟ ද සිල්වා කවුරුන්දැයි හඳුන්වා දුන්නොත්,

මම මං ගැන හිතන විදියට කිව්වොත්, පොඩි කාලේ ඉදන් යාලුවොත් එක්ක එකට සෙල්ලම් කරලා විනෝද වෙන්න කැමති කෙනෙක්.

ඔබගේ ක්‍රීඩා දිවිය එළිය කරන්නට පාසැල හා පවුලෙන් විශාල පිටිවහලක් වෙන්න ඇති?

මම 1 වසරේ ඉදන් 5 වසර වෙනකන් පාසල් ගියේ පුත්තලම දිස්ත්‍රික්කයේ මගේ ගමේ පු/අඟුණවිල කණිෂ්ඨ විද්‍යාලයට. 5 වසර ශිෂ්‍යත්වය සමත්වෙලා ඊට පස්සේ කොළඹ ආනන්ද විද්‍යාලයට එනවා. එතනින් තමා මගේ ක්‍රීඩා ජීවිතය පටන්ගන්නේ.

පාසැල පැත්තෙන් ගත්තොත්, පාසලෙන් පාසලේ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වලට වගේම ක්‍රීඩා කටයුතු වගේ විෂය පරිබාහිර කටයුතුවලටත් ලොකු සහයෝගයක් ලබාදෙනවා. ඒවගේම මම කොහොමත් පොඩි කාලේ ඉදන් මොකක්ම හරි ක්‍රීඩාවක් කරනවා කියලා තමා ඉදියේ. ආනන්ද විද්‍යාලයට ආවට පස්සේ මම ඉදියේ නේවාසිකාගාරයේ. නේවාසිකාගාරයන් දීල තියෙන කාලසටහන අනුව එකේ ක්‍රීඩා කරන්නත් වෙලාවක් වෙන් කරලා තිබුණා. ඒක නිසා මම 6 වසරේ ඉදන් ක්‍රීඩා කරන්න ගියා. අම්මා, තාත්තා පැත්තෙන් ගත්තොත්, එයාලා පොඩි කාලේ ඉදන් මුකුත් බලපෑම් කලේ නෑ මේ මේ දේවල් කරන්න කියලා. මම කොළඹ ඉන්න නිසා පවුලෙන් පොඩ්ඩක් ඇත් වුනත් 6 වසරේ ක්‍රීඩා කරන්න ගත්ත දවසේ ඉදන් දිගටම අවශ්‍ය හැම දෙයක්ම අරන් දීල අවශ්‍ය සහයෝගය ලබාදුන්නා මිසක කවදාවත්ම ඔයා මේකම කරන්න ඕනි මේක කරන්න එපා කියලා බලපෑම් කළේ ම නැහැ. උසස් පෙළ කරන කාලේදී සමහර අය ක්‍රීඩා කරන එක නවත්තනවනේ, එහෙම මුකුත් බලපෑමක්වත් ගෙදරින් ආවේ නැහැ. 

පාසල් ජීවිතය හරි අපුරුයි. සුන්දරයි. ඔබතුමාටත් සුන්දර මතකයන් ඇති. ඉතින් අපිත් එක්ක ඒ සුන්දරවූ කාලයේ ඔබගේ ක්‍රීඩා දිවි ගමන පිළිබව බෙදා ගන්නවා නම් අපි කැමතියි.

මුලින්ම මම ක්‍රීඩාවක් විදිහට කලේ පාපන්දු සහ ක්‍රිකට්. ඒ ක්‍රීඩා දෙකෙන් නම් මම ලොකුවට ඉස්සරහට ගියේ නැහැ. නමුත් සාමාන්‍ය පරිදි කරගෙන ගියා. පස්සේ 7 වසරේදී, ඒ කියන්නේ 2004 දි තමා මම බේස්බෝල් ගහන්න යන්නේ. එතනින් තමා මම ඉස්සරහට යන්නේ. ඒ විදිහට කරගෙන යද්දී 14න් පහළ, 19න් පහළ බේස්බෝල් කණ්ඩායම් නායකයා වෙන්න මට හැකිවුණා. ඒ වගේම 2009 අවුරුද්දෙ දි බේස්බෝල් ජාතික කණ්ඩායම් සංචිතයට(Baseball National Team Pool) සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම පාසල් ජීවිතෙන් පස්සේ මෙතෙක් කාලයක් Old Ananda Baseball Club එක වෙනුවෙන් ක්‍රීඩා කරනවා.

පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය තුල ඔබතුමා ලබාගත් ජයග්‍රහණයන්ගෙ අතීත මතකයන් මදකට අවදි කලොත්, බොහෝ තොරතුරු ඇති කතාකරන්න.

මගේ නායකත්වය යටතේ, 2005 අවුරුද්දේ 14න් පහළ සමස්ත ලංකා බේස්බෝල් තරගාවලියේ දී අපේ කණ්ඩායමට අනු ශුරතාව හිමි කර කරගන්න පුළුවන් වුනා. ඊට පස්සේ, මම 10 වසරේ හිටපු කාලේදී පාසලේ අවුරුදු 19 න් පහල බේස් බෝල් කණ්ඩායමට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුනා. එහෙම ඉද්දි අපිට 2006 අවුරුද්දේ අවුරුදු 19 න් පහල සමස්ත ලංකා බේස් බෝල් knockout තරගාවලියේ A division එකේ ශුරතාවය ලබාගන්න පුළුවන් වුනා. ඒවගේම 2009 අවුරුද්දෙදිත් මගේ නායකත්වය යටතේදීම අපේ බේස් බෝල් කණ්ඩායමට අවුරුදු 19 න් පහල සමස්ත ලංකා බේස් බෝල් තරගාවලියේදී තුන් වෙනි ස්ථානය ලබාගන්න පුළුවන් වුණා වගේම මට Best batter වෙන්න හැකි වුණා.

පාසල් ජීවිතෙන් පසු ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස කරලියට පැමිණෙන්නේ කෙසේද? එදා සිට ඔබ මෙතෙක් ආ ගමන පිලිබදව සදහන් කරනවානම්.

උසස්පෙළින් පස්සේ මම තවත් අවුරුද්දක් පාසල් ගියා prefect guide - senior executive board එකේ වැඩ කටයුතුවලට. ඒ කාලය තුලදී ඉගෙන ගැනීමේ වැඩ කටයුතුත් නොමැති නිසා පාසල් බේස්බෝල් කණ්ඩායමේ පුහුණුවීමේ වැඩකටයුතුවලට සහය වෙනවා. එහෙම යද්දී ඒ කාලයේ පාසලේ හිටපු බේස් බෝල් පුහුණුකරුට පෞද්ගලික හේතුවක් මත විදේශ ගතවෙන්න සිදුවෙනවා. ඒ හේතුව නිසා තිබුණු වාතාවරණයත් එක්ක මට 2013, 2014 අවුරුදුවලදී පාසල් කණ්ඩායමේ පුහුණුකරු විදිහට වැඩ අරඹන්න සිද්ද වෙනවා. ඒක ඇත්තටම අහඹු සිදුවීමක්‌. කොහොමහරි එහෙම තමයි, මම පුහුකරුවෙක් විදියට එන්නේ. ඔහොම ඉද්දි අපේ පාසලේ කලින් බේස්බෝල් නායකයෙක් වුණු, 2014 ජ'පුර බේස්බෝල් නායකයා මගෙන් අහනවා ජ'පුර බේස්බෝල් පුහුණුකරු විදිහට එන්න පුලුවන්ද කියලා. ඒ අනුව මම ඒ සදහා අයදුම් කරනවා. එහෙමයි මම 2015දි වෘත්තියම වශයෙන් පුහුණු කරුවෙකු විදිහට සේවයට එන්නේ. ඒ වගේම කියන්න ඕනි, මගේ බේස් බෝල් ක්‍රීඩා ජිවිතයට උප්පත්තිය ලබාදුන් ආනන්ද විද්‍යාල මාතාව වෙනුවෙන් ආනන්ද විද්‍යාලීය බේස්බෝල් පුහුණු කරු ලෙස නැවතත් සේවය කරන්න 2020 මේ අවුරුද්දේදී ආරාධනා ලැබුනා.

ජ’පුරේ බේස්බෝල් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ඔබ තුමාගෙන් ලද සහයෝගය අතිමහත්. එහි පුහුණුකරු වශයෙන් දිගු කාලයක් සේවය කරන ඔබ ඒ පිලිබදව දක්වන අදහස් මොනවාද?

2015 ජනවාරි මාසෙදි තමයි ජ'පුර බේස්බෝල් කණ්ඩායම සමඟ මං සම්බන්ධ වෙන්නේ. එකෙන් තමා මාව හැමෝම පුහුණුකරුවෙකු විදිහට හදුනාගත්තේ.

ඒවගේම කියන්න ඕනේ physical division ඇතුළුව විශ්වවිද්‍යාලය පැත්තෙන් මට හම්බුනු සහයෝගය ගොඩක් වැඩියි. ඒවගේම 2015 අවුරුද්දේ ඉදන් අද වෙනකන් හිටපු බේස්බෝල් කණ්ඩායම්වලින් පුහුණුවීම් කටයුතු වලදී ලොකු සහයෝගයක් ලැබුනා. 

ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස ගෙවන ජීවිතය තුලදී ඔබ අත්දුටු කිසිදා නොමියෙන මතකයන් තිබේනම් ඒ පිලිබදව පැවසුවහොත්....

ජ'පුර බේස්බෝල් පුහුණුකරුවා විදියට කටයුතු කරන ජීවිතය තුලදී, 2015 වෙනකොට තිබ්බ ලොකුම අභියෝගය තමයි ඊට කලින් ශූරතාවයක් අරන් තිබ්බේ නැති එක. නමුත් අපිට 2015 වසරේදී අන්තර් විශ්ව විද්‍යාලයීය ශුරතාවය ලබාගන්න පුළුවන් වුනා. ඒක ඇත්තටම අමතක නොවෙන සිදු වීමක්. මොකද ඒක මගේ පුහුණුකරුවෙකු ලෙස ගෙවුණු ජීවිතයේ පළවෙනිම ශූරතාවය වගේම ජ'පුර බේස්බෝල් කණ්ඩායමේත් පළවෙනිම ශූරතාවය. 2016 අවුරුද්දෙදි තිබ්බා SLUG එකක්. කලින් අවුරුද්දේදී ශුරතාවය දිනාගන්න පුළුවන් වුණු නිසා සහ එතෙක් කාලයක් SLUG ශුරතාවයක් දිනාගෙන තිබ්බේ නැති නිසාත් හැමෝගෙම අවධානයට ලක්වෙලා තිබ්බේ ඒ අවුරුද්දේ ශුරතාවය ගැන. ඒකෙදී තිබ්බ පළවෙනි තරගය අපි පරදිනවා. ඒත් අපි group එකේ දෙවනියා වෙලා, අවසානයේ ඒ අවුරුද්දෙත් ශූරතාවය ගන්න අපිට පුළුවන් වෙනවා. SLUG ශූරතාවයකදි පරදින්න ගිහින් එහෙම ශූරතාවය හිමිවීම ඇත්තටම විශේෂයි. පහුගිය අවුරුද්දෙත් SLUG ශූරතාවය අපිට දිනාගන්න හැකියාව ලැබුණා. එකේදී නම් අන්තිම මොහොත වෙනකන් හිතාගන්න බැරුව තිබුණෙ ශූරතාවය ගැන. නමුත් අවසාන මොහෙතේදී අපිට නැවතත් ශූරතාවය දිනාගන්න හැකි වුනා. වෘත්තියම වශයෙන් ආනන්ද විද්‍යාලයේ බේස්බෝල් පුහුණුකරුවා විදිහට නැවතත් සේවයට සම්බන්ධ වෙන්න පුළුවන් වෙනවා මට මේ අවුරුද්දේ. 2020දි. ඒගැන කතා කලොත්, 2019 අවුරුද්දේ පවත්වන්න නියමිතව තිබුණු 2019 සමස්ථ ලංකා බේස්බෝල් තරගාවලිය 2020 ජනවාරි මාසයේදී තමයි පවත්වන්නට වෙන්නේ. එකේදී, ආනන්ද විද්‍යාලීය අවුරුදු 14න් පහල බේස් බෝල් කණ්ඩායමට අනුශුරතාවය හිමිකරගන්න හැකියාව ලැබුනා. එක මට ඇත්තටම සුවිශේෂයි. මොකද ආනන්ද විද්‍යාලයෙන් තමයි මගේ බේස්බෝල් ක්‍රීඩා ජිවිතයට මුල් පොත් තැබුවේ.

වත්මන් තරගකාරී අධ්‍යාපනික පද්ධතිය තුල, ක්‍රීඩාවට අධ්‍යාපන කටයුතු බාධාවක්ද?

පාසල් යන කාලේදී මම නම් බේස්බෝල්වලට අමතරව තවත් ක්‍රීඩාවලට වගේම විෂය බාහිර කටයුතුවලටත් සම්බන්ද වුණා.

දැන් තියෙන තරගකාරී අධ්‍යාපන පද්ධතිය ඇතුලේ පාසල් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියන්නේ දෙකක්‌ කියල ගත්තොත්, මම දකින විදිහට දරුවෝ දෙමාපියන් සමග සිටීමත් එක්ක ඔවුන්ගෙන් ඇතිවෙන බලපෑම සහ පවතින නීති රීති හමුවේ පාසල් අධ්‍යාපනයෙන් සිදුවෙන බාධාව වැඩියි. බොහෝවේලාවට තියෙන තරගකරී විභාග වාතාවරණයත් එක්ක බහුතරයක් දෙනාට අතරමගදී ක්‍රීඩාව අත්හරින්න සිදුවෙනවා. විශ්ව විද්යාලයේදී ගත්තොත් කණ්ඩායමක් සැලකුවොත් හැම පීඨයකින්ම දරුවෝ පුහුණුවීම් වලට සහභාගී වෙනවා. කොහොම වුනත් විශ්වවිද්‍යාලය තුළදී ප්‍රධාන අරමුණ වෙන්නේ ඉගෙනීමේ කටයුතුයි. ඒ වගේම Inter University Games, SLUG වගේ තරගාවලි පවත්වන්නේ අධ්‍යාපනික කටයුතුවලට බාධාවක් නොවෙන ආකාරයටනේ. ඒවගේම මේ වෙද්දී දරුවෝ ඉන්න වයසත් එක්ක තමන් ගේ වැඩ තනියෙන්ම කරගෙන ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් තත්ත්වෙකට ඇවිත්නේ ඉන්නේ. ඒනිසා මම දකින ආකාරයට විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් නම් එතරම් බාධාවක් ක්‍රීඩාවට ඇතිවෙන්නේ නැහැ.

පුද්ගලික ජීවිතය තුලදී හෝ ක්‍රීඩා ජිවිතයතුලදී ඔබ අනුගමනය කරන ආදර්ශකයෙකු සිටිද? එයට හේතුව?

පුද්ගලික ජීවිතේදී ගත්තොත් මම හිතන්නේ පොඩි කාලෙ ඉදන් තාත්තා වගේ වෙනවා කියල තමයි. මොකද එයා තමයි පොඩි කලේ ඉදන් මාව හොඳටම දන්න, අදුරන කෙනා. ක්‍රීඩා ජීවිතය තුලදී ගත්තොත් සමහර කෙනෙක් මම මෙයා වාගේ වෙනවා කියල හිතාගෙන ඉන්න පුළුවන්. නමුත් මගේ ක්‍රීඩා ජීවිතය තුලදී මම එහෙම අනුගමනය කරනවා කියල කෙනෙක් නම් නැහැ .නමුත් මම කැමති බේස්බෝල් ක්‍රිඩකයෝ තිදෙනෙක් ඉන්නවා. Yadier Molina, Mike Trout, සහ Christian Yelich.

වත්මන් ජවසම්පන්න නවක ක්‍රීඩා පරපුරට ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස ඔබ තුමාට ලබා දිය හැකි උපදේශයක් තිබේනම් මේ ඒ සදහා වෙලාව.

බේස්බෝල් නෙමෙයි ඕනෑම ක්‍රීඩාවක් ,අපි ඒක අවුරුද්දක් දෙකක් කරන්න පුළුවන්, විශ්වවිද්‍යාලයේ ඉන්න තාක් වෙන්න පුළුවන් ඒක කරන්නේ. ඒ කෙසේවෙතත් අපි මොකක්ම හරි දෙයක් කරනවානම්, යන්න පුළුවන් උපරිම තැනට යන්න අධිශ්ඨානය, කැපවීම, ආත්ම විශ්වාසය ඇතිව කටයුතු කරන්න කියල තමයි කියන්න ඕන. මොකද තමා තමන් ගැන විශ්වාසයෙන් වැඩ කටයුතු කරනවනම් අනිවාර්යෙන්ම ඉස්සරහට යන්න පුළුවන්. යන්න පුළුවන් උපරිම තැනට නොගියත් ඒ ආසන්න මට්ටමට හෝ යන්න හැකියාව අනිවාර්යයෙන්ම ලැබෙනවා. 

විශ්වවිද්‍යාල ක්‍රීඩා පුහුණුකාර ගුරුභවතුන් ඇගයිම උදෙසා MoraSpirit අපි Coach of the heart වගේ වැඩසටහන් කිරීම පිලිබදව ඔබ තුමාගේ අදහස් දැනගන්න කැමති...

මුලින් ස්තුතිවන්ත වෙන්න ඕනි MoraSpirit එකට මේ වගේ වැඩසටහනක් සංවිධානය කරපු එකට. 

මම දකින ආකාරයට සමස්ත ක්‍රීඩා පුහුණුකරුවන් ඇගයීම උදෙසා මෙවැනි වැඩසටහනක් සංවිධානය කරන පළමුවෙනි වතාව. එවෙනි දෙයක් සංවිධානය කිරීම ඉතාමත් හොදයි. මොකද විශ්වවිද්‍යාල මට්ටමට පරිබාහිරව පුහුණුකරුවන්ට එකිනෙකා හදුනාගන්න, ක්‍රීඩකයන්ට පුහුණුකරුවන් හදුනාගන්න හොද අවස්ථාවක්. විශ්වවිද්‍යාල ක්‍රීඩා පද්ධතියේ ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගෙන සිටින MoraSpirit වගේ club එකකින් coach of the heart වගේ දෙයක් සංවිධානය කරලා තිබීම ඇත්තටම ප්‍රශංසා කලයුතු දෙයක්. 

පලවෙනි අදියරේදී ඔබතුමාට ජයග්‍රහණය හිමිවීම පිලිබදව අදහස් මොනවද?

බලාපොරොත්තු වුනේම නැති දෙයක්. ඇත්තටම හුගාක් සතුටුයි. පුහුණුකරුවෙක්ට තියෙන එකම සතුට තමන්ගේ කණ්ඩායම ජයග්‍රණය ලබා ගැනීම.

2015 වසරේදී ජපුර බේස්බෝල් කණ්ඩායමත් එක්ක සම්බන්ද වෙලා, මෙතෙක් ගෙවුණු කාලය තුල 4 වතාවක් ශූරතා හිමිකරගෙන තිබෙනවා. ඒ ගැන හිතද්දී මම හිතනවා මෙතෙක් මම ආපු ගමනේ මම සාර්ථකයි කියල. එහෙම තියෙන තත්ත්වෙක ලංකාවේ විශ්වවිද්‍යාලයීය පද්ධතියේ ප්‍රථම වතාවට සංවිධානය කරන මේවගේ වැඩසටහනකින් ජයග්‍රහණය හිමිවීම ඒ සතුට වැඩි දියුණු වෙන්න හේතු වුණා කියල හිතනවා.

අවසාන වශයෙන් ඔබතුමා මෙතෙක් ආ ගමනේ මතක් කලයුතු අයෙක් සිටිනම් ඒ අය ගැන සදහන් කරන්න පුළුවන්...

මගේ අම්මා, තාත්තා මතක් කරන්න ඕනි.එයලා තමයි මුල ඉදන්ම මට උදව් කලේ. ඊළඟට මගේ මල්ලිව මතක් කරන්න ඕනි. මොකද එයත් මාත් එක්ක බේස් බෝල් ගැහුවා හැමතිස්සෙම, ඒවගේම ඉස්කෝලේ කාලෙදිත්. මම ජ’පුර පුහුණු කරුවා විදියට ඉන්න කොට එයත් ආවා ජ’පුරට ශිෂ්‍යයෙක් විදිහට. ඒවගේම බේස්බෝල් ක්‍රීඩා ජීවිතය ආරම්භකල මොහොතේ ඉදලා මේ වෙනකන් මට පූහුනු වීම් කටයුතු කරපු පුහුණුකරුවන් තුන් දෙනෙක් ඉන්නවා. සුජීව විජයනායක සර්, මගේ මුල්ම පුහුණුකරු ඒ සර් තමයි. ඊට පස්සේ ශාලිත පෙරේරා සර්, සහ නවීන් කස්තුරිමුදලි සර් මතක් කරන්න ඕනි.ඒවගේම මතක් කරන්න ඕනේ, මම දැනට ක්‍රීඩා කරන Old Anandian baseball club එක, මම දැනට පුහුණුකරුවෙකු විදිහට කටයුතු කරන ජ’පුර බේස්බෝල් කණ්ඩායම . ඒවගේම අනිවාර්යෙන් මතක් කල යුතුමයි විශ්වවිද්‍යාල ක්‍රීඩාවේ උන්නතිය උදෙසා අනගි මෙහෙවරක් සිදුකරන MoraSpirit ඔයාලව.

ලැබූ ජයග්‍රහණය පිලිබද ඔහුට සුබ පැතුම් එක් කරන අතරම, පුහුණුකරුවෙකු ලෙස ඉදිරි කාලය තුළ දිගු ගමනක් යන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවායි MoraSpirit අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments