හදවත සොරාගත් පේරා බේස්බෝල් ගුරු තරුව.

හදවත සොරාගත් පේරා බේස්බෝල් ගුරු තරුව.

Coach of the Heart, එසේත් නැත්නම් හදවතේ පුහුණුකරු සොයා ඉදිරියට යන MoraSpirit අපිට එහි දෙවැනි කඩඉම අවසානයේ හමුවු ඔහු, නමින් ශෂික දිල්ෂාන් ආනන්දයි. පේරාදෙණිය සරසවියේ බේස්බෝල් පිටිය නවමානයකට ගෙන ආ ඔබ සිත්ගත් ඒ පුහුණුකරුවා සොදුරු හෝරාවක අප සමග බෙදාගත් අදහස් මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු.


• ශෂික දිල්ෂාන් ආනන්ද කවුරුන්දැයි හදුන්වා දුන්නොත්.


ඇත්තටම මම මං ගැන හිතන විදියට, මම පොඩි කාලේ ඉදන් ක්‍රීඩාවට විනෝදයට වැඩි නැඹුරුතාවයක් තිබ්බ කෙනෙක්. ඇත්තම කිවුවොත්, පොඩි කාලේ හැමවෙලේම ක්‍රීඩාවත් එක්ක තමා හිටියේ.

 

• පාසැල හා පවුල ඔබතුමාගේ ක්‍රීඩා ජීවිතය එළිය කරන්න විශාල පිටිවහලක් වෙන්න ඇති අනිවාර්යෙන්ම.


මගේ පාසැල ගැන කිවුවොත්, පහ වසර වෙනකන් ඉගෙන ගත්තේ මහනුවර සරසවි උයන මහා විද්‍යාලයේ. ඊට පස්සේ මම හය වසරට තමා රණබිම රාජකීය විද්‍යාලයට යොමුවෙන්නේ. ඇත්තටම ඒ කාලේ, රණබිම රාජකීය විද්‍යාලය එක්ක සම්බන්ධ වෙන කාලෙත් එක්ක තමා මම ක්‍රීඩාවට යොමු වෙන්නේ.

මගේ පවුල ගත්තොත් මගේ අම්මා ගෘහණියක්. මගේ පියා විශ්‍රාමික සමුපකාර කළමණාකරුවෙක්. මට සහෝදරයෙක් ඉන්නවා. මගේ පවුල පැත්තෙන් මට ලොකු පිටුවහලක් ලැබුනා මගේ ක්‍රීඩාව ඉදිරියට කරගෙන යන්න. කිසිමවිටක අර දැන් කාලේ ළමයින්ට වගේ කිසිම තහනමක් තිබ්බේ නැහැ ක්‍රීඩා කරන කොට අපිට ඒකාලේ.


පාසල් ජිවිතේ ක්‍රීඩාව තුලට යොමු වීම, පාසැල ගැන කිව්වොත් ඇත්තටම පාසලෙන් අපිට ලොකු පිටුවහලක් ලැබුනා ක්‍රීඩාවත් එක්ක ඉදිරියට යන්න . පාසලෙන් ලොකු සහයෝගයක් දුන්නා ක්‍රීඩාවයි අපිට පාසල් ජීවිතයයි දෙකම සමබරව කරගෙන යන්න.

 

• ජිවිතයේ ආපස්සට යන්න අවස්ථාවක් ලබා දෙනවානම්, අපි හැමෝම ආසාවෙන්, හිතේ සැහැල්ලුවෙන් යලිත් යන්නට පෙරුම් පුරන ජිවිතයේ සොදුරුතම නවාතැන තමා අපේ පාසල් කාලය. ඔබතුමාටත් සුන්දර, දගකාර මතකයන්ගෙන් පිරුණු පාසල් කාලයක් අනිවාර්යෙන්ම ඇති. ඉතින් අපිත් එක්ක ඒ සුන්දර කාලයේ ඔබගේ ක්‍රීඩා දිවි ගමන පිළිබදව විස්තර බෙදා ගන්නවා නම් අපි කැමතියි.


ඇත්තටම පාසලේදී, රණබිම රාජකීය විද්‍යාලයට සම්බන්ද වුනාට පස්සේ තමයි මම ක්‍රීඩාවට යොමුවුණේ. මම මුලින්ම තෝරාගත්තේ කරාටේ ක්‍රීඩාව සහ මේස පන්දු ක්‍රීඩාව. නමුත් මට එම ක්‍රීඩා දෙකම දීර්ඝ කාලීනව ක්‍රීඩා කරන්න ලැබුනේ නැහැ. මොකද 2004 දී ඉස්කෝලේ මුලින්ම ක්‍රිකට් පටන් ගන්නවා. ඒත් එක්කම මම ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවෙනවා. ඊටපස්සේ මම 2007දි තමා බේස්බෝල් ක්‍රීඩාවත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඊට අමතරව මම විද්‍යාලය වෙනුවෙන් කැරම් ක්‍රීඩාව, වොලිබෝල් ක්‍රීඩාව, එල්ලේ ක්‍රීඩාව වැනි ක්‍රීඩාවන් සදහා විද්‍යාල කණ්ඩායම් නියෝජනය කළා. ඇත්තටම පාසල් කාලය ක්‍රීඩාවත් එක්කම ගෙවුන කිවුවොත් නිවැරදියි. ඒත් එක්කම, ඒ හින්දා මට 2011 දි පාසලේ නිවාස නායකයෙක් විදිහටත් පත්වෙන්න පුළුවන් වුනා. එක ඇත්තටම මට ලැබුණු ලොකු අවස්ථාවක්.

 

 

• පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය තුල ඔබතුමා ලබාගත් ජයග්‍රහණයන්ගෙ අතීත මතකයන් මදකට අවදි කලොත්, බොහෝ තොරතුරු ඇති කතාකරන්න.

 

ඇත්තටම මම බේස් බෝල් ක්‍රීඩාවත් එක්ක සම්බන්ද වුනේ 2007දි. මම බේස් බෝල් ක්‍රීඩාවට යොමු වෙන්නේ පාසලේ නිවාසාන්තර ක්‍රීඩාවලින්. එහිදී මං මතක් කරන්න ඕනි, මගේ පළවෙනි පුහුණුකරුවා වුනු සංජීව ජයරත්න සහෝදරයා තමා මාව ක්‍රීඩාවට තෝරාගන්නේ නිවාස තරග සදහා. ඊටපස්සේ එතැනදී මගේ දක්ෂතාවයන් දැකලා විද්‍යාලයේ පුහුණුකරු ටි. ඩි. කුලතුංග ගුරු පියාණන් මාව ක්‍රීඩාවට සම්බන්ද කරගන්නවා. එහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනි, සි. එස්. කුරේ ගුරු පියනනුත් ඒ අවස්ථාවේදී මාව බේස් බෝල් ක්‍රීඩාව සඳහා තෝරාගන්න කටයුතු කළා. ඒත් එක්කම 2007 දි මුලින්ම අපි 15න් පහල සමස්ත ලංකා ජයග්‍රාහකයින් බවට පත් වුණා. ඒ අවස්ථාවත් එක්ක ඒ වර්ෂයේදී ඉතාලියේ පැවතුණා කනිෂ්ඨ ශුරතා බේස්බෝල් තරගවලිය. ඒකට ජාතික කණ්ඩායම් තේරීමේදී විද්‍යාලයෙන් මටත් අවස්ථාවක් ලැබුනා කලින් තරගවල දක්ෂතා පෙන්නුව නිසා. ඊටපස්සේ, එම 2007 වර්ෂයේම අගෝස්තු මාසයේදී මම ජාතික කණ්ඩායමට තේරෙනවා වයස අවුරුදු 15න් පහල. ඒක මම ක්‍රීඩා ජිවිතේ ලබපු වඩාත් අභිමානවත් ම දේ කියලා කියන්න පුළුවන්. ඒ ඉතාලි සංචාරය ක්‍රීඩා ජිවිතේ ලබපු හොදම ජයග්‍රහණය විදියට දකින්න පුළුවන්. ඊට පස්සේ අපි 2007, 2009 ,2011, 2012 වෙනකන් තිබ්බ සමස්ත ලංකා තරග සියල්ලම පාසල් කාලයේදී ජයග්‍රහණය කලා. ඇත්තටම කිව්වොත් පාසල් බේස්බෝල් ක්‍රීඩාවෙන්, ඒ දවස්වල ජයග්‍රහණයන් ම විතරයි අපිට තිබුනේ. ඒක ලොකු අත්දැකීමක් මට මගේ පාසල් කාලය තුල. ඊට පස්සේ මම රණබිම බේස්බෝල් ක්‍රීඩා සමාජය හා සම්බන්ධ වෙනවා 2010දි. 2010 ඉදන් 2015 වෙනකන් මම රණබිම ක්‍රීඩා සමාජය නියෝජනය කලා. එහිදීත් අපි, රණබිම ක්‍රීඩා සමාජය අන්තර් සමාජ ලීග් තරගාවලි සහ knockout තරගාවලි වසර කිහිපයක්ම ජයග්‍රහණය කළා. ඒකත් ඇත්තටම මට ලොකු භාග්‍යයක්, මගේ ක්‍රීඩා ජිවිතේ ක්‍රීඩා සමාජ මට්ටමිනුත් ජයග්‍රණය කරන්න ලැබීම.

 

• බේස්බෝල් ක්‍රීඩා පුහුණුකරුවෙකු වශයෙන් පාසල් කාලයෙන් පසුව ක්ෂේත්‍රයට පැමිණෙන්නට බොහෝ දේ හේතු වෙන්නට ඇති. එදා සිට මේ දක්වා ඔබ මෙතෙක් ආ ගමන පිලිබදව සිහිපත් කලොත්.

 

ඇත්තටම පොඩි කාලේ වයස අවුරුදු 19න් පහළ ගහලා, 20න් පහල ගහලා ඉස්කෝලෙන් එලියට එනකොටම අපිට හොද අත්දැකීම් ප්‍රමාණයක් තිබ්බ වැඩි තරග ප්‍රමාණයකට සෙල්ලම් කරලා. ඒ හින්ද මම මුලින්ම බේස් බෝල් ක්‍රීඩා තරග පුහුණුකරුවෙක් විදියට කටයුතු කළේ විද්‍යාලයේ පුහුණුකරුවා විදියට 2014 වර්ෂයේ. ඇත්තටම පාසල් ජීවිතය තුල ලබපු ක්‍රීඩා තරග අත්දැකීම් පුහුනුකාරුවෙක් විදිහට එලියට එන්න, අඩිතාලම වැටෙන්න ලොකු පිටිවහලක් වෙනවා.

 

• කෙටි කාලයක් තුලදී පේරා බේස්බෝල් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ඔබ තුමාගෙන් ලද සහයෝගය කියා නිමකළ නොහැක්කක්. එලෙස එහි දිගු කාලයක් සේවය කරන්නට බලාපොරොත්තුවන ඔබ තුමා ඒ පිළිබඳව දක්වන අදහස් ?

 

ඇත්තටම මම මේ වනවිට නම්, උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ඕස්ට්‍රේලියාවේ සිටින්නේ.

පේරාදෙණිය බේස්බෝල් ක්‍රීඩාව ගැන කතා කලොත්. ඇත්‍තටම මම පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා මුලින්ම සම්බන්ද වෙන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහකාර තනතුරේ රාජකාරිය සදහා. ඊට පස්සේ එහි යනකොට ම මට විවෘත ආරාධනයක් හම්බවුනා විශ්වවිද්‍යාලයීය කණ්ඩායමේ පුහුණුකාර ධුරය ලබාගන්න කියලා. මොකද ඒ වෙද්දී ක්‍රීඩා ක්ෂේත්‍රය තුල ලැබුව ජයග්‍රහණයන් මත පදනම්ව, මම ඒ තනතුරට සුදුසු යයි කියලා ඒ කට්ටිය කලින්ම තීරණය කරලා තියෙන්න ඇති. ඒ හින්දා වෙන්න ඇති මට ඒ අවස්ථාව එහෙම ලැබුණේ. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පුහුණුකරුවා විදිහට බාර ගන්න අවස්ථාව වෙනකොට විශ්වවිද්‍යාල කණ්ඩායම ජයග්‍රහණයන්, තරගාවලි ශුරතාවයන් සොයා යන්නන් බවට පත්වෙලා හිටියේ. ඔවුන්ට ඒ කාලය වෙනවිට ලොකු තරග සංඛ්‍යාවක් තරගාවලි ප්‍රමාණයකින් කලින්ම ඉවත්වෙන්න වෙලා තිබ්බේ. මට ලොකු අභියෝගයක් වුණා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන කණ්ඩායමක් බවට පත්කරගන්න. ඇත්තටම එහිදී මට විශ්වවිද්‍යාලය පැත්තෙන් ක්‍රීඩා අදාල දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පාලිත මද්දෙගේ මහතායි, ඒ වගේම බේස්බෝල් ක්‍රීඩාව බාර අනෝජ මල්ලවආරච්චි මහතායි ලොකු සහයෝගයක් දුන්නා විශ්වවිද්යාලයීය මට්ටමින්. ඇත්තටම කණ්ඩායමත් මට හොඳ සහයෝගයක් ලබාදුන්නු නිසා පේරාදෙණිය කණ්ඩායම ස්ථාවර මට්ටමකට ගෙන එන්න මට හැකිවුනා. එහිදී කණ්ඩායම් නායකයා සිට සියලුම ක්‍රීඩකයින් මට පුහුණුකරුවෙක් විදයට සේවය කරන්නට ලබාදුන් සහයෝගය මම බෙහෙවින්ම අගය කරලා මේ වේලාවේදී මතක් කරනවා.

 

• කිසිදා මතකයෙන් නොගිලිහි යන, කෙදිනකවත් බලාපොරොත්තු නොවූ සොදුරු මතකයන් ඔබතුමාගේ ක්‍රීඩා පුහුණුකාර ජීවිතය තුල ඇති. ඒ පිළිබඳව පැවසුවහොත්.

 

ඇත්තටම මගේ පුහුණුකාර ජීවිතය තුල අමතක නොවන සිදුවීමක් විදියට මම විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි, පේරාදෙණිය විශ්වවිද්යාලීය බේස්බෝල් කණ්ඩායම 2019 වර්ෂයේදී ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරපු විශ්වවිද්යාල knockout තරඟාවලිය ජයග්‍රහණය කිරීම. පේරාදෙණිය විශ්ව විද්‍යාලය දිගු විරාමයකින් පස්සේ තමා ඒ වෙද්දී ඒ වගේ ජයග්‍රහණයක් ලබන්නේ. ඒක ඇත්තටම මට පුහුණුකාර ජීවිතය තුල මම ලබපු, මම රසවිදපු, හොඳම සහ අභිමනවත්ම හැගීම විදියට මට මේ වෙලවේ කියන්න පුළුවන්.

 

• පවතින තරගකාරී අධ්‍යාපනික පද්ධතිය තුල ක්‍රීඩාව අනිවාර්ය කලයුත්තක්ද නැතහොත් ඒ සදහා රුචියක් දක්වන එක්තරා ශිෂ්‍ය කණ්ඩායමකට පමණක් සිමා කලයුත්තක්ද?

 

ඇත්තටම කිවුවොත් ක්‍රීඩාව අනිවාර්යෙන්ම ළමයෙක් තුල තිබිය යුත්තක් කියන තැන මම ඉන්නවා. හැබැයි මම මෙතැනදී කියන්න කැමතියි යම් කිසි වයස් සීමාවක්, අඩුම වයස අවුරුදු 12 ක් 13 ක් වෙනකන්වත් ළමයෙක් ක්‍රීඩාවක් කලයුතුයි. ඊට පස්සේ ඒ සදහා රුචියක් දක්වන විශේෂ පිරිසට ඉදිරියට යන්න අවස්ථාව දෙන ඒක තමා මම අනුමත කරන්නේ, මොකද කුඩා කාලයේදී ළමයින්ට ක්‍රීඩාව කියන දේ මම අනිවාර්යයි කියලා හිතනවා.

 

 

• පොඩි කාලේදී අපි කියනවා මම මෙන්න මේ කෙනා වගේ වෙනවා කියලා. ඉතින් ආදර්ශකයෙකු වශයෙන් ඔබතුමාටත් පුද්ගලික ජීවිතය තුලදී හෝ ක්‍රීඩා ජීවිතය තුලදී අනුගමනය කරන එවැන්නෙක් සිටිනවාද? සිටීනම් එයට හේතුව?

 

ඇත්තටම මම මේ කෙනා වෙන්න ඕනේ කියලා එහෙම හැගීමක් විදියට මට මගේ ජිවිතේ එහෙම ඉන්නේ මගේ අප්පච්චි. මගේ අප්පච්චි වගේ වෙන්න ඕනි කියල තමා මම හැමදාම හිතන්නේ. මොකද ඔහු තුලින් මම දකිනවා ඔහු කොහොමද ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ, හැමදෙයක්ම කොහොමද සමබරව කරගෙන යන්නේ. ඒ හැමදෙයක්ම ජිවිතේ හැම අත්දැකීමකටම ලොකු පිටුවහලක් වුනා මම ඔහු දිහා බලලා පොඩි කාලේ ඉදන්. එහින්දා මගේ ජිවිතේ මගේ වීරයා විදිහට මම කවදාහරි මෙහෙම වෙන්න පුලුවන්නම් වෙන්න ඕනි කියලා හිතන්නේ මම මගේ අප්පච්චි වගේ වෙන්න ඕනි කියල තමයි.

 

• නවීන තාක්ෂණික ලෝකය හා ගැටෙන, වත්මන් ජවසම්පන්න ක්‍රීඩා පරපුරට මෙන්ම අනාගතයේ ක්‍රීඩා ක්ෂේත්‍රයට එන්නට බලාපොරොත්තුව සිටින ක්‍රීඩා පුහුණුකාර ගුරු පරපුර වෙනුවෙන් යම් උපදෙසක් ලබාදෙන්න ඔබතුමා කැමැත්තෙන් ඇති. මේ ඒ සදහා වෙලාව.

 

විශේෂයෙන්ම ක්‍රීඩාව කියන දේ මම දකින විදියට, රටක් සංවර්ධනය කරන්න පුළුවන් ප්‍රබල සාධකයක්. ඒ කාලේ ඉදන්ම හිටපු ජවසම්පන්න ජාතියක් අපි. එනිසා අපි අපේ තරුණ පරපුර විදිහට ඒ අභිමානය එක්ක අපි අපේ ක්‍රීඩාවටත් යම් කිසි තැනක් දෙනවානම්, ක්‍රීඩාවට ලොකු තැනක් දෙනවනම්, මීට වඩා දේවල් කරන්න අපේ රටේ ක්‍රීඩාව දියුණු වෙයි. ඒ වගේම මම පුහුණුකාර සහ පුහුණුකාරියන් වගේම ක්‍රීඩා කරන අයට ක්‍රීඩාව පැත්තෙන් මම කියන්නේ, තමන් තමන්ගේ කණ්ඩායම විශ්වාස කරන්න. තමන්ගේ ආත්ම විශ්වාසය තියාගන්න. එතකොට තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්න පුළුවන්. තමන්ගේ උත්සාහය කැපවීම අනිවාර්යෙන්ම තියනවානම් ක්‍රීඩාව තුල හොද ගමනක් යන්න ඕනෙම කෙනෙක්ට, ක්‍රීඩකයෙක්ට, පුහුණුකරුවෙක්ට, ඕනෙම කෙනෙක්ට පුළුවන්.

 

• Coach of the Heart, එදා මෙදා තුර ශ්‍රී ලාංකීය විශ්වවිදයාල ක්‍රීඩා පද්ධතිය තුල නොපැවතී, ක්‍රීඩා පුහුණුකාර ගුරු භවතුන් ඇගයීම උදෙසා ප්‍රථම වතාවට පවත්වන්නට යෙදෙන හෟදයංගමණීය වැඩසටහනක්. ඉතින් MoraSpirit අපි ඒ පිළිබඳව ඔබතුමා දක්වන අදහස දැනගන්න කැමතියි.

 

ඇත්තටම Coach of the Heart වැඩසටහන ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශ්වවිද්‍යාල ක්‍රිඩා ක්ෂේත්‍රය තුල සැගවී සිටින දක්ෂතා තියෙන පුහුණුකරුවන්ට ඔවුනොවුන් හදුනා ගන්න තියෙන හොද වැඩසටහනක් විදිහට මම දකිනවා. ඇත්තටම ක්‍රිඩාව වෙනුවෙන් MoraSpirit කරන, මෙම දක්වන සහයෝගය මම වේලාවේදී අගය කරන්න කැමැතියි.

 

• ඒ වාගේම වැඩිම මනාපයෙන් Coach of the Heart හි දෙවැනි අදියරේ ජයග්‍රහණය හිමිවීම පිළිබඳව ඔබතුමාගේ අදහස් මොනවද?

 

ඇත්තටම ගොඩක් සතුටුයි ඒ පිළබඳව. මේ වෙලාවේ මේක අවස්ථාවක් කරගන්නවා මා වෙනුවෙන් coach of the Heart හි මට මනාපය පළකරපු සියලුදෙනාටම ස්තුතිය පුද කරන්නට. ඇත්තටම නොසිතු ජයග්‍රහණයක්. නමුත් ගොඩක් සතුටුයි. හදවතේ පුහුණුකරුවෙක් වෙන්න ලැබීම ගැන.

 

• අවසාන වශයෙන් එදා සිට අද දක්වා ක්‍රීඩා දිවියේ ඔබ මෙතෙක් ආ ගමනේදී මතක්කරන්න නම් බොහෝදෙනෙක් අනිවාර්යයෙන් ඇති. ඔබතුමාට ඒ සඳහා අවස්ථාව මේ.

 

ඇත්තටම මම මුලින්ම මේ වෙලාවේ මතක් කරන්න ඕනි මගේ අම්මා, අප්පච්චි සහ මගේ මල්ලි. ඔවුන් ඇතුළු මගේ පවුලෙන් මට ලොකු පිටුවහලක් ලැබුනා මේ තාක් දුර ක්‍රීඩා ක්ෂේත්‍රය තුල ක්‍රීඩාවෙන් ඉදිරියට එන්න.


ඊට පස්සේ මගේ පාසැල රණබිම රාජකීය විද්‍යාලය. විද්‍යාලයේ සියලුම ගුරුභවතුන්. විශේෂයෙන්ම මතක් කරන්න ඕනි, සී. එස්. කුරේ ගුරුපියාණන්, ලක්ෂ්මන් හපුආරච්චි ගුරුපියාණන්, සිරිල් අලගල්ල ගුරුපියාණන්. ඒ ගුරුවරුන් මට ලොකු පිටිවහලක් වුනා ක්‍රිඩා ජීවිතය තුල. ඒවගේම මගේ ප්‍රථම පුහුණුකරු ටි. ඩී. කුලතුංග ගුරුපියාණන් විශේෂයෙන් මතක් කරන්න ඕනි. මගේ පුහුණුකරුවන් වන සංජීව ජයරත්න සහෝදරයා, ලසන්ත මාන්නව උතුම් සහෝදරයා. සී. ජී. බී. රණසිංහ සහෝදරයා ඔවුන්වත් මම මෙවෙලාවේදී මතක් කරනවා.


ඒවගේම මගේ සමකාලින මගේ ක්‍රිඩා සගයින්ව මම වේලාවේදී මතක් කරන්න කැමතියි. මොකද ඔවුන් මට ලොකු පිටිවහලක් වුනා ක්‍රිඩා ක්ෂේත්‍රය තුල ජයග්‍රහණයන් ලබන්න.


ඒවගේම රණබිම ක්‍රීඩා සමාජය. රණබිම ක්‍රිඩා සමාජයත් මම මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම රණබිම ක්‍රිඩා සමාජයේ හිටපු ජාතික කණ්ඩායම් උප නායක තීක්ෂණ ගම්මන්පිල සහෝදරයත් මම විශේෂයෙන් මතක් කරනවා. ඔවුන් අපිව හැමදාමත් ක්‍රීඩාවේදී ධෛර්යමත් කළා ක්‍රීඩාව තුල අපිට රැදී සිටින්න, ඉදිරියට යන්න. 


ඒවගේම මම මතක් කරන්න කැමතියි පේරාදෙණිය විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පාලිත මද්දගේ සර් වයි. බේස්බෝල් ක්‍රීඩාව බාර අනුජ මල්ලවආරච්චි සර් වයි මම මෙවෙලාවේදී මතක් කරන්න කැමතියි. ඒවාගේම පේරාදෙණිය බේස් බෝල් කණ්ඩායමත් මතක් කරන්න මෙවෙලාව අවස්ථාවක් කරගන්නවා, මගේ ජිවිතේ සොදුරුම මතකයන් එක්කරන්නට මාත් එක්ක සම්බන්ධ වීම ගැන.

අවසාන වශයෙන් MoraSpirit Team එකත් මතක් කරන්න මම මේ වෙලාව අවස්ථාවක් කරගන්නවා, මට මේ වාගේ අවස්ථාවක් ලබාදීම පිළිබඳව.


විදේශගතව සිටියත් මෙලෙස අප හා සොදුරු හමුවීමකට කාලය මිඩංගු කල ඔබේ සිත වැළද ගත් ඔහුට ලැබූ ජයග්‍රහණයන්ට සුභාශිංසන එක්කරන අතරේ ඉදිරි අනාගතේදී නැවත ලක්දෙරණ වෙත පැමිණ විශ්වවිද්යලයීය ක්‍රීඩා පුහුණුකාර දිවියේ දිගු ගමනක් යන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරන MoraSpirit අපි තවත් හදවතේ ලැගුම් ගත් පුහුණුකරුවෙකුගේ සොදුරු හමුවීමක මතක සටහන් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් මෙයින් සමුගන්නෙමු.


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments