වෛද්‍ය පීඨය බැබලවූ මලල ක්‍රීඩා තරුව අඛිල ඉමන්ත නිලවීර

වෛද්‍ය පීඨය බැබලවූ මලල ක්‍රීඩා තරුව අඛිල ඉමන්ත නිලවීර

ක්‍රීඩාව විශ්මයජනකය. තම කැපවීම සහ හැකියාව මත ක්‍රීඩකයෙකුට ඉහළට යාමට ඇති අවස්ථා බොහෝය. එම අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් සිය දස්කම් ප්‍රදර්ශනය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බොහොමයක් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ද ඉගෙනුම ලබති. විශ්ව විද්‍යාලීය ක්‍රීඩා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තානාපති වශයෙන් තේරී පත් විය හැක්කේ එසේ ක්‍රීඩාවේ දස්කම් දක්වන සුවහසක් වූ විද්‍යාර්ථින් අතරින් ද අති විශිෂ්ටයෙකුට පමණි. 2019 වර්ෂයේදී මෙම තනතුර සඳහා තේරී පත් වූ සුවිශේෂී ක්‍රීඩකයා සමඟ පිළිසඳරක යෙදීමට MoraSpirit අපට අවස්ථාව හිමි විය. කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙකු වන ඔහු නමින් අඛිල ඉමන්ත නිලවීර. ඔහු ක්‍රීඩාව තුළින් බොහෝ අවස්ථාවන් ළඟා කරගත් අයෙකි. මලල ක්‍රීඩාවට දස්කම් දක්වන ඔහු එයින් බොහෝ ජයග්‍රහණ ලබාගෙන ඇත.

මේ වන විට විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන අඛිල සිය සරසවි දිවියෙහි ඇරඹුමේ සිටම ක්‍රීඩාවේ නියැලුණේය. ඔහුගේ පළමු වසරේදී පැවත්වුණු SLUG 2016 තරගාවලියේදි දැක්වූ දස්කම්වලින් පදක්කම් 4ක් දිනාගැනීමට ඔහු සමත් වූ අතර එහි 110m කඩුලු පැනීම ඉසව්වේදී ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලීය ක්‍රීඩා තරග වාර්තාවක් පිහිටුවීම තුළින් සරසවි කෙළිබිම තුළ ඔහුගේ නාමය සුවිශේෂී ලෙස සනිටුහන් විය. ඉන්පසු 2017, 2018 වර්ෂවලදී තමාගේ එම වාර්තාව යළි යළිත් අලුත් කිරීමද ඔහු දැක්වූ විශිෂ්ට ගණයේ දක්ෂතාවයකි. 2016 සහ 2017 වර්ෂවලදී කොළඹ විශ්ව විද්‍යාලයීය හොඳම මලල ක්‍රීඩකයා ලෙසින් අබිසෙස් ලැබුවේ ද ඔහු ය.

ඒ අනුව මලල ක්‍රීඩාවට අදාළව මේ වන විට ඔහු ලබා ඇති ජයග්‍රහණ අතරින් 2016, 2017, 2018, 2019 දී ජවන හා පිටිය ඉසව්වලට අදාළව ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා වර්ණ ( SLUSA Colours ) දිනා ගැනීම, ජවන හා පිටිය ඉසව් සදහා 2016, 2017, 2018, 2019 වර්ෂවල අඛණ්ඩව කොළඹ විශ්ව විද්‍යාලයීය වර්ණ දිනාගැනීම ප්‍රධාන වේ. ඔහු 2018 වර්ෂයේදී විශ්ව විද්‍යාලයීය ජවන හා පිටිය ක්‍රීඩා නායකයා ලෙසද කටයුතු කළේය. එපමණක් නොව 2018 වසරේදී පිහිනුම් ක්‍රීඩාව සදහා විශ්ව විද්‍යාලයීය වර්ණ දිනා ගැනීමටද ඔහුට හැකියාව ලැබුණි. ඔහු 2019 වසරේ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පිහිනුම් ක්‍රීඩා නායක තනතුරද හෙබවිය.

අඛිලගේ දස්කම් විශ්ව විද්‍යාලීය කෙලිබිමට සීමා වූයේද නැත. ඔහු 2017 වසරේදී තායිපේ හි පැවති ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උලෙළේ 110m කඩුලු පැනීම, දුර පැනීම, 4×100 සහය දිවීම යන ඉසව් 3 සදහා ශ්‍රී ලංකාව නියෝජනය කළේය.  2019 වසරේදී International Federation of University Sports (FISU) මගින් සංවිධානය කරනු ලැබ රුසියාවේ පැවති ස්වේච්ඡා නායකත්ව වැඩසටහනක් සදහා සහභාගී වීමේ අවස්ථාව ඔහුට ලැබුණි. එසේම ඔහු 2019 වර්ෂය සදහා FISU හි ශිෂ්‍ය තානාපති ලෙස ද තේරී පත්විය.

මෙලෙස නොකඩවා සරසවි කෙලිබිමේ දස්කම් පාන අඛිල පාසල් වියේදී ද අධ්‍යාපනයට සහ ක්‍රීඩාවට එකසේ දස්කම් දැක්වූ අයෙකි. සිය පාසල් අධ්‍යාපනය මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලයෙන් ලබා ගත් මොහු පාසලේ ක්‍රීඩා නායක ලෙස කටයුතු කර ඇත. පාසල් වියේදී ද අන්තර්ජාතික මට්ටම කෙරෙහි ළඟා වූ ඔහු 2012 වසරේදී Junior Asian Athletic Championship හි තුන්පිම්ම ඉසව්ව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කළේය. ජාතික යොවුන් ක්‍රීඩා තරගාවලියේ 20න් පහළ 110m කඩුලු පැනීම ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීම, එම ඉසව්වෙන්ම 15න් පහළ සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය ලබා ගැනීම, 2010 වසරේ දකුණු පළාත් දක්ෂතම මලල ක්‍රීඩකයා වීම, සහ මලල ක්‍රීඩාවෙන් 2009, 2010, 2011, 2012, 2015 වර්ෂවල සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ගැනීම ඔහුගේ පාසල් දිවියේ වැදගත් ජයග්‍රහණ කිහිපයකි. එසේම 2010, 2011, 2012, සහ 2015 වර්ෂ සදහා සමස්ත ලංකා පාසල් ක්‍රීඩා වර්ණ දිනා ගැනීමටද ඔහු සමත්කම් දැක්වීය.

ක්‍රීඩකයෙකු ලෙස ආ ගමන් මගේදී තමන්ට අත්වැලක් වූ තම මව, පියා ඇතුළු පවුලේ සාමාජිකයන් ද, සිය පුහුණුකරු වූ ලාල් විජේවික්‍රම මහතා ද, නයන්ති මෙනෙවිය හා වල්ගම්පාල මහතා ද ඔහු සිහිපත් කරන්නේ ගෞරව පූර්වකවය. එසේම තම යහළු මිත්‍රාදීන් ඇතුළු සහෝදර ශිෂ්‍යයන් තමාට විශාල ශක්තියක් වන බවද ඔහු සිහිපත් කළේය.

"ක්‍රීඩාව, විශේෂයෙන්ම විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාව තුළ අවස්ථාවන් බොහෝමයක් හදුනාගන්න පුළුවන්. අපේ ළමයි ඒවා හදුනාගෙන නෑ. නැත්නම් හදුනාගෙනත් උත්සාහ කරන්නෙ නෑ. ලෝකෙ හැමතැනම අපට ගැලපෙන හැමදේම අපි උත්සාහ කරනවනම් එයින් එකක් දෙකක් හෝ හරියනවා. “If you are brave enough to try any opportunity, you'll get something.” ඔහු තම අදහස ඔබ හමුවේ ප්‍රකාශ කර සිටියේ මෙලෙසයි.

 

කොළඹ විශ්ව විද්‍යාලයීය නාමය කෙලිබිමේ රඳවන්නට නොනිමි මෙහෙයක් කළ අඛිල ඉමන්ත, ඔබට අනාගතයේත් දෙස් විදෙස් ක්‍රීඩාව ජයගැනීමට මෙන්ම අධ්‍යාපනික වශයෙන්ද ඉහළටම යාමට හැකිවේවා යන්න MoraSpirit අපගේ ඒකායන පැතුම වන අතර අප සමග ඔබගේ අත්දැකීම් බෙදා ගැනීමට එක්වීම සම්බන්ධව අප ඔබට ව්ශේෂයෙන් ස්තූතිවන්ත වෙමු. සුභ පැතුම්!


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments