පැසිපන්දු ද්විත්ව ශූරතා ඉංජිනේරු පීඨයට...!

පැසිපන්දු ද්විත්ව ශූරතා ඉංජිනේරු පීඨයට...!

දිවයිනේ සතරකොන් යා කර මොරටුව සරසවියට එක්වූ නව පුරුක වූ 2019 කණ්ඩායමේ නුදුටු මුහුණත් එකට හමුවන, අලුත් මිතුරන් සොහොයුරන් වන පළමු පියවර ලෙස Freshers’ Meet 2020 පසුගිය පෙබරවාරි 10 වන දින ආරම්භ වූ අතර ක්‍රීඩා ඉසව් රාශියක් යටතේ තරග පැවැත්වේ. ක්‍රීඩා කිහිපයක අවසන් මහා තරග මේ වන විට පවත්වා ඇති අතර පෙබරවාරි 13 වන දින කාන්තා හා පිරිමි දෙඅංශයෙන් ම පැවති පැසිපන්දු තරග අවසන් වූයේ ඉංජිනේරු පීඨයට ද්විත්ව ශූරතා ගෙන දෙමිනි.

මෙහිදී පැසිපන්දු තරග සදහා පිරිමි අංශයෙන් පීඨ හතරම නියෝජනය කරමින් කණ්ඩායම් 16කුත් කාන්තා අංශය යටතේ ව්‍යාපාර අධ්‍යයන පීඨය හැර සෙසු පීඨ නියෝජනය කරමින් කණ්ඩායම් 6කුත් තරග බිමට පිවිසියහ.

දිනය පුරා පැවති තරග අවසානයේදී අනෙකුත් පීඨ අභිබවා ඉදිරියට පැමිණි ඉංජිනේරු පීඨය, පිරිමි කණ්ඩායම් තරගවල අවසන් පූර්ව වටයේ ස්ථාන 4ම තමන් සතු කර ගත්හ. ඒ අනුව Team Scooby Doo හා Team Sonics අතර පැවති පළමු තරගය 9-3 ලෙස Team Scooby Doo ජයගත් අතර දෙවන තරගයේ දී E-Fac Sharks හා E-Fac Texa කණ්ඩායම් එකිනෙකාට එදිරිව සටන් බිමට අවතීර්ණ වු අතර අවසන් තරගයේ තම ස්ථානය රැකගැනීමට Team Texa වාසනාවන්ත වෙද්දී ළකුණු සටහන 5-8ක් ලෙස දැක්වුණි.

ඒ අනුව පිරිමි පැසිපන්දු අවසන් මහා තරග බිමේදී Team Scooby Doo හා E-Fac Texa කණ්ඩායම් උරෙනුර ගැටුණු අතර 6-3 ලෙස ශූරතාවය දිනාගැනීමට දක්ෂතා අතර පෙරමුණේ සිටි Team Scooby Doo සමත් විය.

කාන්තා අවසන් පූර්ව වටයේදී ඉංජිනේරු පීඨය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකකුත් තොරතුරු තාක්ෂණ පීඨය නියෝජනය කරමින් කණ්ඩායමක් හා වාස්තු විද්‍යා පීඨය නියෝජනය කරමින් කණ්ඩායමක් ක්‍රීඩාවේ උද්වේගය හා ක්‍රීඩාශීලීත්වය විදහා දක්වමින් තරග බිමට එකතු විය.

පළමු අවසන් පූර්ව තරගයේදී ඉංජිනේරු පීඨයේ Thunder Strikes හා තොරතුරු තාක්ෂණ පීඨ A කණ්ඩායම එකිනෙක හමුවූහ. තරග අවසන් ළකුණු සටහන 6-2 ක් ලෙස දැක්වූ අතර Thunder Strikes කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. දෙවන තරගය ඉංජිනේරු පීඨ Cool Girls කණ්ඩායම හා Archi 2 කණ්ඩායම අතර පැවති අතර Archi 2 අභිබවා දස්කම් දැක්වූ Cool Girls කණ්ඩායම 3-0 ලෙස අවසන් මහා තරගයට ඇතුළත් විය. ඒ අනුව ඉංජිනේරු පීඨ කණ්ඩායම් දෙකක් කාන්තා අවසන් මහා තරග බිමට පිවිසි අතර තියුණු තරගයකින් අනතුරුව Thunder Strikes කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ 3-2 ලෙස ජයග්‍රහණය තමන් සතු කරගත්හ.

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස ඉංජිනේරු පීඨයේ ගිම්හාන් රණසිංහ තේරී පත්වෙද්දී, වටිනාම ක්‍රීඩිකාව ලෙස එම පීඨයේම හිරුණි අයෝද්‍යා තේරීපත් වූවාය.




Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments