දහස් ගණනින් හදවත් දිනාගත් ජ​'පුර පැසිපන්දු ජයග්‍රහණ පිටුපස සිටින යෝධ සෙවනැල්ල

දහස් ගණනින් හදවත් දිනාගත් ජ​'පුර පැසිපන්දු ජයග්‍රහණ පිටුපස සිටින යෝධ සෙවනැල්ල

Coach of the Heart, එසේත් නැතිනම් හදවතේ පුහුණුකරු සොයා ඉදිරියට යන අපට එහි තුන්වන කඩඉම අවසානයේ හමුවූ ඔහු නමින් තරිදු ෆර්නෑන්ඩෝයි. ජයවර්ධනපුර සරසවියේ බාස්කට්බෝල් පුහුණුකරුවෙක් වූ ඔහු සමඟ සුහද පිළිසඳරක යෙදෙන්නට අපට හැකිවිය. එහිදී ඔහු අප සමඟ බෙදාගත් අදහස් මෙලෙස ඔබ හමුවට ගෙන එන්නෙමු. තරිදු ෆර්නෑන්ඩෝ මොනවගේ කෙනෙක් දැයි හදුන්වා දුන්නොත්,

මම සංගීතයට වැඩිපුර නැඹුරු විනෝදවෙන්න කැමති කෙනෙක්. විවේක වෙලාවට කරන්නෙත් සින්දු කියන එක ඔබගේ ක්‍රීඩා දිවිය එළිය කරන්නට පාසැල හා පවුල අනිවාර්‍යයෙන්ම පිටිවහලක් වෙන්න ඇති, මම පොඩි කාලෙ ඉදන්ම ගියේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට. මම මුලින්ම කළේ ක්‍රිකට්. අපේ primary එක ඉස්සරහ තමයි බාස්කට්බෝල් කෝට් එක තිබුණෙ. ඒකෙ අයියලා සෙල්ලම් කරනවා දැකල තමයි මටත් බාස්කට්බෝල් වලට යන්න ආස හිතුනෙ. මගේ අම්මයි තාත්තයි දෙන්නම මට ක්‍රීඩාවට ලොකු සහයක් ලබාදුන්නා. එතන ඉඳලා අපි 19න් පහළ ශූරතාවය දිනාගන්නකන් තිබුණු හැම තරඟයකටම වගේ මගේ අම්මයි තාත්තයි දෙන්නම මම ක්‍රීඩාකරනවා බලන්න ආවා. පාසලෙනුත් මට ලොකු උදව්වක් ලැබුණා. “

පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය තුල ඔබතුමා ලබාගත් ජයග්‍රහණයන්ගෙ මතකයන් මදකට අවදි කලොත් බොහෝ තොරතුරු ඇති කතාකරන්න,

“අපි 13න් පහළ අනුශූරතාවය දිනාගත්තා. 15න් පහළ සමස්ත ලංකා තුන්වන ස්ථානය වගේම 17න් පහළ අනුශූරතාවයත් 19න් පහළ ශූරතාවය දිනාගන්නත් හැකියාව ලැබුණා. “

පාසල් ජීවිතෙන් පසු ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස ඔබ මෙතෙක් ආ ගමන පිලිබඳව සඳහන් කරනවා නම්,

ඇත්තටම මට මූලික අඩිතාලම වැටුණෙ පාසලෙන්. මට කෝච්ලා දෙතුන් දෙනෙක්ම හිටියා. අන්තිමට හිටපු කෝච් බැංකුවක වැඩ කරන ගමන් part-time තමයි හිටියේ. ඉතින් මම Under 19 ඉන්නකොට ඊට පහළ කණ්ඩායම් ඔක්කොම බැලුවෙ මම. මමයි තව මල්ලිලා කීපදෙනෙකුයි එකතු වෙලා තමයි තරඟවලට එක්කන් ගියේ. මම under 19 ඉවර වෙද්දි අපේ පාසලේ හිටපු P.O.G මාරු වෙලා යනවා දෙහිවල Presbyterian Girls College එකට. ඒ වෙද්දි ඒ පාසලේ බාස්කට්බෝල් පොඩ්ඩක් බැහැල තිබුණේ . ඒ කාලෙ මම අපේ පාසලේ deputy-head prefect. අවුරුදු 3ක් පාසල් වර්ණ තිබුනා. මේ හේතු නිසාම ඒ සර් මට කතා කළා එතනට එකතු වෙන්න කියලා. ඉතින් මම carrier එකක් විදියට coaching පටන් ගත්තේ එතන ඉඳලා තමයි. “

ජ’පුරේ බාස්කට්බෝල් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ඔබ තුමාගෙන් ලද සහයෝගය අතිමහත්. එහි පුහුණුකරු වශයෙන් දිගු කාලයක් සේවය කරන ඔබ ඒ පිලිබඳව දක්වන අදහස් මොනවාද?

ඇත්තටම මම ජ'පුර කැම්පස් එකට එනකොට මාස 9යි තිබුණෙ SLUG එකට. ඒගොල්ලො එකදිගට අවුරුදු 5ක් trophy එක අරගෙන නැතිවෙලා තිබුණෙ. මගේ ගෝලයො නිර්දේශ කරලා මගේ coaching style එක study කරලා තමයි මාව තෝරගෙන තිබුනෙ. ඒ වෙනකොට captain හිටියෙ අචිනි. එයා මට ලොකු උදව්වක් දුන්නා කණ්ඩායම හදාගන්න. පාසල් කණ්ඩායමක් වගේ නෙමෙයි මෙතනදි ගොඩක් අය යටතේ පුහුණු වුණු අය තමයි ඉන්නෙ. එතකොට materials වෙනස්. Coaching style එක වෙනස්. ඒකට අනුගත කරගන්න වුණා. අපි ඔක්කොම සෑහෙන මහන්සි වුණා. මේ අතරෙ කණ්ඩායමේ දෙදෙනෙක් ආබාධ නිසා ඉවත්වුණා. ඒ හේතුව නිසා strategies වෙනස් වුණා. කණ්ඩායමේ මානසිකත්වය වෙනස් වුණා. ඒවා ඔක්කොම හදාගෙන අපිට දිනන්න හැකියාව ලැබුණා. ඉතින් ඉදිරියටත් මේ විදියටම කැපකිරීම් කරලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යමක් ලබාගන්න, මගේ උපරිමයෙන් උදව් කරන්න තමයි බලාපොරොත්තු වන්නෙ. ළමයින්ගෙ ඉගෙනීමටත් උදව් කරමින් ඉදිරියටත් මේ වගේ ජයග්‍රහණ ගේන්න බලාපොරොත්තු වෙනවා. “

ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස ගෙවන ජීවිතය තුලදී ඔබ අත්දුටු කිසිදා නොමියෙන මතකයන් තිබේනම් ඒ පිලිබඳව පැවසුවහොත්...

මගේ ලොකු ඉලක්කයක්, ලොකු ආසාවක් තිබුනා ශ්‍රී ලංකා ගහන්න පුළුවන් මට්ටමේ ක්‍රීඩකයෙක්, මගේම ගෝලයෙක් බිහිකරන්න. ඉතින් මට 2017/2018 වසරවලදි ඒක කිරීමට හැකි වෙනවා. නිපුනි නවෝද්‍යා Sri lankan schools සෙල්ලම් කරලා tour එකක් ගියා. දිලක්ශි නවෝද්‍යා Sri lanka schools captain කරා. මගේ අරමුණ වුණේ ඒ අයට ඉලක්කයක් දීලා ඒක සපුරගන්න උදව් කිරීම. අද ඒ අය ලොකු තැන්වල රැකියා කරනවා. ඉතින් එක තමයි මට ලැබුන ලොකුම ආත්ම තෘප්තිය. කවදහරි දවසක මගෙ ලමයි ටික සමාජයෙ හොද තැන් වල ඉන්නවා දකින්න ලැබීම තමයි මට ලබන්න පුලුවන් ලොකුම ජයග්‍රහණය. “

වත්මන් තරඟකාරී අධ්‍යාපනික පද්ධතිය තුළ, ක්‍රීඩාව අධ්‍යාපන කටයුතුවලට බාධාවක්ද? ඒ පිළිබදව ඔබතුමාගේ අදහස් දැනගන්න කැමතියි.

"ක්‍රීඩාව කරන කෙනෙක්ට ඉගෙනීම කියන්නෙ හරිම ලේසි දෙයක්. ක්‍රීඩාවකදි අපි මිලිතත්පර ගාණකදි ලොකු ප්‍රමාණයක් හිතනවා. ක්‍රියාමාර්ග ගොඩක් හිතනවා. ඒවයින් වඩාත්ම සුදුසු ක්‍රියාමාර්ගය තීරණය කරනවා. ඔක්කොම අර පොඩි කාලය ඇතුළත. ඉතින් එහෙම හිතන්න පුරුදු වුණු කෙනෙකුට ඉගෙනීම කියන්නෙ ඇත්තටම සුළු දෙයක්. කියල දෙන දේවල් ඉක්මනට ඔළුවට යනවා. ක්‍රීඩාව හරියට කළොත් ඒ ළමයා ඉගෙනීමෙනුත් දක්ෂතා දක්වනවා. නිවැරදි විනය, හික්මීම අපි ළමයට ලබා දෙනවා. එතකොට හවස practise ඉවරවෙලා ගෙදර ගිහින් පාඩම් කරන්න ළමයා හුරු වෙනවා. Tour එකක් යනකොට වුනත් පාඩම් කරන්න පුළුවන්. මම ඒ නිදහස දීලා තියනවා. ඇත්තටම මෙතනදි ගොඩක් බලපාන්නෙ බාහිර බලපෑම්. ගෙදරින්, පාසලින්, ගුරුවරුන්ගෙන්, පුහුණුකරුගෙන් ළමයට ලබාදෙන නිවැරදි තල්ලුව තමයි ප්‍රධානවම. “

වත්මන් ක්‍රීඩා පරපුරට මෙන්ම අනාගතයේ ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන්නන්ට, ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස ඔබ තුමා ලබා දෙන උපදේශය අප දැන ගන්න කැමතියි.

දැන් තියන අධ්‍යාපන ක්‍රමයත් එක්ක ගොඩක් අය අධ්‍යාපනයට පමණක් යොමු වෙලා තියනවා. නමුත් මේ දෙකම සමබරව කළොත් ජීවිතයට අවශ්‍ය බොහෝ දේ ලබාගන්න පුළුවන්. කවදාවත් ක්‍රීඩාවෙන් කාටවත් අහිතක් වෙන්නෙ නෑ. ක්‍රීඩාව අපිට කියල දෙන හොඳ දේවල්වලින් ජීවිතය ජයගන්න පුළුවන්. සියල්ල විද දරාගන්නෙ කොහොමද, අභියෝගවලට මුහුණ දෙන්නෙ කොහොමද වගේ දේවල් වර්ධනය වෙනවා. රටට වැඩදායී හොඳ මානසිකත්වයකින් යුතු පුද්ගලයින් බිහිවෙනවා. තව කියන්න තියෙන්නෙ drugs වගේ දේවල් පාවිච්චි නොකර අනවශ්‍ය පැතිවලට යොමු නොවී තමන්ගෙ ශක්තියෙන් ඉදිරියට යන්න. ඉගෙනීම, ක්‍රීඩාව යන දෙකම සමබරව පවත්වාගන්න. ඒක හැමෝටම පුළුවන්. තමන්ට බෑ කියලා ක්‍රීඩාව අත්හරින්න එපා.”

පුද්ගලික ජීවිතය තුලදී හෝ ක්‍රීඩා ජිවිතයතුලදී ඔබතුමා අනුගමනය කරන ආදර්ශකයෙකු සිටිද? එසේ වීමට හේතුව?

“ඇත්තම කිව්වොත් මම අදහන ආගමට අනුවත් හැමතිස්සෙම මම විශ්වාස කරන්නෙ මගේ අම්මයි තාත්තයි. මම ප්‍රධාන වශයෙන්ම ජීවිතය හදාගන්නෙ, ජීවිතයෙදි අනුගමනය කරන්නෙ ඒ දෙදෙනා තමයි. ක්‍රීඩාව පැත්තෙන් ගත්තොත් නම් මගේ පළවෙනි පුහුණුකරු ගයාන් සර්. “

Coach of the Heart, එදා මෙදා තුර ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතියේ නොපැවති, ක්‍රීඩා පුහුණුකාර ගුරුභවතුන් ඇගයීම උදෙසා ප්‍රථම වතාවට පවත්වන වැඩසටහනක්. ඉතින් Moraspirit අපි ඒ පිළිබදව ඔබතුමාගෙ අදහස් දැන ගන්න කැමතියි.

ඇත්තටම හොඳ දෙයක්. ක්‍රීඩාවට තිබෙන තැන, ක්‍රීඩාවට යොමු වුනොත් ලබාගන්න පුළුවන් ප්‍රතිලාභ, ක්‍රීඩකයෙක් හෝ පුහුණුකරුවෙක් වුනොත් ඔබට මේ මේ දේවල් ලබාගන්න පුළුවන්, යම් ක්‍රීඩාවකින් ජාතික කණ්ඩායමට නොතේරුණත් ක්‍රීඩා කරලා බබළන්න පුළුවන් බව මේ වැඩසටහනෙන් කියවෙනවා. පුහුණුකරුවෙක් වශයෙන් මට ඇත්තටම සතුටුයි. මමත් මේ වැඩසටහන දැකපු මුල්ම දවසෙ පෞද්ගලිකවම හරියට සතුටු හිතුණා. ක්‍රීඩාවට විශාල පසුබිමක් Moraspirit එකෙන් හදනවා. ඉදිරියටත් මේ වගේ ලොකු වැඩසටහන් මීටත් වඩා හොඳට කරන්න හැකිවේවා කියල සුබ පතනවා. “

තෙවැනි අදියරේ ජයග්‍රහණය හිමිවීම පිළිබදව ඔබතුමාගෙ අදහස පවසනවද?

“ඇත්‍තටම ගොඩක් සතුටුයි. නොසිතූ ජයග්‍රහණයක්. ළමයින්ගේ ආදරය අපි වෙනුවෙන් හැමදාමත් තියෙනවා කියන එක ඔප්පු වුණා. “

අවසාන වශයෙන් එදා සිට අද දක්වා ඔබ මෙතෙක් පැමිණි ගමනේ මතක් කළ යුතු අය බොහෝ සිටින බව අපි දන්නවා. එයට අවස්ථාවයි මේ.

මගේ බිරිඳ, අම්මා, තාත්තා තමයි පළමුවෙන්ම. මගේ පාසලේ ගුරුවරු, ගයාන් මීදෙණිය සර්, නෝනිස් සර්, ෆයිසාල් සර්, ක්ෂේත්‍රයට ආවට පස්සෙ උදව් කරපු අය, නිහාල් සර්, අහ්මඩ් සර් මතක් කරන්න ඕන. ඒ වගේම විශේෂයෙන් ස්තූති කර සිටිනවා ටිරාන් විජේසූරිය මහතාට. මට පුහුණුකරුවෙක් විදියට හැඩගැහෙන්න උදව් කළේ ඔහුයි. ඒ වගේම නම් නොකියපු අද වෙනකම් මාත් සමග සිටිය සියලු දෙනාවම මතක් කර සිටිනවා.

ලැබූ ජයග්‍රහණ පිළිබද ඔහුට සුබපැතුම් එක් කරන අතරම, ඉදිරි කාලය සෑම අතින්ම සාර්ථක වීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ වාසනාව ලැබේවායි Moraspirit අපි එක සිතින් ප්‍රාර්ථනා කර සිටිමු.





Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments