හදවතේ ඇඳුනු හදවතේ බැඳුනු වයඹ මල්ලවපොර ඇඳුරු

හදවතේ ඇඳුනු හදවතේ බැඳුනු වයඹ මල්ලවපොර ඇඳුරු

"ක්‍රීඩාව කියන්නේ හරි අමුතු දෙයක්. විශ්වවිද්‍යාලය තුළ දී මම දකිනවා ගොඩක් දරුවන් විවිධ අංශ වලින් තරග වදින විදිය. සමහර දරුවන් තමන්ගේ යහළුවෝ ඉස්සරහ ජය ලබද්දි තවත් දරුවෝ තමන්ගේ යහළුවන්, පෙම්වතියන් ඉස්සරහ පරාජයට පත් වෙනවා. නමුත් දුක සතුට කෙසේ වෙතත් තරගයක් අවසානයේදී ජයග්‍රහණය ලැබූ ක්‍රීඩකයා සේ ම පරාජය ලැබූ ක්‍රීඩකයාත් එකට වැළඳ ගෙන සතුටින් තරගය නිමා කරනවා. ක්‍රීඩාවේ විශේෂත්වය එයයි. එය අමුතුම මිනිසෙක් නිර්මාණය කරනවා. ඔවුන්ගේ දරා ගැනීමේ හැකියාව සුවිශේෂීයි. මගේ ජීවිතය තුළ මට හමුවෙලා තිබෙන මිනිසුන් ගෙන් සංවේදීම පුද්ගලයන් වන්නේ ක්‍රීඩකයන්"


ඒ වයඹ විශ්වවිද්‍යාලයේ මල්ලවපොර ( Wrestling ) ක්‍රීඩා පුහුණුකරු ලෙස කටයුතු කරන දිලුම් ප්‍රියන්ත විජේසේකර මහතා. බොහොමයක් විට එතුමන් අතින් එලෙස දිග ඇරුනේ ඔබෙත් මගෙත් සුපුරුදු අත්දැකීමක් බවට සැකයක් නෑ.


දහසකුත් එකක් දරුවන්ට ක්‍රීඩා පිටියේදී හමුවූවන් අතරින් හදවතේ සිටින, හදවතේ බැබලෙන, හදවතින් පිදුම් ලබන ගුරු තරු සොයා යන MoraSpirit අපේ වෑයමේ Coach of the Heart ඉසව්වේ හතරවන අදියරේදී ක්‍රීඩකයන්ගේ හිත දිනාගත් ගුරු තරුව ලෙස තේරී පත් වුනේ එතුමායි . මේ දිගහැරෙන්නේ සිය ක්‍රීඩා ජීවිතයේ අත්දැකීම් ගැන එතුමා අප සමග කල ආදරණීය කතාබහයි.


1) MoraSpirit අපි විසින් සංවිධානය කරන "Coach of the Heart" තරඟාවලියේ තෙවැනි අදියරේ ජයග්‍රහණය හිමි කර ගැනීම ගැන ඔබතුමාට දැනෙන්නේ කොහොම හැඟීමක්ද?


ඒක විශේෂ අත්දැකීමක්. මන් ගුවන් හමුදා නිලධාරියෙක් විදියට කටයුතු කරන ගමන් මුල් වරට දරුවන් සමග එකතු වෙලා ඔවුන්ගේ ක්‍රීඩා පුහුණුකරු ලෙස කටයුතු කරන්න ගද්දී මට ගොඩක් වෙනස් හැඟීමක් දැනුනා. නමුත් ඉතාම ආදරයෙන් ඔවුන් මාව පිලිගත්තා.ක්‍රීඩාවට අමතරව දරුවන් විදියට ඔවුන්ට තියෙන ඕනෑම පෞද්ගලික ප්‍රශ්නයක් ඔවුන් මාත් එක්ක බෙදා හදා ගන්නවා. ඒ නිසා මම හිතෙනවා ඒ බැඳීමත් එක්ක ගොඩනගාගත්ත විශ්වාසයේ ප්‍රතිපලය ඔවුන් මට පෙන්නුවයි කියලා


2) මූලික වශයෙන් ඔබතුමා ගැන හැඳින්වීමක් කරොත්?


මගේ ගම ගම්පොල. දැනට පදිංචි වෙලා ඉන්නේ දඹදෙණියේ. ගම්පොල ජිනරාජ මහා විද්‍යාලය තමා මගේ පාසල. පාසල් අධ්‍යාපනය අවසන් වෙලා මන් ගුවන් හමුදාවට බැඳුනා. මීට වසර දෙකකට ඉහතදී මන් ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගත්තා.


3) ඔබතුමා ඉතාම ගෞරවනීය වෘත්තීයකින් තවත් එවැනිම ගෞරවනීය වෘත්තීයකට පැමිණි අයෙක්. රණවිරුවෙක් විදියට කටයුතු කරන ඔබතුමා කොහොමද ගුරුවරයෙක් ලෙස මේ ගමනට සම්බන්ධ වුනේ?


ඒ කාලේ ගුවන් හමුදාවේ තමා හොඳම wrestling කණ්ඩායම හිටියේ. ඒ අනුව ඒ ක්‍රීඩාවට තියෙන කැමැත්ත නිසාම මන් ගුවන් හමුදාවට බැඳුනා. ගුවන් හමුදාවේදී wrestling ක්‍රීඩකයෙකු ලෙස කාලයත් සමග තරඟ ගොඩකට මම සහභාගි වුනා. ඒ අනුව වයඹ පලාතේ පැවැත්වුනු තරඟත් එක්ක ඇතිවූ දැන හඳුනාගැනීමත් එක්ක වයඹ විශ්වවිද්‍යාලයීය wrestling පුහුණුකරුකරුවෙක් වෙන්න මට අවස්ථාව ලැබුනා. ඒ මීට වසර 4 කට කලින්.


4)ක්‍රීඩා පුහුණුකරුවෙක් වීමට ලැබීම වෘත්තීමය වශයෙන් ජයග්‍රහණයක්. ගුවන් හමුදා නිලධාරියෙක් වන අතරතුර ක්‍රීඩා පුහුණුකරුවෙක් වීමට ලැබීම විශාල ජයග්‍රහණයක්. මේ අංශ දෙකම සමබර කරගැනීම තරමක් අසීරු ක්‍රියාවක්. ඒ අභියෝගය ඔබ සාර්ථකව ජයගත් හැටි කිව්වොත්


ඔව්. ගුවන් හමුදාව තුල ක්‍රීඩාවට ඉතාම ඉහල පිලිගැනීමක් තියෙනවා. මන් විශ්වවිද්‍යාලයේ මල්ලවපොර පුහුණුකරුකරුවෙක් ලෙස සම්බන්ධ වුනේ විශ්‍රාම ගැනීමට කලකට පෙරයි. ඒ වන විට මන් ගුවන් හමුදා wrestling කණ්ඩායමේද පුහුණුකරු ලෙස කටයුතු කරා. එහිදී මගේ සේවා ස්ථානයෙන් ඉතා විශාල සහයෝගයක් මට ලැබුනා. ක්‍රීඩාව වෙනුවෙන් යෙදවීම සඳහාම මට රාජකාරි නිදහස් කිරීම් ලබා දුන්නා. ඒ වගේම විශ්වවිද්‍යාලයීය wrestling කණ්ඩායමේ නායකයන් ලෙස කටයුතු කරපු දරුවනුත් මට පැමිණීමට අපහසු අවස්ථාවල ඒ බර කරට ගෙන මට ඉතා හොද සහයෝගයක් ලබා දුන්නා. ඔවුන් මට විශාල ශක්තියක් වුනා. මන් ඒ කඩ ඉම ජයගත්තේ ඒ විදියට.


5)ඔබතුමාගේ ළමා කාලය ගැනත් අපි හැඳින්වීමක් කරමු. ඔබ පොඩි කාලයේ ඉඳන්ම ක්‍රීඩාවට ඇල්මක් දැක්වූ කෙනෙක්ද?පාසල් කාලේ ලබාගත් ජයග්‍රහණ මොනවාද?


ඔව් මම හැදුනෙ වැඩුනෙ ගමක. අපේ පාසල තිබ්බේ කන්දක් උඩ.ඒ නිසා පාසල් යන්නත් අපි බොහෝ දුර පයින් යනවා. ඒ ආභාශය නිසාම නිතැතින්ම අපි ක්‍රීඩාවට යොමු වුනා. අපේ ගමේ පාපන්දු ක්‍රීඩාව ඉතාම ජනප්‍රියයි. ඒ නිසා මුල් කාලේ ඒ ක්‍රීඩාවට හුඟක් යොමු වුනා. ඊට පස්සේ අපේ පාසලට මල්ලවපොර පුහුණුකරුවෙක් පැමිණියාම මම ඒ ක්‍රීඩාවට යොමු උනා. ඒ වගේම ඒ කාලයේ පැවැත්වුනු පාසල් ආධුනික මල්ලවපොර ක්‍රීඩා තරඟාවලියේ දෙවන ස්ථානය මම දිනා ගත්තා. එතැනින් තමා මන් ස්ථිර වශයෙන්ම ක්‍රීඩාවට යොමු වෙන්න තීරණය කරේ.


6)Wrestling ක්‍රීඩාවේ ජයග්‍රහණ ගැන කතා කරොත් කලක පටන් වයඹ විශ්වවිද්‍යාලයීය නාමය අපට නිතරම අසන්නට දකින්නට ලැබනවා. ක්‍රීඩාවේ ජය කෙහෙලි නැංවීමට ඔබතුමාගේ ආදරණීය ශිෂ්‍යයන් කැපවෙන්නේ කොහොමද? අපි කැමතියි ඒ ගැන ටිකක් දැනගන්න.


ඇත්තවශයෙන්ම විශ්වවිද්‍යාලයේ දරුවන් විශාල කැපකිරීමක් කරනවා කාල වේලාව පවා නොබලා. අපිට සාමන්‍යයෙන් එක පුහුණු සැසියකට දෙන කාලය පැය දෙකයි. නමුත් ඔවුන් බොහෝ වෙලාවට පැය තුනක් හෝ හතරක් ක්‍රීඩා පුහුණුවීම් කරනවා. අපි ක්‍රීඩාගාරයෙන් එලියට යන්නේ ක්‍රීඩාගාරය වහන වෙලාවට. ඒ දරුවන් බොහොමයක් විශ්වවිද්‍යාලයට පැමිණි පසුවයි හොඳ අවබෝධයකින් ක්‍රීඩාවට යොමු වෙන්නෙ. නමුත් දුකට කාරණය වන්නේ ඔවුන් නියම අත්දැකීම් සහිත ක්‍රීඩකයන් වෙද්දීම ඔවුන්ට ක්‍රීඩාවට තිත තියලා රැකියා සොයන අර්බුදයට මුහුණ දෙන්න වෙනවා. ඒක ගොඩක් ඛේදනීය තත්වයක්.


7)විශ්වවිද්‍යාලයක් තුල ඉන්නෙ තරුණ ජවසම්පන්න දරුවන්. ඔවුන් සමග කටයුතු කිරීමේ අභියෝගය ඔබ තුමා ජයගත්තේ කොහොමද? ඔවුන්ගෙන් ඔබට ලැබෙන්නේ මොනවගේ සහයෝගයක් ද?


මගේ ජීවිතය ඇතුලත මට හමුවෙලා තියෙන විශ්වවිද්‍යාල දරුවන් ඉතාම සංයමයක් තියෙන අය. අද සමාජයේ බොහොමයක් දෙනා විශ්වවිද්‍යාල සිසුන්ව විවේචනය කරද්දි මට පුදුමයක් වගේම දුකක් දැනෙනවා. ක්‍රීඩාවට වගේම කලාවට යොමු වෙන්නෙ සංවේදී අහිංසක ළමයි. ඒ ළමයි කවදාවත් එහෙම හැසිරෙන්නේ නෑ. මට කවදාවත් ඒ දරුවන් එක්ක ඉඳිද්දි අපහසුතාවයක් දැනිලා නෑ වගේම ඒ ළමයි මගේ හිත රිදවලත් නෑ. මට කියන්න තියෙන්නේ ඒ දරුවන්ට ආදරය කරන්න ශිෂ්‍යයන් ගැන හොයලා බලන්න. එතකොට කිසිම කෙනෙක්ට විශ්වවිද්‍යාල දරුවන් එක්ක කටයුතු කිරීම අපහසු වෙන එකක් නෑ.


8) ඔබතුමාගේ අනාගත බලාපොරොත්තු ගැන සඳනක් කරොත්


අද වෙද්දි පරිපූර්ණ ක්‍රීඩකයන් බිහි කරන්න අවශ්‍ය කරන පහසුකම් බොහොමයක් අපිට ලැබෙන්නෙ නෑ. ඒත් මගේ තියෙන ලොකුම බලාපොරොත්තුව තමා කාන්තා ක්‍රීඩිකාවක්ව ඔලිම්පික් පදක්කමක් සඳහා යොමු කිරීම. අද වෙද්දි පිරිමි ළමයින්ටත් වඩා ගැහැනු දරුවන් ක්‍රීඩාවට යොමු වෙනවා. ඉතින් එච්චර කරදර මැද්දේ ඉදිරියට එන දරුවෙක්ට ගන්න පුළුවන් ඉහලම පදක්කම දක්වා යොමු කරන්න මන් බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ක්‍රීඩාවෙන් ලැබෙන විනය හා අවබෝධය විශ්වවිද්‍යාලයේ ඉන්න සියලු දරුවන් එක්ක බෙදාගන්න ලැබෙනවා නම් මන් කැමතියි. මොකද ක්‍රීඩාවෙන් බිහිකරන්නේ පරිනත පුද්ගලයෙක්. ඒ වටිනාකම සෑම දරුවෙක්ටම ලැබෙනවා නම් එය ඉතාම හොඳ දෙයක්.


9) ඔබේ ශිෂ්‍යයන්ට ඔබතුමා ආදරණීය ගුරුවරයෙක්. හදවතේ රැඳුනු ගුරුවරයෙක් වීමේ කඩයිමට එනකන් ඔබතුමාට දිරි දුන් ඔබතුමාගේ හදවතේ රැඳුනු කිහිපදෙනෙකුත් ඇති . අපි ඒ අය ගැනත් මතක් කරමු


මුලින්ම මතක් කරන්න ඕනේ මගේ ඉස්කෝලේ මට ක්‍රීඩා පුහුණු කරපු ගුරුතුමාව. එතුමා නැත්නම් මන් අද ලබා ගෙන තියෙන කිසිම දෙයක් මන් ලබා ගන්නේ නෑ. ඒ කාලේ තරුණ ශිෂ්‍යයන් වුනු අපිව මත්ද්‍රව්‍යයවලින් පවා සම්පූර්ණයෙන්ම ඈත් කරලා රට වෙනුවෙන් කැපවෙන්න පුරුදු කරේ එතුමා. එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාව. මගේ ජීවිතේ කපා ඔපමට්ටම් කරේ ඔවුන්. එම නිසා මගේ සේවා ස්ථානයද අනිවාර්යයෙන්ම එතුලට ඇතුලත්.


10) ඔබතුමා පුහුණුකරුවෙක් වගේම ප්‍රේක්ෂකයෙක් . ප්‍රේක්ෂකයෙක් විදියට ඔබතුමාගේ කැමතිම ක්‍රීඩකයා කවුද ?


මගේ කැමතිම ක්‍රීඩකයා පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. ඒ වගේම කැමතිම wrestling ක්‍රීඩකයා වන්නේ ඉන්දියාවේ සුශිල් කුමාර්.


11) wrestling ක්‍රීඩාව කියන්නේ අපි පොඩි කාලේ ඉඳන්ම දන්න ඒ කාලෙ ඉඳන් ආසාවෙන් බලන ක්‍රීඩාවක්. Wrestling ක්‍රීඩාවට ලංකාවේ ක්‍රීඩාවන් අතර ලැබී ඇති තැන ගැන ඔබතුමා තෘප්තිමත්ද?


Wrestling ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම සඳහා ලංකාවේ ඉඩක් නැද්ද කියලා සැකයක් තියෙනවා. රජයේ සහයෝගයක් ලැබෙන්නේ නැතුව ක්‍රීඩාවට ආදරය කරන කිහිප දෙනෙක්ගේ උවමනාව මත පමණක් අද මල්ලවපොර ක්‍රීඩාව අපහසුවෙන් ඉදිරියට යනවා. මල්ලවපොර පුහුණුකරුකරුවන්ටවත් ක්‍රීඩකයන්ටවත් ලැබිය යුතු අවම පහසුකම්වත් අපට ලැබෙන්නේ නෑ.අවම තරමින් මාධ්‍යයෙන්වත් මේ ක්‍රීඩාවන් ගැන සොයා බලන්නේ නෑ. ඒ නිසා විශාල දුකක් තියෙනවා දරුවන්ගේ අනාගතය ගැන.


12)සටන් කලාව කියන්නේ වටිනාකමෙන් ඉතාම ඉහල ආත්මාරක්ෂාවට ඉතාම වැදගත් කලාවක්. ඔබතුමා හිතන විදියට අපේ තරුණ පරපුර අතර සටන් කලාව ගැන තියෙන අවබෝධය ප්‍රමාණවත්ද? 


ඉතාම හොඳ ප්‍රශ්නයක්. තරුණ දූ පුතුන් බොහොමයක් මේ ක්‍රම ගැන දන්නේ නෑ. අද සමාජයේ විශේෂයෙන්ම ගැහැනු දරුවන් බොහෝ කරදරවලට අතවරයන්ට මුහුණ දෙනවා. නමුත් ඔවුන්ට එයට එරෙහි වෙන්න ශක්තියක් නෑ. හේතුව ඔවුන් ආත්මාරක්ෂක ක්‍රම කිසිවක් ගැන නොදැනුවත් වීම. ගොඩක් ගැහැනු දරුවන් අධ්‍යාපනයට හා ගෙදර දොර වැඩට පමණක් සීමා වෙද්දී කරදරයක් වුනත් එයට එරෙහි වීමට ඔවුන් කායිකව මානසිකව ශක්තිමත් නැති වෙනවා. ඒ නිසා මගේ අදහස තරුණ පරපුර අනිවාර්යයෙන් මෙවැනි සටන් කලාවන් උගත යුතුයි. පිරිමි දරුවන් හෝ ගැහැනු දරුවන් වේවා දෙපාර්ශවයටම යම් කිසි දිනෙක මේ කලාව ප්‍රයෝජනයට ගන්න දවසක් එනවා. ඒ වගේම තමන්ගේ වෘත්තීය , ආත්මාරක්ෂාව හා පෞරුෂය නගා සිටුවන්න මේ සටන් ක්‍රම ඉතාම ලොකු පිටිවහලක් දෙනවා.


13) ක්‍රීඩාව සේම ජීවිතයද උගන්වන, අවවාද සේම රැකවරණය ද දෙන, හදවතේ රැඳුන ගුරුවරුන් සොයා යන MoraSpirit අපේ ප්‍රයත්නය ගැන ඔබතුමාට තියෙන්නෙ මොන වගේ අදහසක්ද?


ගොඩක් සතුටුයි. ඒ වගේම මට ඉල්ලීමක් කරන්න තියෙනවා. අද මාධ්‍යවලින් ගොඩක්ම අවධානය දෙන්නෙ ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට විතරයි. අපිට අහන්න දකින්න ගොඩක් වෙලේට ලැබෙන්නෙ ප්‍රසිද්ධි පුද්ගලයන් ගැන විතරයි. හැබැයි ගොඩක් දුෂ්කරතා මධ්‍යයේ ඉස්සරහට යන්න වෙර දරන අහිංසක ළමයි බොහොමයක් හැංගිලා ඉන්නවා. ඔවුන්ට ඉදිරියට එන්න උදවු කරන්න. සමාජයට ඒ දරුවන් ගැන එළි කරන්න. මේ වගේ ඉදිරියටත් සාදාරණ විදියටම ක්‍රීඩාවට ශක්තියක් වෙන්න. මේ විදියටම සංවේදී විදියට ක්‍රීඩකයන් එක්ක කතා කරන්න. මන් කලින් කිව්වා වගේම ක්‍රීඩාවට එන දරුවන් ඉතාම සංවේදී අය.ක්‍රීඩකයන් ගොඩක් කැමතියි මේ විදියටම ඔවුන් එක්ක අදහස් බෙදාගන්නවට. ඒ නිසා මේ විදියටම ඉදිරියට යන්න. ක්‍රීඩාව වෙනුවෙන් ඕගොල්ලෝ ගන්න මේ ප්‍රයත්නයත් මට ඉතාම වටින දෙයක්.


14) අවසාන වශයෙන් ,අනේකවිධ බාධක මැද ක්‍රීඩාවේ උන්නතිය උදෙසා කැපවෙන දූ දරුවන්ට ඔබතුමා දෙන්න කැමති කොහොම පණිවිඩයක්ද?


මට ගොඩක් සතුටුයි ඒ දරුවො ගැන. ක්‍රීඩාව දිගටම කරන්න. අපි නායකයෙක් වෙන්නෙ කොහොමද? නිහතමානී වෙන්නෙ කොහොමද? ජය පරාජයේදී නොසැලෙන්නෙ කොහොමද ? ඒ සෑම දෙයකටම පිළිතුර තියෙන්නෙ ක්‍රීඩාව ඇතුලේ. අපි තරඟයක් අතරතුර ඉන්නකොට ප්‍රේක්ෂකයන්ට ඒක පේන්නෙ fight එකක් විදියට. ඒ වුනාට ක්‍රීඩකයෝ දන්නවා ප්‍රතිවාදියාට ගරු කරන්න. තරඟය ඉවර වුනාම ඔවුන් ප්‍රතිමල්ලවයන් නෙවේ. හොඳ යහලුවන්. ඒ තුලින් පෙන්වන්නේ ඒ දරුවන්ගේ විනය. ක්‍රීඩාව හරිම සුන්දරයි. ඒ සුන්දරත්වය විඳින්න. ක්‍රීඩාවට යොමු වුනු දරුවෙක් කියන්නේ සම්පතක්. ඒ නිසා දුවලා, පුතාලට මට කියන්න තියෙන්නේ කවදාවත් ක්‍රීඩාව අත අරින්න එපා. ඉදිරියටම යන්න.


ක්‍රීඩාවෙන් බිහිවෙන්නේ කෙතරම් පරිණත, නිහතමානී පුද්ගලයින්ද කියන්න ලැබෙන හොඳම උදාහරණයක් වන්නේ දිලුම් විජේරත්න ගුරුතුමා. සැබෑවටම පියෙක් ලෙස ක්‍රීඩාවට ආදරය කරන සැමගේම ඉදිරි අනාගතය ගැන වග වෙමින් එතුමා දරන වෙහෙස මහන්සිය ඉතාම ප්‍රශංසනීයයි. වීරෝධාර රණවිරුවෙක් ලෙසත් හදවතේ ලැගුම්ගත් ගුරු තරුවක් ලෙසත් තවත් ඉදිරියට යාමට ඔබතුමාට ඉඩ ලැබේවා යන්න MoraSpirit අපගේ ඒකායන පැතුමයි. එසේම මෙලෙසින් ඔබ තුමාගේ අව්‍යාජ අදහස් අප සමග බෙදා ගැනීම ගැන ඔබතුමාට අපි බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා.


එසේනම් හදවතේ රැඳුනු ගුරු තරු සොයා යන MoraSpirit අපේ ඊලඟ නැවතුමත් සමග යලිත් හමුවෙමු.



Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments