නව වාර්තා රැසක් සමගින් ආසියානු මලල ක්‍රීඩාශූරින් කරලියට

නව වාර්තා රැසක් සමගින් ආසියානු මලල ක්‍රීඩාශූරින් කරලියට

ආසියානු කලාපයේ දක්ශතම ක්‍රීඩකයන් වෙනුවෙන් පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අප්‍රේල් මස 21 වන දින සිට 24 වන දින දක්වා දෝහා කටාර්හි කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඉතා සාර්ථකව පැවැත්විණි. මෙය සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතව පවතින ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය වෙනුවෙන් පැවැත්වූ පුහුණු තරගයක් ලෙස දැකිය හැක. මේ සඳහා ආසියානු කලාපයේ රටවල් 43කින් ක්‍රීඩකයන් 800කට ආසන්න පිරිසක් සහභාගි විය. එහිදී පිරිමි තරඟ ඉසව් 21 ක්ද කාන්තා තරඟ ඉසව් 21 ක්ද මිශ්‍ර සහය දිවීම් ඉසව්වක්ද පැවැත්විණි. මෙම තරගාවලිය තුලදී බිහිවූ නව ලෝක වාර්තා රැස පසුගිය දින කිහිපය තුල කාගෙත් කතාබහට ලක්වුණු මාතෘකාවකි.  

මෙවර පදක්කම් සටහනේ වැඩිම පදක්කම් ප්‍රමාණයක් හිමිකර ගනිමින් පෙරමුණ ගැනීමට චීනය සමත් විය.ඒ රන් පදක්කම් 9ක්ද රිදී පදක්කම් 13ක්ද ලෝකඩ පදක්කම් 7ක්ද තමන් සතු කර ගනිමිනි. තව ද බහරේනය පදක්කම් 22ක්ද ජපානය පදක්කම් 18ක්ද ඉන්දියාව පදක්කම් 17ක්ද දිනා ගනිමින් කැපී පෙනෙන දස්කම් පා ඇත. ලකුණු සංඛ්‍යාව මත පදනම් වූ වර්ගීකරණයේදී ලකුණු 295ක් ලබාගෙන චීනය පෙරමුණ ලබාගන්නා ලදි. ලකුණු 250ක් ලබාගනිමින් දෙවන ස්ථානය ජපානය ද ලකුණු 189ක් ලබාගනිමින් තුන්වන ස්ථානය බහරේනය ද හිමිකර ගන්නා ලදි. 2017දී පැවැ‍ත්වූ 22 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ පලමු ස්ථානය හිමිකර ගත් අසල්වාසි ඉන්දියාවට මෙවර හිමිවූයේ හතරවන ස්ථානයයි. 

සමස්ත තරගාවලිය පුරාවට වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගන්නා ලද්දේ බහරේනය විසිනි. බහරේනය ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයක මෙවැනි දස්කමක් දැක්වූයේ පළමු වතාවට වීම විශේෂත්වයකි. තරගාවලිය පුරාවටම පැවති ඉසව් අතරින් බහරේන් රාජ්‍යය, පිරිමි අංශයෙන් රන් පදක්කම් 4ක් දිනාගෙන ඇති අතර කාන්තා අංශයෙන් රන් පදක්කම් 6ක් දිනාගැනීමට සමත්වීම කැපී පෙනෙන කාරණයකි. තවද මීටර 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට බහරේනය සමත් විය. මෙම තරගාවලියේ කාන්තා මීටර 400 සහය දිවීමේ ඉසව්ව කාගේත් අවධානයට ලක්වූයේය. එයට හේතුව බහරේන් රාජ්‍යයේ සල්වා නසර් ක්‍රීඩිකාව පෙන්වූ විශිෂ්ට දක්ෂතාවයයි. සල්වා නසර් මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදි ඉසව් 5කින් රන් පදක්කම් 4ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ඇය මෙවර වැඩිම රන් පදක්කම් ලාභී ක්‍රීඩිකාව සහ වැඩිම පදක්කම් ලාභී ක්‍රීඩිකාව ද වේ. මේ හේතුව නිසාම මෙතෙක් බහරේනය සහභාගී වී ඇති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි අතුරින් වැඩිම රන් පදක්කම් ගණනක්දිනා ගැනීමට සමත්වූ ශූරතාවය ලෙස මෙම 23 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය ඉතිහාසගත විය. සල්වා නසර් මීටර් 200 ඉසව්ව තත්පර 22.74කින් නිමාකොට රන් පදක්කම දිනා ගත්තේ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි වාර්තාවක් ද බිහිකරමිනි. 

මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර නිමාලි ලියනආරච්චි ක්‍රීඩිකාවගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 15 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වී ඇත. නමුත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට හැකිවූයේ එක් ලෝකඩ පදක්කමක් පමණි. මුළු ලකුණු 33ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව 13වන ස්ථානය ලබාගෙන ඇත. තුන් පිම්ම ඉසව්වෙන් මීටර 13.53ක දක්ෂතාවයක් දක්වමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට විදූෂා ලක්ෂානි ක්‍රීඩිකාව සමත්විය. එය ඇය ලැබූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි වාර්තාවකි. කාන්තා මීටර 4x400 සහය දිවීමේ ඉසව්වට සහභාගී වූ නදීකා රාමනායක, නිමාලි ලියනාරච්චි, ඩිල්ශි කුමාරසිංහ සහ උපමාලිකා රත්නකුමාරි ඇතුළු ශ්‍රී ලංකා කාන්තා සහය දිවීමේ කණ්ඩායම එම ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගත්තේ මිනිත්තු 3.3506ක කාලයක් වාර්තා කරමිනි. එමගින් වසර 20ක් පැරණි ජාතික වාර්තාව බිඳ හෙළමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිට වීමට හැකිවීම විශේෂ කරුණකි. මීට අමතරව නිලානි රත්නායක (මීටර් 3000 බාධක දිවීම - කාන්තා), ගයන්තිකා අබේරත්න (මීටර් 800 - කාන්තා) යන ක්‍රීඩිකාවන්ට එම ඉසව්වල සිව්වැනි ස්ථාන ලබාගැනීමට හැකි වී ඇත. 

2017 ආසියානු මලල ක්‍රීඩා උළලේ දී ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණ හමුවේ මෙවර සාර්ථකත්වය සැලකිය යුතු ලෙස පහත වැටීමක් දක්නට ලැබුනද මෙම ජයග්‍රහණ සියල්ල ඉතා වැදගත් වන්නේ සැබෑ ශ්‍රීලාංකිකයන් වශයෙන් තම මවුබිම ඔසවා තැබීමට පමණක් නොව, රට තුල සිදුවූ ඛේදවාචකය හමුවේ අනෙකුත් සහෘද ශ්‍රීලාංකිකයන් හට යම් අස්වැසිල්ලක් ගෙන දීමට මෙම ජයග්‍රහණ සමත් වූ නිසාවෙනි. එවන් තත්වයක් පැවතියද රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීමට ඔවුන් සතුව පැවති අධිෂ්ඨානය හා කැපවීම අගය කල යුතුම වන්නේ ය. 

තවද මෙම ආසියානු මලල ක්‍රීඩා උළෙලට සහභාගි වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන් ලැබූ ජයග්‍රහණ වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් එක් කරන අතරම තව තවත් ජයග්‍රහණ ලක්මවට ගෙන ඒමට ශක්තිය ලැබේවායි MoraSpirit අපි සැවොම ප්‍රාර්ථනා කරමු. 


Comments