පිටිය උණුසුම්කළ මතභේදාත්මක පාපන්දු තරගය දෙපිළටම සමශූරතා ගෙනෙමින් නිමවෙයි

පිටිය උණුසුම්කළ මතභේදාත්මක පාපන්දු තරගය දෙපිළටම සමශූරතා ගෙනෙමින් නිමවෙයි

මාතර උයන්වත්ත හා කොටවිල ක්‍රීඩාංගණ ද්විත්වය තෙදිනක් පුරා උණුසුම් කළ 13 වන SLUG තරගාවලියේ පාපන්දු තරගවල විනිශ්චය පිළිබඳ ඇතිවූ මතභේදාත්මක තත්ත්වය සමඟ එහි වූ උණුසුම හා තරග තීරණය පිළිබඳ වූ අවධානය දෙගුණ තෙගුණ වූ බව මේ වන විට අප සැමට නොරහසකි. ඇතිවූ අවිනිශ්චිත තත්ත්වය හමුවේ වගකිවයුතු සමූහයක් වශයෙන් MoraSpirit අපි ඒ පිළිබඳ වගකිවයුත්තන් සමඟ සාකච්ඡා කර පසු විපරමක් කිරීමට තීරණය කළෙමු.

තරග 23ක් යටතේ පෙළගස්වා තිබූ පාපන්දු තරගමාලාව මූලික තරග 15කින් තෝරා පත්වන සුදුස්සන් අර්ධ අවසන් පූර්ව හා අවසන් පූර්ව වට හරහා අවසන් තරගය දක්වා යොමුවිය. එහිදී සුවිශේෂ දස්කම් දක්වා අවසන් තරගය තුළ තම ස්ථාන තහවුරු කර ගැනීමට සබරගමු සරසවි කණ්ඩායම සමඟ උරෙනුර ගැටී ජයගත් මොරටුව කණ්ඩායමටත්, පේරාදෙණිය කණ්ඩායම අභිබවා ජය ලැබූ යාපනය විශ්වවිද්‍යාලයීය කණ්ඩායමටත් හැකිවිය.

කාගෙත් අවධානය යොමු වූ තරගයක් ලෙස මොරටුව හා යාපනය කණ්ඩායම් අතර සැප්තැම්බර් පළමුවනදා අපරභාගයේ පැවති අවසාන මහා තරගයේ පළමු භාගයේ දී දෙපිළම එකිනෙකා පරයා ජයටැඹ වෙත පියමනින්නට උත්සාහ කළහ. පළමු භාගය අවසන් වීමට මත්‍තෙන් යාපනය ඉදිරි පෙළ ක්‍රීඩකයෙකු අනවසර වැළැක්වීමකට ලක්කිරීමේ චෝදනාව යටතේ මොරටුව දැල් රකින ක්‍රීඩකයාට නිකුත්කළ රතු කාඩ්පත සමඟ තරගය වෙනතකට යොමු වනු දක්නට ලැබුණි.

දැල් රකින ක්‍රීඩකයා වූ මණ්ඩප පණ්ඩිතගේ පිටියෙන් ඉවත් වූ අතර අනතුරට ලක් වූ යාපනය ක්‍රීඩක Sam David ගිලන් රථයක් ආධාරයෙන් රෝහල් ගත කිරීමට බලධාරීහු ක්‍රියා කළහ.

මණ්ඩප වෙනුවට ආදේශක දැල් රකින්නෙකු පිටියේ අනුයුක්ත කර, වෙනත් ක්‍රීඩකයෙකු පිටියෙන් ඉවත් කළ අතර දඩුවම් පහර සදහා ක්‍රීඩකයින් නැවත ස්ථාන ගත වුවද ඇතිවූ ගිගුරුම් හා වැසි තත්ත්වය නිසා තරගය මදකට නතර කිරීමට විනිසුරුවන් තීරණය කරන ලදි.

වර්ෂාව නිසා තරගය නැවත ආරම්භය ප්‍රමාද වූ අතර තරගය පසු දින දක්වා කල් දැමීමට විනිසුරු තීරණය යොමු වුවද තරගාවලිය ආරම්භයේදී පාපන්දු සදහා අතිරේක තරග දිනයක් ප්‍රකාශ කර නොතිබීම නිසාත් ක්‍රීඩකයන්ට පසු දිනට යෙදී තිබූ විභාග හා සීමාවාසික පුහුණු කටයුතු නිසාත් මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායමයෙන් ඒ සදහා විරෝධය එල්ල විය.

මොරටුව කණ්ඩායම නැවත පසුදින ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ තරග සංවිධායකවරු යාපනය කණ්ඩායමට ශූරතාවය සදහා වූ රන් පදක්කම් ප්‍රදානය කළ අතර මොරටුව කණ්ඩායමට රිදී පදක්කම් ලබා දීමට සූදානම් වුවද ඔවුන් එය ප්‍රතික්ෂේප කළහ.

පසුව මොරටුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යක්ෂක රත්නමුදලි මහතා හරහා කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකරන ලද විභාගයකින් පසුව කණ්ඩායම් දෙක සදහා ම සම ශූරතා ලබා දීමට SLUG සංවිධායක කමිටුව තීරණය කළ අතර ඒ අනුව මොරටුව කණ්ඩායම සදහා ද රන් පදක්කම් ප්‍රදානය කිරීම ඊයේ සිදු විය.

ඇතිවූ තත්ත්ව හමුවේ අවසානයේ දී මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම හා යාපනය විශ්වවිද්‍යාලයීය කණ්ඩායම යන කණ්ඩායම් ද්විත්වයම සම ශූරතා සදහා හිමිකම් කී අතර අවසාන මහා තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

Comments