අභියෝගයන්ට හෙල්ලෙන් පිළිතුරු දුන් ක්‍රීඩා තරුව

අභියෝගයන්ට හෙල්ලෙන් පිළිතුරු දුන් ක්‍රීඩා තරුව

 

ඕනෑම අයෙකුට ඔලිම්පික් ක්‍රීඩා උළෙල යන නම ඇසූ සැණින් ලෝක ක්‍රීඩාවේ මහා මංගල්‍යය සිහියට නැගෙනු ඇත. 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලට ඇත්තේ ඉතා සුළු කාලයකි. එලෙසම ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලද සුවහසක් ක්‍රීඩක රසිකයින්ගේ හදවත් ඇද බැඳගත් ක්‍රීඩා උළෙලකි. පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාහී වීමට අවස්ථාව ලැබෙන්නේ විශේෂ අවශ්‍යතා සහිත අති දක්ෂයන්ට පමණයි. ලොව පුරා ඇති රටවල් බොහොමයකින් මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වීමට අති විශේෂ පිරිසක් සුදුසුකම් ලබනවා. අප සැමට වඩා දරාගැනීමේ හැකියාවක් ඇති, බාධක හමුවේ පසු නොබසින, ධෛර්‍යවන්ත ක්‍රීඩා කෞශල්‍යයෙන් ජාතික මට්ටමේ ක්‍රීඩකයින්ට පවා නොදෙවෙනි දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් මෙම පැරා ඔලිම්පික් තරගාවලියේදී තම රට වෙනුවෙන් තරග වදිනවා. මුණගැසෙන දහසකුත් එකක් බාධාවන් කිසිවකට තම ජීවිතය වෙනස් කරන්නට ඉඩ නොදුන් අපේ කාලයේ වීරයන් වන පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන කතා කරන "Beyond abilities" ලිපි මාලාවේ අද දිගහැරුමෙන් අප හමුවන්නේ 2021 පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති සුවිශේෂී පුද්ගලයෙක්.

 

ඔහු නමින් කැටවලගෙදර ගාමිණී ඒකනායක.

 

හෙල්ල විසි කිරීමේ ඉසව්ව යටතේ ලක් මවගේ නාමය පැරා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම තැබීමට සමත්කම් දැක්වූ ඔහු සමඟ දොඩමළු වූ අප ඒ අත්දැකීම් මෙන්ම ඔහුගේ අදහස් මෙම ලිපිය හරහා ඔබ සමග බෙදා හදා ගැනීමට කැමැත්තෙමු. ක්‍රීඩාවට ලැදි ඔබ මෙම අති සුවිශේෂී පැරා ක්‍රීඩකයා සමග සබැඳුණු මේ ලිපිය ආදරයෙන් වැළඳ ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

 

 

 

1) ඔබතුමා සහ ඔබේ පවුලේ සාමාජිකයින් ගැන හැඳින්වීමකින් අපි අපේ කතාව ආරම්භ කරමු.

 

මම ගාමිණී ඒකනායක. මම ශ්‍රී ලංකා යුධ හමුදාවේ පාබල හමුදාවේ සේවය කරනවා. මගේ බිරිඳ අයෝමි සපුතන්ත්‍රි මාගේ සියලු කටයුතු සඳහා නොමඳ සහයක් ලබාදෙනවා. මගේ දරුවන් දෙදෙනාම තවමත් පාසල් අධ්‍යාපනය ලබනවා. කුඩා කල පටන්ම මට මහත් ශක්තියක් වුණු මගේ මව අදවන විට මෙලොව හැරගොසින් සිටියත් මගේ පියා නිරතුරුව මා දිරිමත් කරනවා. මම අධ්‍යාපනය ලැබුවේ මාතලේ නාලන්ද බෝගස් බොබැල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන්. මමත් බිරිඳත් දරුවන් දෙදෙනාත් දැන් ජීවත් වෙන්නේ මාතලේ ප්‍රදේශයේමයි.

 

 

2) ඔබ ක්‍රීඩා ක්ෂේත්‍රයට මුලින්ම පා තැබූ ආකාරය කෙටියෙන් විස්තර කළොත්?

 

පාසල් සමයේ සිටම මම වොලිබෝල් ක්‍රීඩාවට ප්‍රිය කළා. යුධ හමුදාවට බැඳුණු පසු ක්‍රියාන්විත සේවයේ සිටින කාලයේ 2007 වසරේදී මගේ වම් අතට වෙඩි වැඩීම නිසා ආබාධිත තත්ත්වයට පත්වුණා. නමුත් මම නිසි ප්‍රතිකාර කිරීමෙන් පසුවත් මගේ ක්‍රීඩාවට තිබුණු ආශාව නිසාම 2012 වසරේදී පැරා ක්‍රීඩා සඳහා යොමු වුණා. ඒ සඳහා මා දිරිගැන්වූ එවකට මගේ පුහුණුකරු සාජන්ට් මේජර් හේරත් මහතාව ඉතාමත් ආදරයෙන් මතක් කළ යුතුයි. පළමුව මම වොලිබෝල් ක්‍රීඩාව සහ 400m දිවීමේ ඉසව් සඳහා යොමු වුණා. ඉන් පසුව මළල ක්‍රීඩා සඳහා මා සතු වූ දක්ශතා හේතුවෙන් F46 අංශයෙන් හෙල්ල සහ කවපෙත්ත විසිකිරීම ඉසව් වලට යොමුවුණා. දැනට අන්තර්ජාතික මට්ටමේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වටත් ජාතික මට්ටමේදී හෙල්ල සහ කවපෙත්ත ඉසව් සඳහාත් ක්‍රීඩා කරනවා.

 

 

3) ඔබතුමා විශාල වශයෙන් ක්‍රීඩා ජයග්‍රහණ අත් කරගත් ක්‍රීඩකයෙක්. ඒවා කිහිපයක් ගැන සඳහන් කළොත්?

 

මම හෙල්ල විසිකිරීමේ පැරා ක්‍රීඩා සඳහා යොමුවුණේ 2013 වසරේදියි. එතැන් පටන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ කිහිපයක්ම ලබා ගැනීමට මට හැකි වුණා. ජාතික මට්ටමේදී 2013 වසරේ සිට හෙල්ල විසිකිරීම සහ කවපෙත්ත විසිකිරීම ඉසව්වෙන් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් කිහිපයක්ම ලබා ගැනීමට මා හට හැකි වුණා.

මා ලද ජාත්‍යන්තර තරග ජයග්‍රහණ කිහිපයක්ම තිබෙනවා. 2014 කොරියාවේදී පැවති ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියේදී 6 වන ස්ථානයත් 2016 ඩුබායිහි පැවති Para championship තරගාවලියේ දෙවන ස්ථානයත් දිනාගැනීමට මම සමත් වුණා. 2016 ජර්මනියේ පැවති පැරා ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබීමේ වටයෙන් තුන්වන ස්ථානය ලබාගෙන 2016 බ්‍රසීලයේ රියෝ පැරා ඔලිම්පික් උළෙලේ 9වන ස්ථානය දිනා ගත්තා. 2018 ඉන්දුනීසියාවෙ පැවති ආසියානු පැරා ඔලිම්පික් තරගාවලියේදී 7 වන ස්ථානය දිනාගත් මම 2020දී ඩුබායිහි පැවති 2021 පැරා ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමේ වටයේදී දෙවන ස්ථානය දිනාගත්තා.

එම දක්ශතා පදනම් කරගෙන 2021 ජපානයේ පැවැත්වීමට නියමිත පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට මම සුදුසුකම් ලබා සිටිනවා.

 

 

4) ඕනෑම ක්‍රීඩකයෙකුට තම ක්‍රීඩා ජීවිතයේදී කරදර බාධක එන්න පුළුවන්. පැරා ක්‍රීඩකයෙක් විදියට ඔබ මුහුණදුන් බාධක මොනවාද? ඔබ ඒවාට සාර්ථකව මුහුණ දුන්නේ කොහොමද කියන දේ විස්තර කළොත් මෙම ලිපිය කියවන සැමට එය වැදගත් වනු ඇති.

 

රට වෙනුවෙන් ක්‍රියාන්විත සේවයේ යෙදී සිටින අතරතුර ආබාධිත තත්ත්වයට පත්ව සිටි මා තුළ ක්‍රීඩාවට තිබූ කැමැත්ත මේ ස්ථානයට ගෙන එන්නට ඇතැයි විශ්වාස කරනවා. නිසි ප්‍රතිකාර කිරීමෙන් පසු එවකට මාගේ පුහුණුකරු සහ රෙජිමේන්තුවේ මගේ සහෝදරයින්ගේ දිරිමත් කිරීමත් මැදිහත්වීමත් සමගම පැරා ක්‍රීඩකයෙක් ලෙස මගේ ගමන ආරම්භ කිරීමට මට හැකි වුණා. නමුත් පැරා මළල ක්‍රීඩකයෙක් ලෙස පුහුණු වීම මට එතරම් පහසු වූයේ නෑ. මුල් කාලයේ එක්වරම පුහුණුවීම් වලට අනුගත වීමේදී බොහෝ අපහසුතා ඇති වූ තැන් තිබුණා. 2016 පැරා ඔලිම්පික් උළෙල අතරතුරත් මා හට ඇති වූ කොන්දේ ආබාධයක් නිසා මගේ උපරිම දක්ශතා අතරට පැමිණීමට නොහැකි වුණා. නමුත් ඒ නිසා මම මානසික පසුබෑමකට ලක් වුණේ නෑ. මම දිගටම සැමදෙනාගේම උපකාර,දිරිමත් කිරීම් ඇතිව පුහුණුවීම්වල නිරත වුණා. මානසිකව නොවැටී දිරියෙන් මුහුණ දීම පැරා ක්‍රීඩකයෙක් අනිවාර්‍යෙන්ම පුහුණු කළ යුතු දෙයක්.

 

 

 

5) විශේෂ අවශ්‍යතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වර්තමානයේ සමාජයෙන් ලැබෙන සහයෝගය කොහොමද? එය ප්‍රමාණවත්ද?

 

ඇත්තටම සමාජයේ අප වැනි ක්‍රීඩකයින් පිළිබඳව හඳුනන පිරිස සාපේක්ෂව අඩුයි. නමුත් අප ක්‍රීඩාව ආරම්භ කළ කාලයට වඩා බොහෝ පිරිසක් මේ වනවිට අප සමග සිටිනවා. ඔවුන් නිතරම අපව දිරිගන්වනවා. ඒ වගේම ජාතික මට්ටමේ ක්‍රීඩකයින්ට සමාජය තුළ ඇති වී තිබෙන කතාබහ පැරා ක්‍රීඩකයින් පිළිබඳවත් ඇතිවනවානම් පැරා ක්‍රීඩකයින්ගේ මානසිකත්වයට එය හොඳින් බලපානු ඇතැයි මම විශ්වාස කරනවා.

 

 

6) ඔබතුමා හිතන විදියට පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන පහසුකම් සහ සහයෝගය ප්‍රමාණවත්ද? එසේ නොමැතිනම් තවත් වර්ධනය විය යුතු දේවල් මොනවාද?

 

පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන භෞතික පහසුකම් සැලකුවොත්, වර්තමානයේදී ඒවා බොහෝ සෙයින් දියුණු වී තිබෙනවා. අපි ක්‍රීඩාව ආරම්භ කළ කාලයට සාපේක්ශව දැන් වැඩි පහසුකම් ප්‍රමාණයක් සහ හොඳ පුහුණුකරුවන් පැරා ක්‍රීඩකයින්ටත් ලබා දෙනවා. ක්‍රීඩාංගණ මෙන්ම පුහුණුකරුවන් අතරිනුත් අපට ජාතික මට්ටමේ ක්‍රීඩකයන් හා සමානව පහසුකම් ලබා දීමට හැකිනම් එය ජාතික මට්ටමේ පැරා ක්‍රීඩකයින්ට මහත් රුකුලක් වනු ඇති බව මගේ අදහසයි.

 

7) ඔබ ලබාගත් ජයග්‍රහණ බොහොමයක් අප සමග පැවසුවා. ඒ අතරින් ඔබට අමතක කළ නොහැකි විශේෂිතම වූ ජයග්‍රහණය කුමක්ද?

 

2016 වසරේ බ්‍රසීලයේ රියෝ හි පැවති පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමෙන් 9වන ස්ථානය ලබාගැනීම මාගේ පළමු පැරා ඔලිම්පික් අත්දැකීම නිසා එය මට කිසිදිනක අමතක නොවන මාගේ විශේෂිතම ජයග්‍රහණය ලෙස සලකනවා.

 

 

8) මෙතරම් දිගු ගමනක් පැමිණීමට ඔබට ශක්තියක් වූ බොහෝ පිරිසක් ඉන්නවා ඇති. මේ අවස්ථාව ඔවුන්ව සිහිපත් කිරීමටයි.

 

ඇත්තටම මට මේ ගමන පැමිණීමට උදව් උපකාර කළ බොහෝ දෙනෙක් සිටිනවා. පැරා ක්‍රීඩකයෙක් ලෙස පළමුව මාව උනන්දු කළේ එවකට යුධ හමුදා පාබල හමුදාවේ පුහුණුකරු වූ සාජන්ට් මේජර් හේරත් මහතා , එවකට පාබල මූලස්ථාන විධායක අධිකාරී මේජර් ඉද්දමල්ගොඩ මහතා සහ R.S.M. ජයන්ත මහතායි. එසේම පැරා ක්‍රීඩා සඳහා මට පුහුණුකාරීත්වය ලබා දුන් ජයන්ත සහ ප්‍රදීප් නිශාන්ත යන මහත්වරුන් ඉතා ආදරයෙන් සිහිපත් කළ යුතුයි. වර්තමානයේ මාගේ පුහුණුකරු වන ජනක නිශාන්ත මහතා මාගේ ජයග්‍රහණය වෙනුවෙන් නොමඳ වෙහෙසක් දරනවා.

ඒ වගේම මාගේ පවුලේ සියලු දෙනා සෑමවිටම මා හට ශක්තියක් වෙමින් මා පසුපසින් සිටිනවා. ඔවුන්ගේ කැපකිරීම සහ දිරිමත් කිරීම් නොමැති වන්නට මට මේ තරම් දුරක් පැමිණීම සිහිනයක් වන්නට තිබුණා. ඒ වගේම පාබල මූලස්ථාන බලඇණියේ අණදෙන නිළධාරී, නිළධාරී අණදෙන ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්වත් මගේ සහෝදර සෙබළ මිතුරන් සැමදෙනාවත් පැරා ක්‍රීඩක සහෝදර සියලු දෙනාත් ජාතික පැරා ඔලිම්පික් කමිටුව, ක්‍රීඩා අමාත්‍යාංශය මේ අවස්ථාවේ විශේෂයෙන්ම මතක් කළ යුතුයි.

 

 

9) මේ වසරේ ඔබ ලඟා කර ගැනීමට බලාපොරොත්තු වන ඉලක්කය කුමක්ද?

 

2021 පැරා ඔලිම්පික් තරඟාවලියට සහභාගී වී එහිදී ජයග්‍රහණයක් ලබා ගැනීම මගේ ප්‍රධානතම ඉලක්කයයි. එහිදී පදක්කමක් කරා ගොස් මව්බිමටත් මාගේ රෙජිමේන්තුවටත් ගෞරවයක් අත් කරදීම මේ වසරේ මගේ බලාපොරොත්තුවයි.

 

 

10) වර්තමාන විශ්වවිද්‍යාල වලත් පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඉන්නවා. පරිණත පැරා ක්‍රීඩකයෙක් ලෙස ඔවුන්ට ඔබ දීමට කැමති උපදෙස කුමක්ද?

 

පැරා ක්‍රීඩකයින් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් ලෙස මා දකින්නේ මනස ශක්තිමත් කරගැනීමයි. සමහර පැරා ක්‍රීඩකයින් ක්‍රීඩාවේදී ආබාධයට ලක් වූ අය වෙන්න පුලුවන්. තවත් සමහර පිරිසක් ආබාධ සහිතවම ක්‍රීඩාවට යොමු වූවන් වෙන්නත් පුලුවන්. මොන ආකාරයේ කෙනෙක් වුණත් හැම අවස්ථාවකදීම වැදගත් වෙන්නේ සිත ශක්තිමත්ව පවත්වාගෙන අභියෝගවලට නොබියව මුහුණ දීමයි. පැරා ක්‍රීඩකයෙක්ට පැමිණිය හැකි අභියෝග සාමාන්‍ය ක්‍රීඩකයෙක්ට වඩා වැඩි විය හැකියි. මේ ක්‍රීඩාවේ දිගටම නිරත වී ඉන්නට නම් හොඳ මානසික ශක්තියක් මෙන්ම කැපවීම සහ ධෛර්‍යය තිබිය යුතුයි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් කියන්නෙ අභියෝග වලට හොඳින් මුහුණ දිය හැකි කෙනෙක්. ඉතින් ජීවිතයේ සිදුවන සුළු කඩාවැටීමක් ජීවිතයම කඩාවැටීමක් දක්වා යාමට ඉඩ නොදී එය ආශිර්වාදයක් කරගෙන ඉදිරියට යෑමයි අප කළ යුත්තේ. ඕනෑම මට්ටමක සිටින පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවකට අවශ්‍ය ශිල්පීය දැනුම ලබාදීමට මම ඇතුළු අප ජාතික තලයේ ඕනෑම පැරා ක්‍රීඩකයෙක් සූදානම්. අවශ්‍ය වන්නේ ඔබේ උනන්දුව සහ නොපසුබස්නා අධිෂ්ඨානය පමණයි. ඔබට විවිධාකාර අභියෝග වලට මුහුණ දීමට සිදුවුවත් මහන්සිය සහ කැපවීම ඔබ පැරා ක්‍රීඩකයෙක් ලෙස ක්ෂේත්‍රයේ ගෙනයන තැන තීරණය කරාවි.

 

අප කතාබහ මෙලෙස අවසානයක් කරා එළැඹුණු අතර ඔහු අප සමග නැවත නැවතත් කියා සිටියේ ජීවිතයේ එක් පරාජයක් නිසා ජීවිතය ආපසු හැරවීමට ඉඩ ලබානොදී දිරියෙන් මුහුණ දිය යුතු බවයි. ඔබට ලැබෙන අභියෝග ආශිර්වාදයක් කරගෙන ඉදිරියට යාමට ඔබේ මනස ශක්තිමත් කරගත යුතු බව ඔහු දැඩි විශ්වාසයෙන් යුතුව අපට දුන් උපදෙසයි. ඉතින් ඔබේ සියලු කටයුතු සාර්ථක වී පුහුණුවීම් සාර්ථක ලෙස සිදු කරගෙන නුදුරු අනාගතයේදීම ලක්මව රනින් සරසන්නට වරම් ලැබේයැයි Moraspirit අපි සැවොම ඔබට සුබ පැතුම් එක්කර සිටිමු.

 

ජීවිතයේ ඔබ ලබන එක් පරාජයක් යනු ඔබ ජීවිතය ආපසු හැරවීමක් හෝ ජීවිතයම විනාශ වී යාමක් නොවේ. ප්‍රශ්න වලට දිරියෙන් මුහුණ දෙමු. බාධකවලට ශක්තිමත්ව මුහුණ දී අපගේ ඉලක්ක ජයගනිමු. දහසකුත් එකක් බාධක මැද ජීවිතය ජයගත් මේ දිරිය මිනිසාගේ කතාව ඔබ අප සැමට මහඟු උපදේශයක් වනු නොඅනුමානය. කිසිවෙකු සදාකාලික පරාජිතයින් නොවේ. සාර්ථකත්වයට අවශ්‍ය වන්නේ ආත්ම විශ්වාසය, කැපවීම සහ ධෛර්‍යය පමණි.



Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments