විශ්වවිද්‍යාලීය ක්‍රීඩාවටත් කොරෝනාවලින් බාධා

 විශ්වවිද්‍යාලීය ක්‍රීඩාවටත් කොරෝනාවලින් බාධා

පසුගිය දෙසැම්බර් මස අග භාගයේදී චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහන් නගරයෙන් වාර්තා වූ Covid-19 වෛරසය හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට ලෝකවාසී ජනතා සිත් තුල හුදෙක් තම අසල්වැසියාගේ මුඛයෙන් පිටවෙන කෙළ බිදිත්තෙන් තම ජිවිත ඉරණම විසදේ දැයි යන මරණ බිය ඇති කිරීමට මෙන්ම දෙස් විදෙස් ක්‍රීඩාලොලි ජනතාවගේ සියලු අපේක්ෂාවන් උඩු යටකුරු කර දමමින් සමස්ත ක්‍රීඩා තරගාවලි පද්ධතියට ම තාවකාලික නැවතුමක් තබන්නටත් මේ වන විට සමත් වී ඇත. 

ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළද මෙම නව වෛරසය සීඝ්‍රයෙන් පැතිර යන්නට වුයෙන්, පවතින තත්ත්වය හමුවේ රටේ ජනතාවගේ ආරක්ෂාව පිණිස ශ්‍රී ලංකා රජය විසින් දියත් කරනු ලබන වැඩපිළිවෙලට සහය දැක්වීම අරමුණු කරගෙන පසුගිය 13 වන සිකුරාදා දිනයේ සිට සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියට ම දෙසතියක නිවාඩු පරිච්ඡේදයක් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කරන ලදී.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා කණ්ඩායම් මගින් ඉදිරි දිනයන් හිදී පවත්වන්නට බලාපොරොත්තු වූ ක්‍රීඩා තරගවලින් බොහොමයක් දින නියමයක් නොමැතිව කල්දමා ඇති බවට MoraSpirit අප කණ්ඩායමට තොරතුරු වාර්තා වී ඇත. 

ඒ අනුව අප විසින් තෝරාගන්න ලද විශ්වවිද්‍යාලයන් සතරක ක්‍රීඩා ක්ෂේත්‍රයන් කිහිපයක් පිලිබදව සමීක්ෂණයක් දියත් කෙරිණි. 

1. මේ මස 14,15 දිනයන්හිදී පැවැත්වීමට සුදානමින් සිටි පේරාදෙණිය විශ්ව විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන PeraSixes තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමන්නට සිදු වී ඇත.

2. Old Cambrians කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කර අර්ධ අවසන් පුර්ව වටයේදී ජයග්‍රහකයන් බවට පත්වූ මොරටුව විශ්ව විද්‍යාලයීය පිරිමි හොකී කණ්ඩායම සහභාගි වීමට අපේක්ෂාවෙන් සිටි Colombo knockout තරගාවලියේ අවසන් පූර්ව තරගද දින නියමයක් නොමැතිව කල් දමා ඇති අතර එය ආරම්භයේදී මාර්තු මස 21 වන දින පැවැත්වීමට තීරණය වී තිබිණ.

3. පේරාදෙණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය කණ්ඩායම් පසුගිය 15 සහ 20 යන දෙදිනයන් හිදී කරට කර තරග වැදීමට නියමිතව තිබු Derby de Universite පාපන්දු තරගාවලිය ද දින නියමකින් තොරව කල් දමා ඇත. 

4. වෛරසය සමග ලොවම සටන් කරන මොහොතේදී පවතින මෙම තත්ත්වය පහව ගියහොත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය හොකි කණ්ඩායම මගින් සංවිදානය කරනු ලබන Japura 9’s තරගාවලිය ඉදිරි මැයි මාසයේදී පවත්වීමට කටයුතු යොදා ඇත.

5. ඉදිරි දින කිහිපය තුලදී පවත්තන්නට බලාපොරොත්තුව තිබු Karate National Level Meet සහ National Festival Tournaments යන තරගවලීන් ද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව අපට වාර්තා විය. 

මිට අමතරව පවතින තත්වයන් හේතුවෙන් විශ්ව විද්‍යාලීය ක්‍රීඩා කණ්ඩායම් විසින් පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටි Fresher meets සහ Faculty meets ද දින නියමයක් නොමැති ව කල්තබන්නට සිදුවී ඇති අතර, පවතින තත්වයන් යහපත් අතට කඩිනමින් නොහැරෙන්නේ නම් මෙවර ද පසු ගිය වසරේදී මෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා තරගාවලිය ද පැවැත්වීමට අපේක්ෂා කරන කාල වකවානු වෙනස් වීමේ ඉඩ ප්‍රස්ථාවක් තිබෙන්නේයැයි ඔවුන් සදහන් කර සිටියි.

ඉතාලිය වැනි ලොව ධනවත් යුරෝපියානු රාජ්‍යයන්ගේ ආර්ථික හා සමාජීය තත්වයන් අඩපණ කිරීමට පවා සමත් වූ Covid-19 වෛරසයේ මාරාන්තික භය පුංචි රටක් වූ අපේ ශ්‍රී ලංකාවෙන් දුරු කිරීම උදෙසා රජය මගින් පනවා ඇති උපදේශයන් හා අනුගත වෙමින් නීති ගරුක හා සෞඛ්‍යය සම්පන්න දිවිපෙවතක් ගත කිරීමට කටයුතු කිරීම ලක්වාසි ඔබ අප සැමගේම යුතුකමකි.

අවසාන වශයෙන්, අපේ රටේ ඉදිරි අනාගතය ආරක්ෂා කිරීමට උරදෙන ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදා බලකායන් හා සෞඛය අමාත්‍යාංශය ඇතුළු කොට ඇති සියලු රාජ්‍ය සංවිධානයන් හට අවශ්‍ය සියලු ශක්තිය, ධෛර්යය සහ වාසනාව ලැබේවා යයි MoraSpirit අපි ප්‍රර්ථනා කරන්නෙමු.

Comments