ලොව වටා ක්‍රීඩාවට කොරෝනා වසංගතයෙන් ඇති වූ බලපෑම

ලොව වටා ක්‍රීඩාවට කොරෝනා වසංගතයෙන් ඇති වූ බලපෑම

2019 වසර අග භාගයේදී චීනයේ වූහාන් නගරයෙන් ප්‍රථම වරට වාර්තා වූ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලොව රටවල් 200කට අධික ප්‍රමාණයක ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මේ හේතුවෙන් ලෝකවාසී ජනයාගේ ජන ජීවිතයට හා ලෝක ආර්ථිකයට සිදුව ඇති බලපෑම සුළුපටු නොවේ. මෙවන් වාතාවරණයකදී ක්‍රීඩා ක්ෂේත්‍රයට ඇතිවී තිබෙන බලපෑම පිළිබඳව අපි සොයා බැලීමක් කළෙමු.

මෙම වෛරසයේ වේගවත් ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාව ඇතුළු ලොව බොහෝ රටවල් එය ප්‍රචාරණය පාලනය සඳහා නොයෙකුත් විධි විධාන යොදන ලදී. ගුවන් ගමන් සීමා කිරීම, නගර වශයෙන් හෝ මුලු රටක් වශයෙන් යම් කාලයකට වසා දැමීම, ජනතාව ඒකරාශවීම් තහනම් කිරීම ආදී ක්‍රියාමාර්ග හරහා වෛරසය පැතිරීම පාලනය කරන ලද අතර එමගින් ජාත්‍යන්තර මට්ටමේ මෙන්ම ජාතික මට්ටමේ ක්‍රීඩාවන්ද පැවැත්වීමට බාධක ඇතිවුණි. ලෝකය මුහුණ දී ඇති ශෝකජනක තත්ත්වය හමුවේ බොහෝ ක්‍රීඩා ඉසව් කල් දැමීමට හෝ අහෝසි කිරීමට බොහොමයක් රටවල් තීරණය කර ඇත.

2020 වසර සැලකූ විට ක්‍රීඩාව අතින් වැදගත් වසරකි. මන්ද යත් ඔලිම්පික් උළෙලක්, විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයක්, ලන්ඩන් මැරතන් තරඟාවලිය, ප්‍රංශ පාපැදි සවාරිය, විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය ආදී වූ සුවිශේෂී ක්‍රීඩා ඉසව් රැසක් මෙම වසරේදී පවත්වන්නට යෙදුණු නිසාවෙනි. නමුත් ඉහත කී බාධාවන් හේතුකොටගෙන බොහෝ ක්‍රීඩා ඉසව් නියමිත දිනයන්හිම පැවැත්වීම ගැටළුවක් බවට පත්ව ඇත.

ක්‍රිකට් ක්‍රීඩාව සැලකුවහොත් වෛරසය ව්‍යාප්තිය ආරම්භක කාලයේ සිට ප්‍රේක්ශකයින් පැමිණීමේ පැහැදිලි අඩුවක් දක්නට ලැබිණි. එකදු ප්‍රේක්ශකයෙකු හෝ නොමැතිව ක්‍රීඩා කරන්නට යෙදුණු ඕස්ට්‍රේලියා- නවසීලන්ත එක්දින තරගාවලියේ පළමු තරගය ඊට හොඳම නිදසුනකි. ඉතිරි තරග දෙක අතහැර දැමීමට තරග තීරකවරුන් කටයුතු කරන ලදී. තවද ඉන්පසුව පැවැත්වීමට යොදා තිබූ සියලුම ක්‍රිකට් තරග නැවැත්වීමට ඒ ඒ රටවල ක්‍රිකට් පාලක මණ්ඩල මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේද එකඟතාවය හිමිවිණි. එම තරගාවලි අතර ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලිය, ඉන්දියා - දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය, බංග්ලාදේශ කණ්ඩායමේ පාකිස්ථාන හා අයර්ලන්ත සංචාරයන්, ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය ආදී බොහොමයකි. තවද ඉතා ජනප්‍රිය ඉන්දීය අයි.පී.එල්. තරගාවලියත් (අප්‍රේල් 15 දක්වා) පාකිස්ථානු පී.එස්.එල්. තරගාවලියත් මෙම වෛරසය හේතුවෙන් කල්දමා තිබේ. එසේම මෙම වසරේ පැවැත්වීමට යෙදුණු ජ්‍යෙෂ්‍ඨයන්ගේ ක්‍රිකට් තරගාවලියක් වන ‘රෝඩ් සේෆ්ටි’ ලෝක ශූරතාවද තරග 4ක් පමණක් ක්‍රීඩා කිරීමෙන් පසු කල්දැමීමට සිදුවිණි. ක්‍රිකට් ප්‍රේක්ශකයින් පුල පුලා බලා සිටින 2020 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියද පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක පැවතියද මාර්තු 27වන දින පැවති සාකච්චාවකදී තීරණය වී ඇත්තේ සැලසුම් කළ පරිදි එය ඔක්තෝම්බර් මස 18 වන දින ආරම්භ කිරීමටයි. යම් හෙයකින් වෛරසය පාලනය ප්‍රමාද වීමක් සිදු වුවහොත් එය 2022 වසර දක්වා කල් යනු ඇති බවට වාර්තා වේ.

ක්‍රීඩා ලොව සැණකෙළිය ලෙසින් හඳුන්වන ඔලිම්පික් උළෙල මෙවර ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වීමට නියමිතව තිබුණේ මේ වසරේ ජූලි 24 වන දිනයේදීය. නමුත් උක්ත ගැටළුව හේතු කොට ගෙන එය අවුරුද්දකින් කල් යැවීමට, එනම් 2021 ජූලි 23 දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. තවද ලෝක ප්‍රකට විම්බල්ඩන් ටෙනිස් ශූරතාවද මේ වසරේ නොපැවැත්වීමට තීරණය කර ඇති අතර එය එලෙස අහෝසි වීමක් මීට පෙර සිදුව ඇත්තේ පළමු හා දෙවන ලෝක යුද්ධ සමයේදී පමණක් වීම විශේෂත්වයකි. එසේම ප්‍රංශ පාපැදි සවාරියද මේ වසරේ පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක පවතී. එය ජුනි මස 27වන දින ආරම්භ වීමට නියමිතව තිබුණද දැනට පවතින සෞඛ්‍ය තත්ත්වයන් සැලකිල්ලට ගෙන එය කල්දැමීමක් සිදුකරනවාද යන්න මැයි මස 15 වන දින සාකච්ඡාවකින් අනතුරුව දැනුම් දීමට නියමිතව ඇත. අප්‍රේල් 26 පැවැත්වීමට නියමිතව තිබූ ලෝක ප්‍රසිද්ධ ලන්ඩන් මැරතන් තරඟාවලිය ඔක්තෝම්බර් 4වන දින දක්වා කල් දමා ඇත. ලොව වැඩිම පිරිසක් නරඹන ක්‍රීඩාව වන පාපන්දු ක්‍රීඩාවටද මේ කාලවකවානුව එතරම් හොඳ පරිච්ඡේදයක් නොවේ. ලොව පුරා ක්‍රීඩා ලෝලීන් අතර ප්‍රචලිත ප්‍රධාන පෙළේ පාපන්දු ලීග කීපයක්ම අත් හැර දැමීමට හෝ කල් දැමීමට සිදුව තිබේ. යුරෝපා ලීගය සහ චැම්පියන්ස් ලීගයේ මුල් තරග සඳහා ප්‍රේක්ශක සහභාගීත්වය ශුන්‍ය වීම සහ වෛරසය ශීඝ්‍රයෙන් එම රටවල පැතිරී යාම හේතුකොටගෙන ඉතිරි තරග දින නියමයක් නොමැතිව කල් දමා ඇත. තවද ඉංග්‍රීසි ප්‍රිමියර් ලීගයේ මාර්තු 13වන දිනෙන් පසු සියලු තරග ද කල්දමා ඇත. එමෙන්ම එළඹෙන ලෝක කුසලාන සහ ඔලිම්පික් තරග සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිද මාර්තු - අප්‍රේල් මාස දෙක පුරාවටම නවතා දමා ඇත.

ඉහත දැක්වූ ක්‍රීඩාවන්ට අමතරව අනෙකුත් ක්‍රීඩාවන්හිද කිසිදු ක්‍රියාකාරකමක් සිදු නොකෙරෙන කාලයක් බවට මෙම කාලසීමාව පත්වී තිබේ. රග්බි සුපර් ලීගය මාර්තු 14 වන දින සිටත් ඕස්ට්‍රේලියානු ජාතික රග්බි ලීගය මාර්තු 23 වන දින සිටත් දින නියමයකින් තොරව කල් දමා ඇත. තවද යුරෝපීය සුප්‍රසිද්ධ සික්ස් නේෂන්ස් රග්බි තරගාවලියේද පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙහිම තරග දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවී තිබේ. හොංකොං සෙවන්ස් රග්බි තරගමාලාව ඔක්තෝම්බර් 16 දක්වා කල් දමා ඇති අතර යුරෝපීය රග්බි ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව තරගවල පටන් ඉතිරි තරග සියල්ල දින නියමයකින් තොරව කල් දමා තිබේ. ලෝක ගෘහස්ථ මළල ක්‍රීඩා තරගාවලිය 2021 වසරේ මාර්තු මාසය දක්වාත් ලෝක අර්ධ මැරතන් ශූරතාවලිය මේ වසරේ ඔක්තෝම්බර් මාසය දක්වාත් කල් දැමීමෙන් මළල ක්‍රීඩා අංශයටද මෙහි බලපෑම බෙහෙවින් ඇතිව තිබෙන බව පෙන්නුම් කරයි. එසේම බෙලරූස් හි පවත්වන්නට යෙදී තිබූ ලෝක තරග ඇවිදීමේ තරගාවලියත් ප්‍රසිද්ධ හොංකොං හා මිලාන් මැරතන් තරගාවලිත් දින නියමයකින් තොරව කල් දමා ඇත. ලොව පුරා සියලුම ෆෝමියුලා වන් මෝටර් රථ ධාවන තරග වෛරසය පාලනය කරන තෙක් අත්හැර දැමීමට තීරණය කර ඇත. ‘චයිනා මාස්ටර්ස්’ බැඩ්මින්ටන් තරගාවලිය හා මැනිලාහි පැවත්වීමට නියමිතව තිබූ ආසියානු කණ්ඩායම් බැඩ්මින්ටන් ශූරතාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇත්තේ සත්කාරක රටවල වෛරසය පැතිරී තිබීම නිසාය. මේ සියල්ලටම අමතරව දුන්නෙන් විදීමේ ලෝකශූරතාවලිය (ශැංහයි), ඉලක්කයට වෙඩි තැබීමේ ලෝක කුසලානය ( නවදිල්ලිය), ආසියානු වෝටර් පෝලෝ ශූරතාවලිය (කසකස්තානය), ආසියානු මේසපන්දු තරගාවලිය (චීනය) යන සියලු තරගාවලි දින නියමයකින් තොරව කල් දමා ඇත. මැයි මස දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කණ්ඩායම් මේස පන්දු ශූරතාවලිය ජූනි මස 21 දක්වා කල් දමා තිබේ. චීනයේ පැවැත්වීමට තිබූ බීච් වොලිබෝල් ලෝක ශූරතාවයත් කසකස්තානයේ පැවැත්වීමට තිබූ ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියත් දින නියමයකින් තොරව කල් දමා ඇත.

මෙලෙස බලන කල කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ බලපෑමෙන් මේ වන විට ලෝකයේ ක්‍රීඩා කටයුතු සියල්ලක්ම පාහේ අකර්මණ්‍ය තත්ත්වයකට පත්ව තිබේ. බොහෝ තරගාවලි දින නියමයකින් තොරව කල්යාම ශෝකජනක තත්ත්වයකි. කෙසේ වුවද මේ මොහොතේ අපගේ අවධානය යොමුවිය යුත්තේ වෛරසය ලෝකයෙන් තුරන් කරලීම සඳහාය. ඒ සඳහා සරිලන ඖෂධ සෙවීම සඳහාය. ශ්‍රී ලංකාව ඇතුළු කොරෝනා වෛරසයෙන් පීඩා විඳින රටවල රාජ්‍ය, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මේ වනවිට ගෙනයන වැඩපිළිවෙළ ප්‍රශංසනීයය. ඊට අපගේ සම්පූර්ණ සහයෝගය ලබාදීම අප සතු වගකීමකි. ලෝ ප්‍රකට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද මේ මොහොතේදී පෙරට පැමිණ ජනතාවගේ සුභ සිද්ධිය තකා බොහෝ කටයුතු වල නිරත වනු දැකිය හැකිය. සැබෑ ක්‍රීඩක රසිකයින් ලෙසින් අපිත් එම වැඩපිළිවෙලට දායක වෙමු. ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කරමු.එමගින් ලෝකය සහ ලෝකවාසී ජනතාව නැවත සාමාන්‍ය කල් පැවැත්මට ගෙන ආ කල නැවතත් ක්‍රීඩාව දියුණු කරලීම පහසු කාර්‍යයක් වනු ඇත. කල් දැමූ ක්‍රීඩා ඉසව් පිළිබඳව නැවත අවධානය යොමු කළ හැක්කේ එවිටය.සැමට සුන්දර ලෝකයක් බිහිකිරීමෙහිලා ක්‍රීඩාව සෞඛ්‍යමත් මිනිසෙක් බිහිකරලීමට අවශ්‍ය අඩිතාලම සකසනු නොඅනුමානය

කල් ගීය ක්‍රීඩා ඉසව් නැවත පැවැත්විය හැකි කොවිඩ්19 හෙවත් නව කොරෝනා තොර ලෝකයක් ඉක්මනින් සකස් වනු ඇතැයි ,Moraspirt අපේ පැතුමයි.



Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments