අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන්

අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන්

විශ්ව විද්‍යාලය යනු අධ්‍යාපනයට පමණක් සීමා වූ ස්ථානයක් නොවේ. විෂය බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩාව, සහ විවිධ ක්ෂේත්‍රවල පැතිරුණු සමාජ එකමුතුවලින් පිරි සුන්දර තෝතැන්නකි. ඒ අතරින් විවිධාකාර වූ ක්‍රීඩා ඉසව් වලට ලැබෙනුයේ ප්‍රධාන තැනකි. විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාව කියූ සැණින් ඔබ අප සැමගේ මතකයට පළමුව පැමිණෙනුයේ සරසවි ක්‍රීඩාවේ මහා මංගල්‍යය වන අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා උළෙලයි. මෙම ලිපිය හරහා අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ වර්තමානයේ බොහෝ දුරට සාකච්ඡාවට බඳුන්ව ඇති මාතෘකාවකි. එනම් අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා උළෙල මූලික කරගත් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරග සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් එක්කරගැනීම සුදුසුද, නැතිනම් ඒ පිළිබඳව නැවතත් සලකා බැලීමක් සිදු කළ යුතුද යන්නයි. එක් එක් පුද්ගලයින් මෙන්ම ක්‍රීඩකයින් මේ පිළිබඳ දරණ ආකල්ප එකිනෙකට බොහෝ වෙනස්‍ බැවින් උක්ත කාරණය සම්බන්ධව පැහැදිලි තීරණයකට එළඹීම ඉතා අපහසුය. මේ කාරණය පිළිබඳව සමාජ කතිකාවතක් ඇතිකර වඩා ඵලදායී ක්‍රීඩාවක් සඳහා රටේ තරුණ පිරිස් ඒකරාශී කරගැනීම මෙම ලිපිය පළකරන MoraSpirit අපේ අරමුණයි.

 

විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා පිළිබඳ සාකච්ඡා කිරීමේදී ප්‍රධාන වන්නේ වසර තුනකට වරක් එළඹෙන අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා උළෙල(SLUG) යි. මෙහිදී විවිධාකාර වූ ක්‍රීඩා ඉසව් රැසකට සහභාගි වීමේ අවස්ථාව සරසවි ක්‍රීඩකයින්ට හිමි වේ. අවසන් වරට රුහුණ විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කරගෙන පවත්වන්නට යෙදුණු 2019 SLUG ක්‍රීඩා උළෙලෙදී ජවන හා පිටිය ඉසව් මෙන්ම කණ්ඩායම් ක්‍රීඩා ද ඇතුළුව මුළු ඉසව් 22කට අධික ප්‍රමාණයක් ලාංකීය විශ්ව විද්‍යාලයීය සිසුන්ට විවර වී තිබිණ. තවද ඊට පරිබාහිරව සිදු කෙරෙන අන්තර් විශ්ව විද්‍යාල ක්‍රීඩා ඉසව් බොහොමයක් ඇත. ඒවා එක් එක් විශ්ව විද්‍යාලය හරහා සංවිධානය කෙරෙනු ලබයි. මේ සියල්ලක්ම හරහා සිදු කරනුයේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්‍ට තම හැකියා හා දක්ශතා වර්ධනයට අවස්ථා ලබාදීම, ජාතික තලයේ ක්‍රීඩකයින් බිහිකරවීම, අන්‍යොන්‍ය ක්‍රීඩක සබඳතා වර්ධනය කරමින් කුසලතා ඔප් නැංවීම, සහ විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනයට පමණක් සීමා නොවූ යහපත් සෞඛ්‍යයකින් හෙබි ක්‍රීඩාශීලී සිසු පිරිසක් බිහි කිරීම ආදී වූ වටිනා කර්තව්‍යන්ය. රජයේ විශ්ව විද්‍යාල මෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල ද මේ වනවිට ක්‍රීඩාවට වැඩි අවධානයක් යොමු කරමින් තිබීම හොඳ ප්‍රවණතාවයකි. මේ වන විට බොහොමයක් පෞද්ගලික විශ්ව විද්‍යාලවල වාර්ෂික ක්‍රීඩා උත්සව මෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාලාන්තර සුහද ක්‍රීඩා තරග ද ප්‍රචලිත වෙමින් පවතී. මේ අනුව බලන කල්හි උසස් අධ්‍යාපනය ලබන අතරතුරදීම ක්‍රීඩාවට යොමුවීමට බහුතර ශිෂ්‍ය ප්‍රජාවක් කැමැත්තෙන් පසුවන බව දැකිය හැකි කරුණකි. ක්‍රීඩාවට දක්වන ඇල්ම සහ අධ්‍යාපනයට පමණක් සීමා නොවී විශය බාහිර කටයුතුවල නියැලීමේ අවශ්‍යතාව මේ සඳහා ප්‍රධානතම හේතු වන්නට ඇත.

 

මෙවැනි කාරණාවක් සම්බන්ධව සාකච්ඡා කිරීමේදී දැනට ක්‍රීඩාවේ නියැළෙන රජයේ විශ්ව විද්‍යාලවල මෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාලවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අදහස් විමසීමකට ලක් කිරීම වටිනා බැව් අපේ අදහසයි. මීට සමගාමීව අප විමසූ අදහස්වලට ඔවුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර සංක්ෂිප්‍තව දැක්වීමට MoraSpirit අප අදහස් කරමු. මෙය අප පෞද්ගලිකව ඔවුන්ට යොමු කළ ප්‍රශ්න වලට ඔවුන් ලබාදුන් පිළිතුරු සම්පිණ්ඩනය කිරීමක් පමණක් බවත් ඔවුනොවුන්ගේ අදහස් අතර පරස්පරතා පැවතීම සාමාන්‍ය කාරණාවක් බවත් පාඨක ඔබ අවබෝධ කරගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

 

අප සම්බන්ධ කරගත් රාජ්‍ය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයන්ගේ අදහස් මෙසේ පළකරමු. තොරතුරු රැස් කිරීමේදී 2017-18 කාල වකවානුවේ වයඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සංගමයේ උප සභාපති ධුරය දැරූ ඉසුරු ලයාන් මෙන්ඩිස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සංගමයේ සභාපති ගිහාන් ධනුෂ්ක, කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ උපනායක ලක්විරු පෙරේරා, මොරටුව විශ්ව විද්‍යාලයීය ටයිකොන්ඩෝ කණ්ඩායමේ නායක සුපුන් අතුකෝරල, සහ සබරගමුව විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සංගමයේ සභාපති ශ්‍යාමල් දිසානායක සිය අදහස් දක්වමින් අපට සහය වූහ. ඔවුන් සියලු දෙනාම තම විශ්ව විද්‍යාලය වෙනුවෙන් ජයග්‍රහණ රැසක් ලබාගැනීම සඳහා දායක වූ ක්‍රීඩා තරු ලෙස හැඳින්විය හැක. අප සමග අදහස් දැක්වූ ඔවුන්ගේ අදහස වූයේ පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් සමග සුහද ක්‍රීඩා තරග ඇතිවන්නේනම් ඊට සහය දැක්වීමේ වරදක් නොදකින නමුත් අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා උළෙලට සම්බන්ධ කරගැනීම ගැටළු සහගත විය හැකි බවයි. ඒ සඳහා බලපෑ හැකි කරුණු කිහිපයක්ම ඔවුන් විසින් පෙන්වා දෙන ලදී. ඒ අතර ප්‍රධාන කාරණාවක් වූයේ පෞද්ගලික විශ්ව විද්‍යාල විශේෂයෙන්ම ක්‍රිකට් වැනි ප්‍රධාන ක්‍රීඩා සඳහා තම කණ්ඩායමට කොන්ත්‍රාත් පදනම මත ජාතික තලයේ ක්‍රීඩකයින් ලබාගැනීමක් සිදුවිය හැකි බවයි. එසේ වුවහොත් රාජ්‍ය විශ්ව විද්‍යාලයීය ක්‍රීඩකයින්ට බලවත් අසාධාරණයක් විය හැකිබව ඔවුන්ගේ මතයයි. එසේම රාජ්‍ය විශ්ව විද්‍යාලවල බොහොමයක් අවස්ථාවන්හිදී ක්‍රීඩකයන්ට තම අධ්‍යන කටයුතු සඳහා කිසිදු බුරුලක් ලබානොදෙන පසුබිමක වෘත්තීමය ක්‍රීඩකයන් හා උරෙනුර ගැටී ක්‍රීඩා කිරීම අපහසු වනු ඇති බවද සාකච්ඡා කෙරිණි. රාජ්‍ය විශ්ව විද්‍යාල ක්‍රීඩකයින්ගෙන් වෘත්තීමය ක්‍රීඩකයන් ලෙස පුහුණු වන ප්‍රමාණය ඉතා අල්ප බවත් පෞද්ගලික විශ්ව විද්‍යාලයීය සිසුන් අතර ක්‍රීඩා ශිෂ්‍යත්වලාභී වෘත්තීමය ක්‍රීඩකයින් බහුලව සිටිය හැකි බවත් ඔවුන් පෙන්වා දුන් කරුණු අතර විය. තවද රාජ්‍ය විශ්ව විද්‍යාල සැලකූ විට බොහෝ විශ්ව විද්‍යාලවල තමන් හදාරන විෂය පථයෙහි වැඩ අධික වීම නිසා ක්‍රීඩා කටයුතුවලට පූර්ණ දායකත්වය දීම අපහසු කරුණක් බවද ඔවුන් පෙන්වා දෙන ලදී. ක්‍රීඩා පහසුකම් සැලකුවහොත් එක් එක් විශ්ව විද්‍යාලයේ පහසුකම් විවිධ මට්ටම්වල පැවතීමද ගැටළුවකි. සමස්තයක් ලෙස ගත් විට රජයේ විශ්ව විද්‍යාල වල ක්‍රීඩා උපකරණ සහ අනෙකුත් පහසුකම් සාධනීය මට්ටමක පැවතියද, පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සම කළ හැකි ආකාරයේ පහසුකම් සැලසීම බොහොමයක්‍ රාජ්‍ය විශ්ව විද්‍යාලවලට අපහසු කරුණකි. මෙම කාරණා නිසා අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා උළෙලට පෞද්ගලික විශ්ව විද්‍යාල සමබන්ධ කරවා ගැනීම ගැටළු සහගත බව පෙනුණද ඔවුන් සියලු දෙනා පාහේ කියා සිටියේ විශ්ව විද්‍යාල අතර සුහද ක්‍රීඩා තරග හෝ පුහුණු තරග සංවිධානය කිරීමේදී පෞද්ගලික විශ්ව විද්‍යාල සමගද සබඳතා ඇතිකර ගැනීම වටිනා බවයි. එසේම ඒ සඳහා විශ්ව විද්‍යාල තුළින් ක්‍රීඩකයින්ට යම්කිසි ආකාරයක අධ්‍යන කටයුතු ලිහිල් කිරීමක් සිදුවන්නේනම් වටිනා බවද ඔවුහු පෙන්වා දුන්හ. රජයේ හෝ පෞද්ගලික වේවා මේ සියල්ලෙහිම අධ්‍යාපනය ලබනුයේ පාසලේදී එකට සිටි අපේම ශ්‍රී ලාංකික තාරුණ්‍යයයි. ඔවුන් අතර සුහදත්වය වර්ධනයට මෙන්ම දක්ෂතා ඔප්නැංවීමටත්, නව අත්දැකීම් ලබාගැනීමටත් එවන් සුහද තරගවල වටිනාකම ඔවුන් පෙන්වා දෙන ලදී. තවද ඒ හරහා අත්දැකීම් අඩු ක්‍රීඩකයන්ට අත්දැකීම් ලබාදීම මෙන්ම ජාතික තලයට වඩාත් හැකියාවෙන් පිරිපුන් ක්‍රීඩකයන් බිහි කරලීමටද එය ඉවහල් වනු ඇති බව ඔවුන් දැරූ මතයයි. එලෙසම මෙවන් ක්‍රීඩා ඉසව් සුළු ප්‍රමාණයක් හෝ විශ්ව විද්‍යාල මට්ටමින් ආරම්භ කළ හැකි නම් එය ඉතා වැදගත් වනු ඇති බව MoraSpirit අපගේ හැඟීමයි.

 

SLTC විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සංගමයේ සභාපති අශේන් ලක්ෂිත, NSBM විශ්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ උපනායක පසන්, අර්ධ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායක R.D.K. සිකුරාජපති යන පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝද අප සමග අදහස් බෙදාගත්හ. ඔවුන් පැවසූ පරිදි බොහෝ පෞද්ගලික විශ්ව විද්‍යාලවල ක්‍රීඩා ක්ෂේත්‍රය ආරම්භ වී දැනට වැඩි කාලයක් නොමැත. එබැවින් මළල ක්‍රීඩා ආදියෙහි නියැළීම සීමිත අවස්ථා කිහිපයකට සීමා වී තිබෙනු දැකිය හැකි වේ. නමුත් කණ්ඩායම් ක්‍රීඩා සඳහා සිසුන්ගේ විශේෂ උනන්දුවක් පවතින බැවින් එම ක්‍රීඩාවල සීඝ්‍ර දියුණුවක් දැකිය හැකි බව ඔවුහු පෙන්වා දුන්හ. බොහෝ පෞද්ගලික විශ්වවිද්‍යාලවල භෞතික සම්පත් හා ක්‍රීඩාංගණ පහසුකම් සැපයීම, පුහුණුකරුවන් ලබාදීම ආදිය නිසිපරිදි සිදු කෙරෙන බැවින් ක්‍රීඩා පහසුකම් සම්බන්ධයෙන් ශිෂ්‍යයන්ට මුහුණ දීමට සිදුවන ගැටලු අවම බව දැනගන්නට ලැබුණි. මෙය පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රීඩාවේ හොඳ ප්‍රවණතාවක් ලෙස දැකිය හැක. ඇතැම් පෞද්ගලික විශ්ව විද්‍යාල විසින් ක්‍රීඩා ශිෂ්‍යත්ව ද පිරිනමනු ලබන අතර ජාතික තලයේ ප්‍රසිද්ධ ක්‍රීඩකයින් පවා ඒ තුළින් සිය ක්‍රීඩා කුසලතාවන්ට සමගාමීව අධ්‍යාපන කුසලතා ද ඔප්නංවා ගැනීමට යොමුවන අවස්ථා දැකිය හැක. අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වීම සම්බන්ධයෙන් සමහර පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් කැමැත්තක් දැක්වුවවද, තවත් ශිෂ්‍යයින් කොටසක් එතරම් උනන්දුවක් නොදක්වන බවද දක්නට ලැබුණි. ඊට හේතු ලෙස ඔවුන් ඉදිරිපත් කළේ රාජ්‍ය විශ්ව විද්‍යාල අතර මෙතෙක් කාලයක් සිදුකරගෙන පැමිණි ක්‍රීඩා උළෙලක පැවති සම්ප්‍රදාය වෙනස් කරවීමකට ඔවුන් සූදානම් නොමැති බව සහ සියලු අංශවල ක්‍රීඩා පවතින පෞද්ගලික විශ්ව විද්‍යාල ඉතාමත් අල්ප බව යි. නමුත් රාජ්‍ය විශ්ව විද්‍යාල සමග සුහද ක්‍රීඩා තරග හෝ පුහුණු තරග සංවිධානය කරන්නේනම් ඒ සඳහා ඉතාමත් කැමැත්තෙන් සහභාගී වන බව ඔවුන්ගේ අදහස් විමසූ අපට පසක් විය. පෞද්ගලික විශ්‍ව විද්‍යාලීය සිසුන්ට ක්‍රීඩකයින් වශයෙන් තරගවලට සහභාගී වීමට හිමිවන අවස්ථා සීමිත බැවින් රාජ්‍ය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයන් සමග ක්‍රීඩාවේ නියැළීම ඔවුන්ට සිය හැකියාවන් වැඩි දියුණු කරගැනීමට මහඟු අවස්ථාවක් වනු ඇත. තවද කොන්ත්‍රාත් පදනම මත ක්‍රීඩා කරන අය හැරුණුකොට අනෙකුත් ක්‍රීඩකයින් බොහොමයකට පාසල් සමයෙන් පසු ජාතික මට්ටමේ තරග අත්දැකීම් නොමැත. තම විශ්ව විද්‍යාලය තුළම සංවිධානය කෙරෙන ක්‍රීඩා ඉසව් හැරුණු කොට වෙනත් ක්‍රීඩා තරගවලට සහභාගී වීමට ඔවුන්ට ලැබෙන අවස්ථා ද අවම ය. එබැවින් සුහද තරගාවලියක් හෝ සංවිධානය කරලීම ඔවුන්ට අත්දැකීම් ලබාගැනීමට මහඟු පිටුවහලක් වනු ඇත. තවදුරටත් ඔවුන් අප සමග අදහස් දක්වමින් පැවසූයේ දැනටමත් එවැනි සුහද තරග සහ පුහුණු තරග සඳහා තමන් සහභාගී වූ අවස්ථා කිහිපයක් පවතින බවයි. එසේ පුහුණු තරග සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබීම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින තම විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා ක්ෂේත්‍රයට මහඟු අත්වැලක් බව ඔවුහු පැවසූහ. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ක්‍රීඩා අංශ ගණනාවක් ඉතා සාර්ථක අන්දමින් පවත්වාගෙන යන බවත්, වාර්ශිකව World Cadet Games සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වන බවත් අපහට දැනගැන්මට ලැබුණි. එය විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාව පැත්තෙන් බලන කල ඉතාමත් අගය කළ යුත්තකි. සමහර පෞද්ගලික විශ්ව විද්‍යාල බාහිර ක්‍රීඩා තරග සඳහා කොන්ත්‍රාත් පදනම මත ජාතික තලයේ ක්‍රීඩකයින් සම්බන්ධ කරගත්තද තවත් සමහර පෞද්ගලික විශ්වවිද්‍යාල එලෙස සිදු නොකිරීම අගය කළ යුත්තකි.

 

ඉහත දැක්වූ කරුණු සම්පිණ්ඩනය කරමින් උක්ත මාතෘකාව සම්බන්ධව Mora Spirit අපගේ අදහසද එක් කිරීම වටිනා බව සිතමු. ක්‍රීඩාව යනු වයස් භේදයකින් තොරව බොහෝදෙනෙකුගේ හදවත්වලට ඉතා සමීප මාතෘකාවකි. විශ්ව විද්‍යාල සිසුන් සැලකුවද තමන් නියැළී සිටින විෂය ක්ෂේත්‍රයට අමතරව ක්‍රීඩාවක නියැළීම පූර්ණ පෞරුෂයක් ගොඩනගා ගැනීමට උපයෝගී වේ. එබැවින් අපේ අරමුණ වනුයේ රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන සියලු සිසුන්ගේ ක්‍රීඩා හැකියා ඔප්නැංවීමයි. ඒ සඳහා නිසි පහසුකම් සැපයිය යුතුය. ක්‍රීඩා උපකරණ, හොඳ පුහුණුකරුවන්, ක්‍රීඩාංගණ පහසුකම් ආදිය වැඩි දියුණු විය යුතුය. තවද සිසුන්ට ක්‍රීඩාවේ නිරත වීමට අවශ්‍ය ආකාරයේ යහපත් වටපිටාවක් සැකසී තිබිය යුතුය. යම් දිනෙක රට වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවට පිවිසීමට වරම් ලබන්නන් අතර මෙම විශ්ව විද්‍යාල ක්‍රීඩකයින්ද බොහොමයක් සිටිනු ඇත. එබැවින් විශ්ව විද්‍යාල තුළින්ම ඔවුන්ගේ හැකියාවන් හඳුනාගෙන ඒවා වැඩි දියුණු කිරීමට පහසුකම් සැලසීම ඉතා වැදගත් වේ. අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා උළෙල දැනට රාජ්‍ය විශ්ව විද්‍යාල අතර පවතින ප්‍රධානතම ක්‍රීඩා උළෙල වන අතර ඉහත අදහස් වලින් පිළිබිඹු වන්නේ එහි වෙනසක් සිදු කරලීම එතරම් යෝග්‍ය නොවන බවයි. නමුත් පුහුණු තරග සහ සුහද තරග ප්‍රමාණය වැඩි කරගත හැකිනම් එය ඉතා වටිනා බව අප සමග අදහස් දැක්වූ රජයේ සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සියලු ක්‍රීඩකයින් පෙන්වා දෙන ලදී. එලෙස තරග සංවිධානය කරන්නේනම් සියලු දෙනාට සම පහසුකම් සලසා දීම මෙන්ම ක්‍රීඩකයින්ට තම විශ්ව විද්‍යාලයීය අධ්‍යන කටයුතු සඳහා යම් සහනසලසා දී පුහුණුවීම් සඳහා වැඩි කාලයක් ලබාදීම පිළිබඳව සලකා බලන්නේනම් එය ඉතා වටිනා කාරණයකි. තවද දැනට යම්තාක් දුරට හෝ පවතින පුහුණු තරග ප්‍රමාණය වැඩි කිරීම සහ නව සුහද තරග ඇරඹීම මගින් ක්‍රීඩකයින්ට වැඩි අත්දැකීම් ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවීම සහ ජාතික මට්ටමේ නවමු අත්දැකීම් ලබාගත හැකිවීම විශාල ජයග්‍රහණයක් වනු ඇත. එබැවින් MoraSpirit අප සැමගේ බලාපොරොත්තුව රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සියලු ක්‍රීඩකයින් අතර සහයෝගීතාව වර්ධනය කරගනිමින් ඔවුන්ගේ හැකියා හා දක්ෂතා ඔප්නංවනු සහ මෙවන් ක්‍රීඩා තරග ප්‍රචලිත කරලීම මගින් යහපත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහි කරලනු දැකීමයි.


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments