අන්තර්ජාතික හොකී සන්නාමයක පෙරමං සලකුණු

අන්තර්ජාතික හොකී සන්නාමයක පෙරමං සලකුණු

විශ්ව විද්‍යාලයක් යනු හුදෙක් අධ්‍යාපනය සඳහා පමණක්ම වෙන්වූ තැනක් නොවේ. ක්‍රීඩා ක්ෂේත්‍රයේ දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම දක්ෂතා ඔප්නංවාගැනීමට මගපාදා දෙන මහඟු තෝතැන්නකි. දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා සහිත විවිධාකාර වූ ක්‍රීඩාවන් රැසක් නියෝජනය කරන ක්‍රීඩා තරු ගොන්නක් වර්තමානයේදී රාජ්‍ය විශ්ව විද්‍යාල සතුවෙයි. ඒ අතරින් හොකී ක්‍රීඩාවට ලැබෙනුයේ සුවිශේෂී ස්ථානයකි. MoraSpirit අපගේ මෙම කතාබහ සමග එක්වන්නේ සබරගමුව විශ්ව විද්‍යාලයීය කාන්තා හොකී කණ්ඩායම් නායිකාවයි. ඇය නමින් සකුන්තලා ඉලේපෙරුම වන අතර දැනට සිව්වන වසර ශිෂ්‍යාවක් ලෙස අධ්‍යාපනය හදාරයි.

පාසල් කාලයේ සිටම හොකී ක්‍රීඩාවේ අතිවිශිෂ්ට දස්කම් දැක්වූ ඇය අද වනවිට ජාත්‍යන්තර වශයෙන් ජයකෙහෙළි නංවන ක්‍රීඩිකාවක් වනු ඇතැයි කී දෙනෙකුනම් අනුමාන කරන්නට ඇතිද? තම විශ්ව විද්‍යාලයට වසර ගණනාවකට පසු SLUG ක්‍රීඩා උළෙලක කාන්තා හොකී ශූරතාවය ලබාගැනීමට නායකත්වය ලබාදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මේ සඳහා ඇය පැමිණි ගමන් මග, කැපවීම, අධිෂ්ඨානය සහ කණ්ඩායමක් ලෙස ලද සාර්ථකත්වය ඇතුළු බොහෝ කරුණු කාරණා මුල් වන්නට ඇත. අපි ඇය සහ ඇයගේ ජයග්‍රාහී කණ්ඩායමේ ආදරණීය සාමාජිකාවන් පිළිබඳව ඇය සමග සිදුකළ කතාබහේදී හුවමාරු කරගත් විස්තර මෙලෙස ඔබ වෙත විවර කරමු.

 

සකුන්තලා ඉලේපෙරුම කියන්නෙ කව්ද? ඔබේ නම, ගම සහ පවුලේ විස්තර වලින් අපි සංවාදය ආරම්භ කරමු.

මම I.A. සකුන්තලා මනෝහාරි ඉලේපෙරුම. කුඩාකල ඉඳන්ම හැදුණෙ වැඩුණෙ පේරාදෙණිය මහකන්ද ගමේ. දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ මම වැඩිමලා. අම්මා, තාත්තා වගේම මගේ බාල සොහොයුරන් දෙදෙනාත් ක්‍රීඩා කටයුතුවලදී මා හට විශාල සහයෝගයක් ලබාදෙනවා. මම අධ්‍යාපනය හැදෑරුවේ මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලයේ. මේ වෙනකොට සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳ උපාධිය හදාරමින් ඉන්නවා.

 

ඔබගේ පාසල් ක්‍රීඩා ජීවිතයේ සිට විශ්ව විද්‍යාල හොකී කණ්ඩායමේ නායකත්වයට පිවිසීම පිළිබඳව කෙටි විස්තර කිරීමක් කරනවානම් එය මේ ලිපිය කියවන අයට වැදගත් වේවි...

මම හොකී ක්‍රීඩාවට පිවිසුණේ 5 වසර ශිෂ්‍යත්වය අවසන් වුණාට පසුවයි. පාසල් නිවාසාන්තර ක්‍රීඩා තරගයක හොකී පිත්තක් අතින් අරන් පොඩියට සෙල්ලම් කරපු මගේ දක්ෂතා දැකපු පාසල් පුහුණුකාරතුමා තමයි මාව දීර්ඝකාලීන ක්‍රීඩිකාවක් විදියට පුහුණුවීම් ආරම්භ කළේ. විශේෂයෙන්ම මගේ අම්මා, තාත්තා වගේම මගේ පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් වන M.A.M.අෂ්රෆ් සහ N.පරණීදරන් යන දෙදෙනාවත් ආදරයෙන් මතක් කළ යුතුයි. 2007 සිට 2015 දක්වා කාලයේදී 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ කණ්ඩායම් නියෝජනය කළ මම 2009 සිට 2015 දක්වා කාලයේදී අදාළ කණ්ඩායම්වල නායකත්වය දැරීමටත් වාසනාවන්ත වුණා. 2011 සිට 2015 දක්වා කාලයේදී මහනුවර දිස්ත්‍රික් පාසල් කණ්ඩායම නියෝජනය කළ මට  2015දී කණ්ඩායමට නායකත්වය දෙමින් ශූරතාව ලබාගැනීමට හැකිවීම විශේෂ කොට සලකනවා. එලෙසම 2011දී තායිලන්තයේ පැවති 18න් පහළ ආසියානු ශූරතාවලියේ ජාතික කණ්ඩායම් නියෝජනය සහ 2014දී සිංගප්පූරුවේ පැවති world league හොකී තරගාවලියේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමත් 2006-2015 කාලයේ හය වතාවක් හොඳම ගෝල රකින්නිය ලෙස තේරීමත් මා පාසල් සමයේ ලද විශේෂ ජයග්‍රහණ ලෙස හඳුන්වන්න පුලුවන්. විශ්ව විද්‍යාලයට පිවිසුණත් මම දිගටම මගේ ක්‍රීඩා කටයුතු කරගෙන ආවා. විශ්ව විද්‍යාල කණ්ඩායමේ දැක්වූ දක්ශතා නිසා මට 2019 වසරේදී කණ්ඩායම් නායකත්වය ලබාගැනීමට හැකිවුණා.

 

කණ්ඩායම් ක්‍රීඩාවක් නිසා හොකී ක්‍රීඩාවේදී සහයෝගීතාව අත්‍යාවශ්‍ය කාරණයක්. ඔබේ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩිකාවන් පිළිබඳවත්, ක්‍රීඩා පුහුණුවීම් සහ තරගාවලියට සූදානම පිළිබඳව අදහස් දැක්වුවහොත්?

ඔව් ඇත්තෙන්ම අපි ලොකු සූදානමකින් තමයි තරගාවලියට මුහුණදුන්නෙ. මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි "ටීම් එක දිනුවොත් තමයි මම දිනන්නෙ" කියන එක. අපේ කණ්ඩායමේ බහුතරයක් පාසල් සමයේ සිටම හොකී ක්‍රීඩාවේ යෙදෙන අය. ඒ වගේම විශ්ව විද්‍යාලයට පැමිණීමෙන් පසුව ක්‍රීඩාවට ඇති ආශාව නිසාම එකතු වුණු අයත් ඉන්නව. මේ හැමදෙනාම එක වගේම දක්ශතා අතර ඉන්නව. හැමෝම කැපවීමෙන් පුහුණුවීම්වල නිරත වෙනවා. සාමාන්‍යයෙන් අපි සතියට අවම දින තුනක් පුහුණුවීම්වල නිරත වුනත් තරගාවලියකට ආසන්න වෙනකොට දිනපතා පුහුණුවීම් ආරම්භ කළ යුතුයි. උදෑසන දේශන ආරම්භ වීමට පෙර උදේ 6-8 කාලයේත් දේශනවලින් පසු සවස් කාලයේත් අපේ ක්‍රීඩිකාවන් ඉතා උනන්දුවෙන් පුහුණුවීම් කටයුතුවල නිරත වෙනවා. ඒ වගේම තරගාවලියකට ඉතාම ආසන්න වනවිට අපි අධ්‍යන කාර්‍ය මණ්ඩලයේ අවසර ලබාගෙන දවස පුරා වෙහෙස වී පුහුණුවීම්වල නිරත වෙනවා. ඒ සඳහා ඔවුන්ගෙන් ලැබෙන සහය අගය කළ යුතුමයි. මම ඉතා ආදරයෙන් මගේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි. නම් වශයෙන් කියනවානම් M.T.පරණගමගේ, R.A.K.I.පෙරේරා, H.G.P.N.අබේගුණවර්ධන, A.G.D.මධුෂානි, B.G.K.S.ගුරුගේ, J.M.K.N.ජයසිංහ, K.මසිලාමනී, R.M.D.රාමනායක, S.K.I.U.K.සෙනරත්, T.W.A.N.දර්ශිකා, J.A.D.M.පෙරේරා(උපනායිකා), E.M.N.D.T.ඒකනායක, N.S.දහනායක, K.C.B.හෙට්ටිගේ, H.A.N.A.K.ඇට්ටිපොළ, W.S.වත්සලා, S.A.U.S.දිසානායක යන 17 දෙනා සමග මම Slug ක්‍රීඩා උළෙලට සහභාගී වුණා.

 

ඉතින් අපි මෙම කතාබහට මූලික කාරණාව වන 2019 Slug හොකී ශූරතාවය පිළිබඳ ඔබගේ මතකය අවදි කරමු.

2019 Slug එකට කලින් අපි මුහුණදීපු අන්තර් විශ්ව විද්‍යාලයීය තරගාවලියේදි අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට සිදු උනා. එය ලොකු පාඩමක් ලෙස භාරගෙන අපේ වැරදි හදාගෙනයි අපි තරගාවලියට අවතීර්ණ වුණේ. අපේ ක්‍රීඩිකාවන් බොහෝ සෙයින් කැපවෙලා පුහුණුවීම් කළා. හැමදෙනාම තරඟ වැදුනෙ එකම අරමුණක් හිතේ දරාගෙන. ඒ තමයි අපි කොහොමහරි ශූරතාවය ගන්නවාමයි කියන අධිෂ්ඨානය. Kelani Nines, Mora Sevens වගේ තරගාවලිවලදි අපි ජයග්‍රහණය ලැබුවත් සෑහෙන කාලයකින් Slug ක්‍රීඩා උළෙලක හොකී කාන්තා ශූරතාවක් අපි ලබාගෙන තිබුණේ නෑ. ඉතින් මේ ලබාගත්තු ජයග්‍රහණය පිළිබඳව නායිකාව වශයෙන් මම ඉතාමත් සතුටට පත්වෙනවා සහ මගේ කණ්ඩායම පිළිබඳව ආඩම්බර වෙනවා.

 

අපි දැන් තරගාවලිය අතරතුර සිදුවූ රසවත් සිදුවීම් සහ අභියෝගාත්මක අවස්ථා ගැන ඔබේ මතකය ගෙනයමු. ඔබට සිතෙන ආකාරයට වැඩියෙන්ම අභියෝගාත්මක විශ්ව විද්‍යාල මොනවාද?

අපි අවසන් පූර්ව වටයේදී තරග වැදුණේ කොළඹ විශ්ව විද්‍යාලයත් සමගයි. ඒ තරගයේ පළමු අර්ධය නිමාවුණේ ගෝල 0-2 ලෙස අප පසුපසින් සිටිමින්. අවසන් තරගයට සුදුසුකම් ලැබීමට මෙම තරගයේ ජය අත්‍යාවශ්‍ය වූ නිසා අපි මධ්‍ය විරාමයේදි හොඳින් කතා කළා අපේ වැරදි අඩුපාඩු ගැන වගේම අපි ඉතිරි අර්ධය ක්‍රීඩා කළයුතු ආකාරය ගැන. කෙසේ හෝ දෙවන අර්ධය අවසන් වනවිට අපි ගෝල 5ක් ලබාගෙන 5-2ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීම නරඹන්නන් සියලු දෙනාවම මවිත කරන සිදුවීමක් උනා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමග අවසන් මහා තරගයේදීත් පළමු අර්ධය නිමාවෙන විට 0-1ක් ලෙස පසුපසින් සිටි අපි, තරගය අවසන් කළේ 2-1 ලෙස සබරගමුව විශ්ව විද්‍යාලයට ශූරතාව හිමිකර දෙමින්. අභියෝගය සලකන විට අපට කිසිදු විශ්ව විද්‍යාලයක් සුළුවෙන් තැකිය නොහැකියි. විශේෂයෙන්ම අප විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාව සම්බන්ධ උපාධි සඳහා බොහෝ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන නිසා සියලුම දෙනා අප සමග තරග කරන විට ඔවුන්ගේ උපරිම හැකියාවෙන් ක්‍රීඩා කරනවා. ඒ වගේම අපේ ක්‍රීඩිකාවනුත් විශ්ව විද්‍යාලය වෙනුවෙන් මහත් කැපවීමකින් ක්‍රීඩා කරනවා. ඒ නිසා සියලු දෙනා එකසේ අභියෝගාත්මක බව අපි සියලුම අවස්ථාවලදී සලකනවා.

 

අධ්‍යයන කටයුතු සමග ක්‍රීඩාව කරගෙන යාමට ඇති හැකියාව සහ ඔබගේ විශ්ව විද්‍යාලයෙන් ඒ සඳහා ලබාදෙන සහයෝගයත්, පහසුකම් පිළිබඳවත් කෙටියෙන් විස්තර කළොත්?

ඇත්තටම අධ්‍යයන කටයුතු සමග ක්‍රීඩාවක් කිරීම එතරම් ලේසි කටයුත්තක් නොවේ. ඒ සඳහා ලොකු උනන්දුවක් වගේම කැපවීමක් තිබිය යුතුයි. සියලුම වසරවල ක්‍රීඩිකාවන් සිටින නිසා විභාග කාලවලදී සමහර අවස්ථාවල අපගේ කණ්ඩායමේ කොටසකට පමණක් පුහුණුවීම් කිරීමට සිදුවෙනවා. නමුත් අපි එය හැකි උපරිමයෙන් කළමනාකරණය කරගෙන පුහුණුවීම් නොකඩවා කරගෙන යනවා. ඒ වගේම විශ්ව විද්‍යාලයෙන් අපට බොහෝසෙයින් පහසුකම් සලසා දී තිබෙනවා. ක්‍රීඩාපිටි සහ උපකරණ පහසුකම් නිසිලෙස ලබාදෙනවා වගේම විශේෂ පුහුණුවීම් සඳහා දේශන ලිහිල් කර උදව් ලබාදෙනවා. ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් වගේම තරගවලදී අවශ්‍ය මූලික වියදම් හැකි උපරිම ආකාරයෙන් ලබාදීම අගය කළයුතුයි.

 

ඔබේ කණ්ඩායමේ සහ ඔබ පෞද්ගලිකව ජාතික තලයේ නියෝජනය පිළිබඳව අදහස් දැක්වුවහොත් එය මෙම ලිපිය කියවන අයට වැදගත් වේවි..

අප කණ්ඩායමේ දැනට මා සමග ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන් 4ක් ක්‍රීඩා කරනවා. ඒ වගේම සියලුම ක්‍රීඩිකාවන් දිස්ත්‍රික් සහ පළාත් මට්ටමේ ක්‍රීඩා කරන දක්ෂ ක්‍රීඩිකාවන් බව ඉතාමත් ආඩම්බරයෙන් මතක් කළ යුතුයි. මෙතෙක් මා විසින් ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ කිහිපයක්ම ලබාගෙන තිබෙනවා.

●    දිස්ත්‍රික් නියෝජනයන්හිදී සය වතාවක් හොඳම ගෝල රකින්නිය බවට තේරීපත්වීම.

●    2011 වසරේ 18න් පහළ ආසියානු හොකී තරගාවලියට සහභාගී වීම.

●    2014, 2016 වසර දෙකේදීම සිංගප්පූරුවේ හොකී World league තරගාවලියේ ජාතික කණ්ඩායම් නියෝජනය

●    2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ජාතික කණ්ඩායම නියෝජනය සහ රිදී පදක්කම දිනාගැනීම.

●    2016,2018,2019 වසර ත්‍රිත්වයේදීම ජාතික මහා ක්‍රීඩා උළෙල මධ්‍යම පළාත නියෝජනය සහ අදාළ වසර තුනේදීම හොකී කාන්තා ශූරතාවය ලබාගැනීම.

●    2018 ජාතික මහා ක්‍රීඩා උළෙලෙහි හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගැනීම.

● විශ්ව විද්‍යාල ක්‍රීඩා ජීවිතයේදී දැනට අවස්ථා 5කදී හොඳම ගෝල රකින්නිය සම්මානය ලබාගැනීම.

● 2016/17 ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය වර්ණ ප්‍රදාන උත්සවයේදී විශේෂ සම්මානයට පාත්‍ර වීම.

 

ඔබ සිතන ආකාරයට මේ ලබාගත් ජයග්‍රහණ පිටුපස සිටියේ කව්ද? විශේෂයෙන් සිහිපත් කළ යුතු පිරිසක් අනිවාර්‍යෙන්ම ඔබේ මතකයේ ඇති…

ඔව් ඇත්තටම මම විශේෂ ස්තූතියක් කළයුතු පිරිසක් සිටිනවා. පළමුවෙන්ම අම්මා තාත්තා ඇතුළු මගේ පවුල. ඔවුන් හැමදාමත් මාව දිරිමත් කළා ඉදිරියටම යාමට. ඒ වගේම මගේ ක්‍රීඩා ජීවිතය ආලෝකමත් කළ මාගේ පාසල් සමයේ පුහුණුකරුවන් දෙදෙනා ඉතාම ආදරයෙන් මතක් කළ යුතුයි. M.A.M.අෂ්රෆ් සහ N.පරණීදරන් නම් වන ඒ දෙදෙනා නොසිටින්නට මට මේ තරම් දිගු ගමනක් පැමිණීම සිහිනයක් වන්නට තිබුණා. ක්‍රීඩාව අතින් පමණක් නොවෙයි ඔවුන් දෙදෙනා මගේ ජීවිතයේ සියලුම අභියෝගාත්මක අවස්ථාවලදී මා ළඟින් හිඳිමින් මට සහයෝගය ලබාදුන්නා. ඒ වගේම විශ්ව විද්‍යාලයේ මාගේ ක්‍රීඩා පුහුණුකාරතුමා S. ශ්‍රීහරන් මහතාවත් ඉතා ආදරයෙන් මතක් කළ යුතුයි. එලෙසම මම ඉතා තදින් විශ්වාස කරනවා කණ්ඩායම් ක්‍රීඩාවකදී අනෙකුත් ක්‍රීඩිකාවන්ගේ සහයෝගයක් නොමැතිව තනිව ජයග්‍රහණයක් කරා ළගාවිය නොහැකියි. ඉතින් මේ සියලුම ජයග්‍රහණ පසුපස මා නියෝජනය කළ පාසල්, විශ්ව විද්‍යාලයීය සහ ජාතික කණ්ඩායම් ක්‍රීඩිකාවන් සියලු දෙනා සිටිය යුතුයි. ඔවුන් ලබාදුන් සහයෝගය නොවන්නට මාහට ඉහත දැක්වූ ජයග්‍රහණ ලබාගැනීම බොහෝ අපහසු වනු නිසැකයි. එලෙසම විශ්ව විද්‍යාලයීය ක්‍රීඩිකාවක් වශයෙන් අප විශ්ව විද්‍යාලයෙන් ලබාදෙන නොමඳ සහයෝගයත් මේ අවස්ථාවේ මතක් කළ යුතුයි.

 

ඉතින් සකුන්තලා, සමාජයේ වැඩි කතාබහක් යම් යම් ක්‍රීඩා කීපයක් සඳහා පමණක් වෙන්වී ඇති සමයක බොහෝදෙනාගෙ නෙත නොගැටෙන නමුත් ජාතික වශයෙන් විශාල ජයග්‍රහණ ලබාගත හැකි හොකී වැනි ක්‍රීඩා සම්බන්ධ කරගනිමින් MoraSpirit ගෙනයන මෙම ලිපිමාලාව පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

මම ඇත්තෙන්ම ගොඩක් අගය කරනවා මේ කර්තව්‍යය. දේශීය වශයෙන් හොකී ක්‍රීඩාව දැනට තිබෙන තත්ත්වයට වඩා ප්‍රචලිත කරලීමටත් මෙය කියවන අය තුළ ක්‍රීඩාව පිළිබඳව ඇල්මක් ඇති කරවීමටත් මේ ලිපිය මහෝපකාරී වන බව මගේ හැඟීමයි. ඒ වගේම ක්‍රීඩාවේ දියුණුවට තවදුරටත් සිදුකරන සියලු ව්‍යාපෘති සඳහා හදවතින්ම සුභ පතනවා.

 

සාකච්ඡාවේ අවසානයට එළඹ ඇති නිසා අපි දැනගන්නට කැමතියි නවක ක්‍රීඩකයන්ට සහ මෙම ලිපිය කියවන පාඨකයන්ට ඔබ ලබාදෙන පණිවිඩය

ක්‍රීඩා කණ්ඩායමක නායිකාවක් වශයෙන් මට කියන්න අවශ්‍යයි ක්‍රීඩාව සමග ඔබේ අධ්‍යයන කටයුතු නිසිපරිදි සමබරව ඉදිරියට කරගෙන යායුතු බව. එසේම ක්‍රීඩාව තුළින් ගොඩනැගෙන විනයගරුක බව, අභියෝගවලට මුහුණදීම, කණ්ඩායම් හැඟීම, ජය පරාජය සමසේ විඳ දරාගැනීම ආදී වූ ගුණාංග ඔබේ ජීවිතයට ඇතුළත් කරගන්න. ක්‍රීඩාවත් සමග ජීවිතේ ගොඩක් දේවල් සාර්ථකව නිර්මාණය වෙනවා. වරදින්න තියෙන සම්භාවිතාව අඩුයි. ඉතින් ඔබේ හැකියාවෙන් රටට ලෝකයට හොඳ දේ දෙන්න. ඔබත් දිනයක විශිෂ්ටයෙක් වනු නොඅනුමානයි. අවස්ථාව ලබාදුන්නාට බෙහෙවින්ම ස්තූතියි.

 

ඉතින් මෙලෙස අපි සබරගමුව විශ්ව විද්‍යාලයීය හොකී කණ්ඩායම් නායිකාව සමග පවත්වන්නට යෙදුණු සම්මුඛ සාකච්ඡාව අවසන් කළෙමු. ඇගේ අදහස් නවක ක්‍රීඩකයන්ට මහෝපකාරී වන බව අපගේ හැඟීමයි. ක්‍රීඩාව ඔබේ ජීවිතයට කළණ මිතුරෙකි. අධ්‍යාපනය සමග ක්‍රීඩාවද සමබර කරගත හැකි බවට සකුන්තලා ඉලේපෙරුම හොඳම නිදසුනකි. ඇය පවසන ආකාරයටම ක්‍රීඩාව ඔබේ ජීවිතයේ බොහෝ අඩුපාඩු නිවැරදි කරගැනීමට බොහෝසෙයින් ඉවහල් වනු ඇත. ඇයට සහ සබරගමුව විශ්ව විද්‍යාලයීය කාන්තා හොකී කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන්ට තවතවත් ජයග්‍රහණ ලබමින් ඉදිරියටම යාමට ශක්තිය ලැබේවායි Moraspirit අපි ප්‍රාර්ථනා කරමු. ක්‍රීඩාවට පමණක් නොව ඔබේ ජීවිතයටම වැදගත් ඇගේ වචනයකින් මෙම ලිපිය අවසන් කිරීමට කැමැත්තෙමු.

 

"ඔබ දිනන්නේ ඔබේ කණ්ඩායම ජයගතහොත්‍ ය. එබැවින් සෑම කටයුත්තකදීම ඔබේ උපරිමය ලබාදී වැඩ කරන්න. ඔබ නිරායාසයෙන්ම ජයග්‍රාහකයෙකු බවට පත්වනු ඇත."



Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments