වාර්තා "බිඳ" වාර්තා තැබූ හෙල්ල විසිකිරීමේ පැරාලිම්පික් ශූරයා

වාර්තා "බිඳ" වාර්තා තැබූ හෙල්ල විසිකිරීමේ පැරාලිම්පික් ශූරයා

2020 වර්ෂය. ඔබට වගේම මටත් ක්‍රීඩාව සම්බන්ධයෙන් බොහොමයක් මතකයන් එකතු කරගැනීමට නියමිතව තිබූ, නමුත් අනපේක්ෂිත ලෙස ඒ මතකයන් එක් කරගැනීම දුරට ගෙනගිය වර්ෂයක්. 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උලෙළ සහ ටෝකියෝ පැරාලිම්පික් උලෙළ යන ද්විත්වයම Covid 19 වසංගතය නිසා 2021 වසර දක්වා කල් දැමුනා. 2020 වසරේ අග භාගයට දැන් පැමිණ සිටින ක්‍රීඩාවට ලැදි අපි මීලඟට සූදානම් විය යුත්තේ කුමන අභියෝගයන් තිබුනත් ඒවාට මුහුණ දෙමින් ඉදිරියට ගොස් ලක්මවට කීර්තියක් අත් කර දෙන්නට වෙර දරන වීරයන්ට සවියක් වීමටයි.

ඒ දැක්ම අනුව යමින් MoraSpirit අපි ආරම්භක කල "Beyond abilities" ලිපි මාලාවේ මීලඟ දිග හැරුම ලෙස අද අපි ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා නාමය රනින්, රිදියෙන් සහ ලෝකඩ පදක්කම් වලින් බැබලවූ අති දක්ෂ ක්‍රීඩකයෙක් ගැනයි. 2016 වර්ෂයේ පැරාලිම්පික් ක්‍රීඩා උලලේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා, එම ඉසව්වට අදාලව පැරාලිම්පික් පදක්කමක් දිනූ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වීමේ කීර්තිනාමය දිනාගත් ඔහු,නමින් දිනේෂ් ප්‍රියන්ත. 


2016 වර්ෂයේදී මෙන්ම 2020 ගිම්හාන පැරාලිම්පික් ක්‍රීඩා උලෙලට සහභාගී වීම සඳහාද විශිෂ්ට ලෙස සුදුසුකම් ලබා සිටින ඒ අතිදක්ෂයා සමග ක්‍රීඩාව ගැන යෙදුනු සුහද පිලිසඳරක් මේ. 


ඔබතුමා ගැන කෙටි පැහැදිලි කිරීමක් කලොත්,

මගේ නම දිනේෂ් ප්‍රියන්ත. 1986 වර්ෂයේ ඉපදුනු මගේ වයස අවුරුදු 34යි. මම විශ්‍රාමික යුධ හමුදා සාමාජිකයෙක් වගේම දැනට මලල ක්‍රීඩකයෙකු වශයෙන් මගේ කටයුතු කරගෙන යනවා. 


ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ වගේ ඉහලම මට්ටමේ ජාත්‍යන්තර ක්‍රීඩා උලෙකකට සහභාගී වීම සෑම ක්‍රීඩකයෙකුගේම සිහිනයක්. ඒ සිහිනය සැබෑ කරගන්න ලැබීම ගැන මොකද හිතෙන්නෙ ?

විශාල සතුටක් දැනෙනවා. මං 2012 වර්ෂයේ ඉඳන්ම පැරාලිම්පික් උළෙලට සහභාගී වීමට සිහින දැක්කා. හැබැයි අවාසනාවන්ත විදියට මට ඒ වසරේදී එයට සහභාගී වෙන්න බැරි වෙනවා. 2016 වර්ෂයේදී මං ඒ සිහිනය සැබෑ කරගන්නවා. ඉන්පසුව යලිත් වතාවක් ඒ සඳහා සුදුසුකම් ලැබීමට 2019 වර්ෂයේදී මට හැකි වෙනවා. නිහතමානී සතුටක් තියෙනවා ඒ ගැන මට.


ඔබ මේ ක්‍රීඩා ක්ෂේත්‍රයට පැමිණ දැන් කොච්චර කාලයක් වෙනවද? 

2012 වර්ෂයේදී තමයි මන් මගේ ක්‍රීඩා දිවිය ආරම්භ කරන්නේ. ඒ යුධ හමුදා සේවයේ යෙදී සිටියදී ආබාධිත තත්ත්වයට පත් වුනාට පසුව. දැනට වසර 8 ක් පුරා අඛන්ඩව ක්‍රීඩාවට දායකත්වය ලබා දෙන්න මට හැකි වෙලා තිබෙනවා.


2016 රියෝ ද ජැනයිරෝ පැරාලිම්පික් උලලේදී විශේෂ ජයග්‍රහනයක් ලබන්න ඔබ සමත් වුනා ඒ ගැන සඳහනක් කලොත්,

2016 පැරා ඔලිම්පික් තරඟාවලියට සහභාගී වෙන විට මම ලෝක ශ්‍රේණිගත කිරීම්වල 6 වෙනි ස්ථානයේ රැඳී සිටියේ. මට අධිෂ්ඨානයක් තිබුනා කෙසේ හෝ ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනාගන්නා බවට. ඒ අනුව මට හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගන්න හැකි වුනා නව ශ්‍රී ලංකා වාර්තාවක්ද සමග. එය මා මෙතෙක් ලද ජයග්‍රහණයන් අතරින් ඉතාම විෂේශ ජයක් ලෙස සඳහන් කරන්න පුලුවන්.


මීට අමතරවගෙවී ගිය කාලය තුල ඔබ ක්‍රීඩාව තුලින් ලද වෙනත් ජයග්‍රහණ බොහොමයක් ඇති. ඒවා මොනවාද?

2016 පැරාලිම්පික් තරඟාවලියේ ලෝකඩ පදක්කමට අමතරව 2017 World Para Athletics Championships තරඟාවලියේ රිදී පදක්කමත් 2018 Asian para games හි හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා රන් පදක්කමත් මම දිනාගන්නවා ඒ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 61.84 ක නව ආසියානු පැරා ක්‍රීඩා වාර්තාවක් සමගින්.

ඒ වගේම 2019 ලෝක කුසලතා පැරා ක්‍රීඩා තරඟාවලියේදී (2019 World Para Athletics Championships) හි රිදී පදක්කමත් දිනා ගන්න මේ අතරතුර කාලයේදී මට පුලුවන් වෙලා තියෙනවා.


දක්ෂ ක්‍රීඩයෙකුට අමතරව ඔබතුමා හිටපු වීරෝදාර යුධ හමුදා සෙබලෙක්. ගෙවී ගිය කාලය තුල ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් ඔබට ලැබුනු සහයෝගය කොහොම එකක්ද?

2012 වසරේ ඉඳන් 2017 වර්ෂය අතරතුර කාලයේදී මට අවශ්‍ය කල සහයෝගය පූර්ණ වශයෙන්ම ලබා දුන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින්. මම ඒ ගැන ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.2017 වසරේ මම යුධ හමුදාවෙන් විශ්‍රාම ලැබීමෙන් අනතුරුව මට අවශ්‍ය කරන සහයෝගය උපරිමයෙන් ලබා දෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය විසින්.


වසර ගනනාවක ක්‍රීඩා දිවිය තුල සිදුවූ අමතක නොවෙනම විශේෂ සිදුවීම මොකක්ද?

2019 World Para Athletics Championships තරඟාවලියට සහභාගී වීමේදී මම අතේ ආබාධයකට මුහුණ දුන්නා. සාමාන්‍යයෙන් හෙල්ල විසිකිරීමේ ඉසව්වකදී එක් ක්‍රීඩකයෙකුට සිය උපරිම දක්ශතාවය පෙන්වීම සඳහා අවස්ථා හයක් ලැබෙනවා. අතේ ආබාධය නිසා මන් භාවිත කරේ ඒවායින් එක් අවස්ථාවක් පමණයි. ඒ එක් අවස්ථාවෙන් හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට මට හැකි වෙනවා. මගේ ක්‍රීඩා දිවිය තුල සිදුවූ විශේෂතම සිද්දියක් ලෙස මට ඒ සිද්ධිය සඳහන් කරන්න පුලුවන්.


වර්තමාන සමාජයේ පැරා ක්‍රීඩකයන්ට ලැබෙන පහසුකම්, අවධානය සහ සහයෝගය ප්‍රමානවත්ද? ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

මගේ ක්‍රීඩා ජීවිතයේ මුල් කාලය තුල, ඒ කියන්නේ 2012-2016 අතර කාලය තුල මට දැනුනු දෙයක් තමා පැරා ක්‍රීඩකයන්ට ලැබිය යුතු අවධානය සහ සහයෝගයේ යම් තරමක අඩුවක් තිබූ බවට. නමුත් වර්තමානයේදී පෙර තිබූ තත්වයට වඩා හොඳ සහයෝගයක් අපට ලැබෙනවා.අපට අවශ්‍ය සියලුම පහසුකම් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබා දෙනවා. එය විශාල සතුටක්.


ඔබතුමා ක්‍රීඩකයෙක්ට ලඟා විය හැකි ඉහලම සිහිනයට ලඟා වූ කෙනෙක්. මෙයින් ඉදිරියට ක්‍රීඩා අංශයෙන් ඔබතුමාට අත්කර ගැනීමට අවශ්‍ය ජයග්‍රහණය කුමක්ද?

2012 පැරාලිප්ම්පික් තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගන්න මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සිහිනය සැබෑ කරගන්න මම උපරිම උත්සහයක් දරනවා.


බොහෝ දෙනෙක් තමන් ශාරිරිකව කුමන හෝ සුලු ආබාධයකට ලක් වුනත් දැඩි පසුබෑමකට ලක් වෙලා පසුතැවීමෙන් ජීවිතයම ගත කරනවා.අනෙක් අතට ක්‍රීඩා ඉසව් තුලින් අතිදක්ෂයන් විය හැකි විශේෂ අවශ්‍යතා සහිත, විශේෂ දක්ෂතා සහිත විශ්වවිද්‍යාල ක්‍රීඩකයන් පිරිසක් ඉන්නවා. ඔවුන්ට ඔබට දෙන්න පුලුවන් අවවාදය කුමක්ද?

යම් පුද්ගලයෙක් කුමන හෝ සිදුවීමක් නිසා විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයෙක් තත්ත්වයට පත් වුනොත් එයින් පසුවත් ඔහුට/ ඇයට තෝරාගන්න පුලුවන් විවිධ වෘත්තීය අවස්ථා තිබෙනවා.ඒ කුමන හෝ අවස්ථාවක් තෝරාගෙන ඉදිරියට යන්න ඕනෑම අයෙකුට පුලුවන්.  

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සැලකුවොත් මට කියන්න තියෙන්නේ හිත ශක්තිමත් කරගත්තොත් අපිට ඉදිරියටම යන්න පුලුවන් කියන එකයි.මගේ අදහස නම් කිසිම දරුවෙක් තමන් විශේෂ අවශ්‍යතා සහිත කෙනෙක් කියන මතයේ රැඳිලා පසු බහින්න ඕනේ නෑ


ඔබතුමා හිතන විදියට සාර්ථක ක්‍රීඩකයෙකු වීමට ක්‍රීඩකයෙකු සතු විය විශේෂම ගුණාංග මොනවාද? ඔබතුමා සතු විශේෂම ගුණාංගය කුමක්ද?

ක්‍රීඩකයෙකු සතු විය යුතු අංක එකේ ගුණාංගය වන්නේ නිහතමානී කමයි.තමන් කොතරම් ඉදිරියට ගියත් ක්‍රීඩා ජයග්‍රහණ රැසක් ලැබුවත් සහෝදර ක්‍රීඩකයන් සහ සෙසු අය සමග නිහතමානීව හැසිරෙන්න වගබලාගන්න ඕනෙ. ඒක අනිවාර්ය දෙයක්. එහෙම ක්‍රීඩකයෙක්ට බොහෝ දුර යන්න පුලුවන්. 

ක්‍රීඩකයෙක් විදියට මම වඩාත්ම අගය කරන සහ මා සතු විශේෂම ගුණාංගය විදියට මම දකින්නෙත් එයයි.


වර්තමානයේ අධ්‍යාපනයේ තරඟකාරීත්වය නිසා බොහෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පවා ක්‍රීඩාවෙන් ඈත් වෙලා ඉන්නවා. මෙය අහිතකර තත්වයක්. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

මට මතකයි මගේ කුඩා කාලයේදී මගේ සම වයස් ළමයි බොහෝ දෙනා ක්‍රීඩාවට යොමු වෙලා හිටියා. ඒක බොහොම විනෝදකාමී අත්දෑකීමක් උනා. ඒ වගේම මන් දැන් ක්‍රීඩාවෙන් දක්වන දක්ෂතා වලට ඒක පිටිවහලක් උනා.හැබැයි දැන් ගොඩක් දරුවන් එකම රාමුවකට කොටු වෙලා ඉන්නේ. ඒ නිසා මට ඉල්ලන්න තියෙන්නේ තමාට හැකි උපරිම අයුරෙන් දරුවන් ක්‍රීඩාවට යොමු විය යුතුයි කියන එක.


මේ ගමනේදී විශේෂ සවියක් උනු අය ඇති. ඒ අය ගැනත් යමක් කියමු.

විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මගේ ආදරණීය බිරිඳ, දරු දෙදෙනා, අම්මා වගේම ජාතික පැරාලිප්ම්පික් කමිටුව. ඊට අමතරව ක්‍රීඩා අමාත්‍යාංශය වගේම මගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතාද මේ ගමනේදී මට ඉතා විශාල සහයෝගයක් ලබා දුන්නා. ඔවුන් සියලු දෙනාගෙම කැපවීම සහ මගපෙන්වීම නිසා තමා මට මෙතරම් දුරක් ක්‍රීඩාවෙන් ඉදිරියට එන්න ලැබුනේ. 


අපි බොහොමයක් දෙනා වීරයන්ට කැමතියි. වීරයන්ව අනුගමනය කරන්න ඊට වඩා කැමතියි. හැබැයි බොහොමයක් වෙලාවට අපේ වීරයන් වන්නේ සැබෑ ලෝකය ජයගත් සැබෑ වීරයන් නොවෙයි. කල්පිත ලෝකවල සිටින විශිෂ්ටයන්ට වඩා සැබෑ ලෝකයේ දහසකුත් එකක් හැලහැප්පීම් මැද ජීවිතය ජයගත්, සිය රටම බැබලවූ වීරයන් සිටිනවා. වඩා වැදගත් වන්නේ එවැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගෙන් අපට අවශ්‍ය ගුරු හරුකම් ලබාගෙන ඉදිරියට යාමයි. දිනේෂ් ප්‍රියන්ත මහතා එවන්, නිහඬ විරුවෙක්. එවැනි පුද්ගලයන් සිටීම රටකට ශක්තියක් ඒ වගේම භාග්‍යයක්. 

2021 ගිම්හාන පැරාලිම්පික් උලලේදී ලක් මව රනින් බබලවන්න වෙර දරන ඔහු සේම අනිත් පැරාලිම්පික් විරුවන්ට හා වීරවරියන්ට Moraspirit අපි, හෘදයාංගම සුභාශිංශන පිලිගන්වන අතරම තවත් මෙවැනිම විශිෂ්ට ක්‍රීඩා තරුවක් සමග යලිත් හමුවන තුරු අදට ඔබෙන් අපි සමුගන්නවා

                                                          


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments