දෛවයට සරදම් කල අපේ කාලයේ වීරවරිය : කුමුදු ප්‍රියංකා

දෛවයට සරදම් කල අපේ කාලයේ වීරවරිය : කුමුදු ප්‍රියංකා

පැරාලිම්පික් ක්‍රීඩා උලෙළ

ඔබ මුල් වරට ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ගැන දැනගත්තේ බොහෝ විට ඔබ කුඩා කාලයේදීම විය හැකියි. ඔලිම්පික් ක්‍රීඩා උලෙලට සමගාමීව පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උලෙලද සුවහසක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතිශයින් වැදගත් කාල සීමාවක් වෙනවා. ඔලිම්පික් ක්‍රීඩා උලෙලට සුදුසුකම් ලබන්න හැකියාව ලැබෙන්නේ දක්ෂයන් අතර අති දක්ෂයන්ට පමණක් වන අතරම පැරා ඔලිම්පික් ක්‍රීඩා උලෙළ සඳහා සහභාහී වීමට අවස්ථාව ලැබෙන්නේ විශේෂ අවශ්‍යතා සහිත අති දක්ෂයන්ට පමණයි. ලොව පුරා ඇති රටවල් බොහොමයකින්,මේ ක්‍රීඩා උලෙලට සහභාගී වන්නේ අප සැමට වඩා දරාගැනීමේ හැකියාවක් ඇති, බාධක හමුවේ පසු නොබසින, ධෛර්‍යවන්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක්.

බොහෝ දෙනා සිය ජීවිතයේ හැරවුම් ලක්ශ්‍යයන් ලෙස හඳුන්වන වාසනාව සහ අවාසනාව යන සාධකවලට තම ජීවිතය වෙනස් කරන්නට ඉඩ නොදුන් අපේ කාලයේ වීරයන් වන පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන කතා කරන "Beyond Abilities" ලිපි මාලාවේ අද දිගහැරුමෙන් අපි අද හමුවන්නේ 2021 පැරාලිම්පික් ක්‍රීඩා උලෙළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම්බන්ධ වීමට සුදුසුකම් ලබා ඇති සුවිශේෂී චරිතයක්. 

ඇය කුමුදු ප්‍රියංකා. 

මීටර් 100, මීටර් 200 සහ දුර පැනීම යන ඉසව් යටතේ ලක් මවගේ නාමය පැරා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම තැබීමට සමත්කම් දැක්වූ ඇය, අද අපිත් සමග සම්බන්ධ වන්නේ ක්‍රීඩාවට ලැදි, ක්‍රීඩාවට ආදරය කරන ඔබ සැමත් සමග ඇයගේ අත්දැකීම් බෙදා හදා ගැනීමටයි. ඉතින්,මේ දිග හැරෙන්නේ ඇයගේ කතාවයි.

ඔබතුමිය සහ පවුලේ සාමජිකයන් ගැන හැඳින්වීමක් කරලම අපේ කතාව ආරම්භ කරමු.

මම කුමුදු ප්‍රියංකා. මම දැනට MAS Holdings ආයතනයේ සේවය කරනවා. මගේ පියා දැන් ජීවතුන් අතර නෑ. අම්මා, අයියා සහ නංගිලා දෙන්නා තමා මගේ පවුලේ සාමජිකයන්. මගේ ලඟින්ම ඉඳන් මට සහයෝගය දෙන්නේ ඔවුන් තමයි.

ඔබව ක්‍රීඩා ක්ෂේත්‍රයට මුලින්ම යොමු කලේ කවුද?

මම ශිෂ්‍යාවක් විදියට පාසල් කාලයේදී නම් වැඩිදුර ක්‍රීඩාවල නිරත වුණේ නැහැ. අ.පො.ස. සාමාන්‍ය පෙළ අවසන් වෙලා තිබුණු අතරතුර තමයි බෝම්බයකට අසුවීම නිසා මගේ අත් දෙක මට අහිමි වෙන්නේ. ඒ 2005 වසරේදී. ඉන්පසුව 2006 වසරේදී මම ක්‍රීඩාවට යොමු වෙන්න තීරණය කළා පැරා ක්‍රීඩිකාවක් විදියට. ඒ සඳහා මූලික මගපෙන්වීම කරේ Rehab Lanka ක්‍රීඩා සමාජයේ ප්‍රේමදාස දිසානයක මහතා. එතුමා දැන් ජීවතුන් අතර නැහැ. මට ක්‍රීඩාවේ මුල ඉඳන් ගුරුහරුකම් දීලා ඉදිරියට යන්න හරි මාර්ගය පෙන්වා දුන් මුල්ම පුද්ගලයා වන්නේ එතුමානන්. 

ඔබතුමිය විශාල වශයෙන් ක්‍රීඩා අංශයෙන් ජයග්‍රහණයන් අත් කරගත් ක්‍රීඩිකාවක් ඒවා කිහිපයක් ගැන සඳහන් කරොත්.

2006 පැරා ක්‍රීඩිකාවක් විදියට ක්‍රීඩාවට සම්බන්ධ වෙද්දී මට විශාල අවබෝධයක් තිබුනේ නෑ ඒ සම්බන්ධව. නමුත් මගේ ප්‍රථම ජාතික පැරා ක්‍රීඩා තරඟාවලියේදී මම සහභාගී වූ මීටර් 100, මීටර් 200 සහ දුර පැනීම යන ඉසව් තුනෙන්ම ජයග්‍රහණ ලබන්න මට පුළුවන් වුණා. ඒ අවස්ථාවේදී තමයි මට මේ ක්ෂේත්‍රයේ දිගටම රැඳී සිටින්න කැමැත්තක් ඇති වුණේ. එයින් පසුව මම Para Asian Games, World Para Athletics Championship තරඟාවලි සඳහා සහභාගී වෙන්න සුදුසුකම් ලබනවා. 2010 Para Asian Games තරඟාවලියේදී T45 අංශයේ මීටර් 200 ඉසව්වෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට මට හැකියාව ලැබෙනවා. ඊට අමතරව 2019 World Para Athletics Championships තරඟාවලියේදී T46 අංශයේ මීටර් 100 ඉසව්වෙන් මගේ හොඳම පෞද්ගලික වාර්තාව පිහිටුවන්නත් මට අවස්ථාව ලැබෙනවා. මෙතෙක් ලද ජයග්‍රහණ අතරින් මට ගොඩක් මතකයේ රැඳුණු ජයග්‍රහණ විදියට ඒවා නම් කරන්න පුලුවන්. 

මේ ක්‍රීඩා දිවියේදී ඔබට නොයෙක් වූ කරදර බාධක එන්නැති. ඒවායින් අමතක කල නොහැකිම බාධකයක් සහ එය ජයගත් හැටි ගැන මතක් කරමු.

මගේ ක්‍රීඩා ජීවිතය තුල මට මුණගැසුනු ප්‍රධානම බාධකය වුණේ මගේ මනස. අංගසම්පූර්ණ පුද්ගලයෙක් විදියට ජීවිතය ගත කරලා දෛවෝපගත විදියට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙක් බවට පත් වුණාම, මට මගේ හිත,මනස පාලනය කරගන්න තරමක කාලයක් වැය කරන්න සිද්ධ වුණා. මම ආරම්භයේ දී දැනගෙන සිටියේ නැහැ පැරා ක්‍රීඩකයන්ට ඉදිරියට යන්න පුලුවන් මාර්ග මොනවාද, මගේ අනාගතයේ මන් ඉලක්ක කල යුත්තේ මොනවාද යන්න. නමුත් මන් ප්‍රථම වරට ජාතික පැරා ක්‍රීඩා තරගාවලියට සහභාගි වෙලා ඉන් ජයග්‍රහණයන් ත්‍රිත්වයක් අත් කර ගත්තාට පසුව මට මන් ගැන විශ්වාසයක් ඇති වුණා. මම වගේම තව බොහෝ පිරිසක් ඉන්නා බවත්, ඔවුනුත් මන් වගේම බොහෝ කැපකිරීම් කරමින් ඉදිරියටම යන්න උත්සාහ කරන බවත් මම දැක්කා. ඒ අනුව මගේ හිතේ තිබුණු කලබලකාරි සහ ඍණාත්මක අදහස් නැතිකරගෙන ශක්තිමත් මනසකින් ඉදිරියට යන්න මම තීරණය කලා. මගේ ජීවිතේ මම ගතකළ අපහසුම කාලසීමාව සහ මම එය ජයගත් ආකාරය විදියට හැමදාම මතකයේ රැඳෙන දෙයක් හැටියට මට එය නම් කරන්න පුළුවන්.

විශේෂ අවශ්‍යතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වර්තමානයේ සමාජයෙන් ලැබෙන සහයෝගය කොහොමද? එය ප්‍රමාණවත්ද?

2006 වසරේදී මම පැරා ක්‍රීඩිකාවක් විදිහට ක්ෂේත්‍රයට එක් වෙද්දී තිබුනාට වඩා වර්තමානයේ පැරා ක්‍රීඩකයන්ට ලැබෙන පිළිගැනීමේ වර්ධනයක් දකින්නට පුළුවන්. නමුත් සමස්ථයක් ලෙස ගත්තම පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන පහසුකම් ප්‍රමාණවත් මදි. පැරා ක්‍රීඩකයන් කියන්නේ විශේෂ අවශ්‍යතා සහිත ක්‍රීඩකයන් නිසා ඔවුන්ට අවශ්‍ය පහසුකම් විවිධාකාරයි. නමුත් වගකිව යුතු පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් දක්වන නොසැලකිල්ල නිසා ක්‍රීඩා පිටියේදී, කාය වර්ධන මධ්‍යස්ථානවලදී සහ පොදු ස්ථාන වලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පත්වන අපහසුතාවයන් ප්‍රමාණය අති විශාලයි.  

ඔබතුමිය හිතන විදියට පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන පහසුකම් සහ සහයෝගය අතරින් තවත් වර්ධනය විය යුතු දේවල් මොනවාද?

පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගත හැකි ආකාරයට පහසුකම් වර්ධනයක් සිදු වෙනවා නම් එය ඉතාම හොඳ තත්වයක්. අපි බොහොමයක් දෙනා තවමත් භාවිත කරන්නේ සාමාන්‍ය පුද්ගලයන් වෙනුවෙන් සැකසූ ව්‍යායාම උපකරණ යනාදියයි. විවිධ ආබාධ සහිත ක්‍රීඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම උපකරණ මගින් ව්‍යායාම් කටයුතු කිරීම අපහසු කටයුත්තක්. ඒ වගේම පැරා ක්‍රීඩකයන්ට ලැබෙන නේවාසිකාගාරවල ද ඔවුන්ගේ කටයුතු පහසු කර ගැනීම සඳහා උපකාර වන විශේෂ සැකැස්මක් දක්නට ලැබෙන්නේ නැහැ. පැරා ක්‍රීඩිකාවක් විදිහට සහ අනෙක් සහෝදර පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මට ඉල්ලීමක් කරන්න තියෙන්නේ ඒ සම්බන්ධවයි. 

මෙතරම් කාලෙකට ලබපු ජයග්‍රහණ අතරින් ඉතාම වැදගත් අමතක කල නොහැකි ජයග්‍රහණය කුමක්ද?

2010 වසරේ Para Asian Games තරඟාවලියේ T45 අංශයෙන් තැබූ ලෝක වාර්තාව මා ලද ඉතාම වටිනා ජයග්‍රහණයක් .

ඔබතුමියගේ පසුපසින් ඉඳන් සැමවිටම ශක්තියක් වෙන පිරිසක් ඇති. එවුන් ගැනත් සඳහනක් කරමු.

පැරා ක්‍රීඩිකාවක් ලෙසට අද ඔබ දකින කුමුදු ප්‍රියංකා යන ක්‍රීඩිකාව බිහි කිරීමේ ලොකුම ගෞරවය හිමිවිය යුත්තේ ප්‍රේමදාස දිසානායක ගුරු මහතාටයි. ක්‍රීඩාව ගැන මුලිකම හෝ අවබෝධයක් නොතිබුණු මට යා යුතු මාර්ගය නිවැරදිව පෙන් වූ පුද්ගලයා එතුමායි. ඒවගේම මේ දක්වා මාව පුහුණු කළ සියලුම පුහුණුකරුවනුත් මට ලබාදුන් ලබාදුන් සහයෝගය අති විශාලයි. මම වර්තමානයේ සේවය කරන ආයතනයෙන් මට විශාල නිදහසක් ලබා දී තිබෙනවා මගේ ක්‍රීඩා කටයුතු කරගෙන යාමට. මේ සියලුම දෙනාගෙන් මේ දක්වා මා ලද සහයෝගය අතිවිශාලයි වගේම අමතක කළ නොහැකියි. ඔවුන් සියලු දෙනාටම මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා.

මේ වසරේ ලඟා කර ගැනීමට කැමති ඉලක්කය මොකක්ද?

2021 පැරා ඔලිම්පික් තරඟාවලියට සහභාගී වී ජයග්‍රහණයක් ලබා ගැනීම මගේ ලොකුම ඉලක්කයයි. 2020 වසරේදී එම ඉලක්කය සැබෑ කරගන්න මට සිහිනයක් තිබුනා. නමුත් මේ කොරෝනා වසංගතය නිසා 2020 පැරා ඔලිම්පික් තරඟාවලිය මේ වසරට කල් දැමුනා. මේ වසරේ කෙසේ හෝ එම තරඟාවලිය පවත්වන්න ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා වගේම එයින් ජයග්‍රහණයක් ලබාගෙන මව්බිමට අභිමානයක් ගෙන එන්න මට අවශ්‍යයි. 

වර්තමාන විශ්වවිද්‍යාල වලත් පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඉන්නවා. පරිණත ක්‍රීඩිකාවක් විදියට ඔවුන්ට ඔබ දීමට කැමති උපදෙස කුමක්ද?

බොහොමයක් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ඇති ප්‍රධානම ගැටලුවක් වන්නේ සමාජය තමා දෙස මොන ආකාරයට බලයිද යන්නයි. අත්දැකීම් ලද පරිණත ක්‍රීඩිකාවක් වීමට පෙර මමත් ඒ වගේ බොහෝ දේවල් ගැන වැරදි අවබෝධයකින් පසු වුණා. නමුත් අප වටහා ගත යුතු දෙයක් වන්නේ විශේෂ අවශ්‍යතා ඇති ක්‍රීඩකයන්ට ද ඉදිරියට යා හැකි මාර්ග තිබෙන බවයි. ශාරීරික වශයෙන් ඇති කිසියම් අඩුවක් නිසා සිත් රිදවාගෙන ජීවත් වෙනවාට වඩා, අපිට ඇති විශේෂ දක්ෂතා අනුව ක්‍රීඩවෙන් ඉදිරියටම යන්න අපි උත්සාහ කල යුතුයි. 

ඒ වගේම පැරා ක්‍රීඩකයෙක් විදියට ඉදිරියට යන්න කැමති ඕනෑම කෙනෙකුට ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ නිලධාරී මහත්මයෙක්ගෙන් අදාල උපදෙස් ලබාගෙන තමාගේ ඉදිරි ගමන ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමටත් හැකියාව තිබෙනවා. 

ඒ නිසා කිසිම කෙනෙක් පසුබට විය යුතු නෑ. උදව් අවශ්‍ය කරන පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය උපකාර ලබා දීම සඳහා අපි ඇප කැප වෙනවා. එය විශාල සතුටක්.

අප කතාබහ අවසානයේදී එතුමිය මතක් කල තවත් කරුණක් වන්නේ පැරා ක්‍රීඩකයන් ලෙස ඉදිරියට යාමට කැමති ඕනෑම ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට උදව් කිරීමට, එම ක්‍රීඩකයන් අදාල බලධාරීන් වෙත යොමු කර මගපෙන්වීමක් කිරීමට ඇය සූදානම් බවයි.ඉදිරියට යාමට සිහින දකින තවත් දක්ෂයෙකුට අත දීමට කැමති නිහතමානී ක්‍රීඩිකාවක් වීම ඇය ලද සෑම ජයග්‍රහණයකටම වඩා වටිනා දෙයක්. ක්‍රීඩාවෙන් බිහිවිය යුත්තේ මනුෂ්‍යත්වය පිරි දක්ෂයන් බවට ඇති ජීවමාන සහ හොඳම උදාහරණයක් ලෙසට කුමුදු ප්‍රියංකා මෙනෙවියගේ නාමය සඳහන් කල හැකියි. 

ක්‍රීඩිකාවක් ලෙස මේ මාවතේ ඇය ආ මග දුරයි. ඒ වගේම යා යුතු මගද තවත් දුරයි. ඒ ගමනේදී පෙරටත් වඩා ලොවක් ඉදිරියේ දස්කම් පෙන්වා තම නාමය රනින් රිදියෙන් බැබලවීමට අවස්ථාව ලැබෙන්න කියා MoraSpirit අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 

ජිවිතෙයේ මොනයම් හෝ දවසක පරාජය පිළිගෙන ආපසු හැරෙන්නට ඔබට සිතිලා ඇති. ඒ වගේම ඒ සිතුවිල්ලට හිස නවා පරාජිත සිතින් පසුපසට අඩියක් තැබූ අවස්ථාත් ඔබේ ජීවිතය තුල ඇති. නමුත්, දෛවයට අභියෝග කරමින් පසුපසට තබන්නට ගිය අඩියක් යලිත් ඉදිරියට තිබ්බොත් ඔබට ඔබේ ඉලක්කය ලඟා කර ගැනීමට හැකි වනවා නොඅනුමානයි. දෛවය වෙනස් කල මිනිසුන් ඔබට කියා දෙන පාඩම එයයි. ඉතින් එවන් දක්ෂයෙකුගේ කතාව රැගෙන යලිත් එනතුරු අදට අපි ඔබෙන් සමුගන්නවා. මේ MoraSpirit අපි.



Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments