මිලිණ වූ පුරවර සරසවි ක්‍රීඩා තරුව: ජාවා -සුමිතුරු මතකාවර්ජනය-

මිලිණ වූ පුරවර සරසවි ක්‍රීඩා තරුව: ජාවා -සුමිතුරු මතකාවර්ජනය-

ජූනි මස 14 ඉරිදා කොළඹ විශ්වවිද්‍යාලයට සහසම්බන්ධ සියලු දෙනාහට ඉතාමත් ඛේදනීය දිනයකි.

ලක්මිණ චාතුර්ය නොහොත් "Java" ( ජාවා), අපි සියලු දෙනාවම එක් මොහොතකින් කම්පනයට

පත්කරමින් සහ සදාකාලිකවම එම නම ඇසූ පමණින් අපේ නෙතග කඳුළක් පමණක් ඉතිරි කරමින්

එදින අපෙන් සමුගන්නා ලදි.

 

මාතර දික්වැල්ල ප්‍රදේශයේ කුඩා කල සිට හැදී වැඩුණු ලක්මිණ, පැල්මඩුල්ල ධර්මාලෝක විද්‍යාලයෙන්

සහ නකුලුගමුව ගාමිණී මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා

පීඨයට තේරී පත්වන්නේ 2016 වසරේදීය. අධ්‍යාපනයට මෙන් ම ක්‍රීඩාවට ද එක සේ දස්කම් දැක්වූ

මොහු, 2018 වසරේ දී උපාධිධාරියකු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයෙන් සමුගන්නේ ජාවා යන නාමය

තව පරම්පරා ගණනාවකට අමතක නොවන සලකුණක් ලෙස තබමිණි. 

 

කොළඹ විශ්වවිද්‍යාලයේ 2019 හිටපු ක්‍රිකට් නායක සහන් විජේසිංහ MoraSpirit අප සමග තම

ක්‍රීඩා මතකයන් ආවර්ජනය කරමින් පවසා සිටියේ “මායි ජාවයි එකම බැච් එකේ නිසා 2016

ඉඳන්ම ජාවත් එක්ක එක ළඟින්ම හිටියා. පරිගණක විද්‍යා විෂයන් වලට ජාවා දක්ෂයි.

ඒ විෂයන්වල ඕනෑම දෙයක් කියල දෙන්න එයාට පුළුවන්. ජාවා කියල කියන්නෙත් ඒකයි.”

යනුවෙනි. 


ලක්මිණ යන නමට වඩා බොහෝ දෙනාගේ හදවත ඔහු දිනා ගත්තේ ජාවා යන නමින්. එබැවින්,

මෙතැන් සිට අපි ද ඔහුට ජාවා යන නමින් ආමන්ත්‍රණය කරමු. 


“ජාවා ක්‍රිකට් විතරක් නෙමෙයි බේස්බෝල්, පාපන්දු කණ්ඩායම්වලත් හිටියා. ක්‍රිකට්,

පාපන්දු යන ක්‍රීඩා දෙකට ම ඔහුට විශ්වවිද්‍යාල වර්ණ තිබෙනවා.” ඒ අනුව, අධ්‍යාපනය

පමණක් නොව තම ක්‍රීඩා ජීවිතය ද සමබරව ගෙන ගිය මෙම ජවසම්පන්න තරුණයා සමස්ත

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවටම ආදර්ශයකි.  “ජාවාට ක්‍රීඩා වලට තිබ්බේ පුදුම උනන්දුවක්.

ඕනෑම ක්‍රීඩාවකට තම නොමද සහය ලබා දෙන්න ජාවා සූදානම් . ජාවා හිටපු නැති

තරග වලට වුනත් ග්‍රවුන්ඩ් එකට ගිහින් සහය දක්වන්න දෙසැරයක් හිතන්නේ නැහැ.” 


ක්‍රීඩකයෙකු සතු වැදගත්ම ගුණාංගයක් වන්නේ තව කෙනෙකුගේ සතුට දැක ඊට ඊර්ෂ්‍යා

නොකර ඔවුන් සමඟ ඒ සතුට බෙදා ගැනීමයි. ජාවා ඒ අතින් ඉහළින් ම සිටි බවට ඔහුගේ

සහෘදයන්ගේ වදන් සාක්ෂි දරයි.

 

“ජාවා වගේ චරිතයක් ඕනෙම ටීම් එකකට හයියක්. කිසිම වෙලාවක කණ්ඩායමට අහිතකර

පිඩනයක් දැනෙන්න දෙන්නෙ නෑ, අනික අපේ ටීම් එකේ කැපවීම අතින් ජාවා උඩින් ම

හිටියා. කවදාවත් කම්මැලිකමේ පුහුණුවීම් කරේ නෑ. ජාවත් එක්ක කතාබහ කරන්න

හරිම ලේසියි. අලුත් ක්‍රීඩකයින් කණ්ඩායමට එද්දි ජාවත් එක්ක කතා කර කර ඉන්න එයාලා

හරිම ආසයි. එතකොට කණ්ඩායම් හැගීමෙන් කටයුතු කරන්න ලේසියි. ජාවා නායකයෙකු

වගේ ඒ මල්ලිලට උදව් කරා”.

ඔහු කාගේත් හිත දිනාගත් මිනිසෙකු බව මේ කරුණු වලින් මනාව ඔප්පු වේ.


ජාවා, 2017 අන්තර් විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ 3වන ස්ථානය ලබා ගත් කොළඹ විශ්වවිද්‍යාලයීය

ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු මෙන්ම, 2018 අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලියේ සමස්ත

ශුරතාව දිනාගත් කණ්ඩායමේ ද සාමාජිකයෙකු විය. 2017 වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලය විසින්

සංවිධානය කළ Masterminds’ අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියේදී ද ඔහු කොළඹ විශ්වවිද්‍යාල

කණ්ඩායම නියෝජනය කරන ලදී.


ඔහු, ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු 6ක් වැටී තිබෙන ඉතා අසීරු අවස්ථාවල දී, 8වන පිතිකරු ලෙස

පැමිණ කණ්ඩායමේ ගැලවුම්කරු වූ අවස්ථා අසීමිතය. පිත්තෙන් පමණක් නොව පන්දුවෙන් ද

දස්කම් දක්වා ඇති ඔහු, එක් ඉසව්වකට පමණක් දක්ෂ යැයි සීමා කල නොහැක. ඔහු වචනයේ

පරිසමාප්ත අර්ථයෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.


ජාවත් එක්ක ගත කල ක්‍රීඩා ජීවිතයේ දී අමතක නොවන සිදුවීමක් ගැන MoraSpirit අප සහන්

විජේසිංහගෙන් විමසූ විට ඔහු පැවසුවේ මෙවන් දෙයකි. "විශේෂ මතකයක් highlight කරලා

කියන්න අමාරුයි ඒ තරම් මතකයන් ගොඩක් තියෙනවා. Ground එකේ විතරක්

නෙමෙයි, faculty එකෙත් එකට ම හිටියා. ජාවගේ FB එකට ගිහිල්ලා පින්තූර බලද්දි

ඕනෑම කෙනෙක්ට තේරෙනවා ජාවා මොන වගේ කෙනෙක්ද කියලා. කැපවීම සහ

කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කිරීම සහ අනෙකාට සහයෝගය දැක්වීම අතින් ජාවා

ඉහළින් ම හිටියා. දින්නත්, පැරදුනත්, බැන්නත්, ඕනම දේකදි හිනා වෙලා ඉන්න

ජාවට පුළුවන්."


අපි විශ්වාස කරන ආකාරයට ක්‍රීඩකයෙකුට තිබිය යුතු වැදගත්ම ගුණාංගයක් වන්නේ නිහතමානීකම

සහ අව්‍යාජභාවයයි. කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු ක්‍රිකට් නායක සහන් විජේසිංහ සමඟ පැවැති

සංවාදයෙන් ජාවා සතු ඒ විශේෂ ගුණාංගය මනාව පිළිබිඹු වූ බවට අපි විශ්වාස කරමු.


ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව පාපන්දු ක්‍රීඩාවට ද ජාවා දැක්වූයේ එක වගේ දක්ෂතාවයක් හා ඇල්මකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ වත්මන් පාපන්දු කණ්ඩායමේ නායක ගයාන් සායක්කාර අප සමග ජාවා සහ 

පාපන්දු කණ්ඩායම අතර තිබුණු මිත්‍රත්වය පිළිබඳ විස්තර කර දැක්වූයේ මෙලෙසිනි.  

 

"මම කැම්පස් ආවෙ 2017 අවුරුද්දේ දී .ජාවා අයියා ගැන දැනගත්තේ 2017 අවුරුද්දේ තිබ්බ

freshers' meet එකේදී. ඒ වෙනකම් මම දන්න තරමින් අපේ විද්‍යාපීඨය පාපන්දු තරගාවලියක්

දිනලා තිබ්බෙ නෑ. අපි 2017 අවුරුද්දේ football freshers' දින්නත් ඒ හැම මොහොතකම තිරය

පිටිපස්සේ හිටියේ ජාවා අයියා. උදේ, හවස පුහුණුවීම් තියෙද්දි, ඇවිත් අපිව පුරුදු කරේ

ජාවා අයියා. හවස හය හත වෙනකන් අපිට පුරුදු වෙන්න උදව් කරපු අවස්ථා ගොඩයි.

කොහොමහරි ඒ තරගාවලියෙන් පස්සේ, විශ්වවිද්‍යාලයීය පාපන්දු කණ්ඩායමට 6දෙනෙක් 

තේරීපත් වෙනවා අපේ විද්‍යා පිඨයෙන්. ඒකෙදිත් සම්පූර්ණ ගෞරවය හිමි වෙන්නේ ජාවා

අයියට”.


අලුතෙන් ක්‍රීඩකයකු කණ්ඩායමට පැමිණෙන විට සහ තමන් මෙන් ක්‍රීඩාවට ආදරය කරන පිරිසක්

බිහිකිරීමට මාර්ගෝපදේශනය සලසා දෙන්නෙකු ලෙසයි අපි ඔහුව දකින්නේ. 


“අපි පුහුණු වීම් කරනකොට ගෝල රකින්නන් සහ අනෙක් ක්‍රීඩකයින් වෙන වෙනම තමයි

පුහුණුවීම්වල නිරත වෙන්නේ. මමයි ජාවා අයියයි දෙන්නම අපේ කණ්ඩායමේ ගෝල

රකින්නන්. ඒ නිසා මට අවස්ථාව හිමි වෙලා තියනවා ජාවා අයියාව ගොඩක් සමීපව ආශ්‍රය

කරන්න. ලොකු කැපවීමකින් සහ උත්සහයකින් තරඟ පුහුණුවීම්වල නිරත වුණ කෙනෙක්

තමයි ජාවා අයියා. ඒ වගේම මතක් කරන්න ඕනා 2018 අවුරුද්දේ අන්තර් විශ්වවිද්‍යාල

පාපන්දු තරගාවලිය තිබ්බේ මාතර, එතකොට ජාවා අයියගේ ගමත් මාතර. අපට ලොකු

අස්වැසිල්ලක් වුණා ජාවා අයියා අපිට උදව් කරන්න හිටිය එක. කෑම බීමේ සිට අපිට අවශ්‍ය

හැමදේම හොයලා බැලුවා. ජාවා අයියා එක්ක ගත කල කාලය තුල අමතක නොවන සිදුවීම්

කියල එකක් කියන්න අමාරුයි. මට මතකයි අපි දුර තරග වලට යද්දි අපි සෙට් එකත් එක්ක

ජාවා අයියා ඕමි ගහනවා, ඒ අපේ ස්ට්‍රෙස් එකෙන් මිදෙන්න. ඒ වගේම 2018 අපි අන්තර්

විශ්වවිද්‍යාල තරඟාවලියට සහභාගි වෙද්දී අර්ධ අවසන් පූර්ව වටයේදී අපිට හම්බ වුනේ

යාපනය විශ්වවිද්‍යාලයීය පාපන්දු කණ්ඩායම, විශ්වවිද්‍යාල පාපන්දු ක්ෂේත්රයේ ගොඩක්

ඉහළින් හිටපු කණ්ඩායමක්. මැච් එකට කලින් දවසෙ රෑ හිනාවෙලා අපිව ධෛර්යමත් කරලා

මේ මැච් එක දිනන්න පුළුවන් අපි හොඳට සෙල්ලම් කලොත් කියලා අපිව up කරලා 1-0

විදිහට එදා තරගය දිනන්න පුළුවන් වුණෙත් ජාවා අයියගෙන් අපිට අවශ්‍ය මොහොතේදී

ලැබුණු ඒ සහයෝගය නිසයි. ගිය අවුරුද්දේ SLUG එකටත්, ජාවා අයියා කැම්පස් එකෙන්

out වුණත්, අපි පුහුණුවීම් කරන වෙලාවට ඇවිත් අපිත් එක්ක, පුහුණුකරුවන් එක්ක

කතාබහ කරා”

 

අවසාන වශයෙන් ගයාන් සමග පවතී සාකච්ඡාවෙන් පෙනී යන්නේ ජාවා අයියා දැඩි කැපවීමකින් යුතු 

ක්‍රීඩකයෙක් පමණක් නොව සියලු දෙනාගේ ම හිත දිනාගත් ක්‍රීඩකයෙකු ද බවයි.


ෂෙහාන් වීරක්කොඩි, 2018 වර්ෂයේ කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු පාපන්දු නායකයා ද ජාවා ගැන

ඔහුගේ මතකයන් අප සමඟ අවදි කළේය.


“ලක්මිණ කියන්නේ කවදාවත් කේන්ති ගන්න චරිතයක් නෙමෙයි සහ ඒකත් එක්කම ඔහුට

තිබුණා අසීමිත කැපවීමක්. මං දකින විදිහට ඔය ගුණාංග දෙක ලේසියෙන් කෙනෙකුට

පිහිටන්නෙ නෑ. ඔහු පාපන්දුවලට විතරක් නෙමෙයි අනිත් ක්‍රීඩාවලටත් අසීමිත ආදරයක්

දැක්වුවා. එහෙම නොතිබුණා නම් මම හිතන්නේ නැහැ ඔහුට බේස්බෝල්, ක්‍රිකට්, පාපන්දු

කියන ක්‍රීඩා තුනෙන් ම විශ්වවිද්‍යාල කණ්ඩායමට එන්න පුළුවන් වෙයි කියලා”.


ෂෙහාන් අප හා තවදුරටත් කියා සිටියේ ඔහුගේ මෙම වියෝව අපි හැමෝටම ශෝකජනක කරුණක් බවයි.


ජාවා ක්‍රීඩාවට කෙතරම් ඇලුම් කළේ ද යත් ඔහු කැම්පස් ජීවිතයට පමණක් තම ක්‍රීඩා හැකියාව

කිසිදිනක සීමා කළේ නැත. ඔහු රැකියාවේ නිරත වුණ Virtusa ආයතනයට ද ක්‍රිකට් ක්‍රීඩකයෙකු

ලෙස තම දායකත්වය දැක්වූයේ, ක්‍රීඩාව සහ තම එදිනෙදා රාජකාරි ජීවිතය සමබර ව ගෙන යා

හැකි බව සැමට පසක් කරමිනි. 


දෛවයේ සරදමක් මෙන් ඔහු වඩාත් ඇලුම් කළ ක්‍රීඩා තරගයකට සහභාගි වීමට යන අවස්ථාවේ

දී ම ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු අපෙන් වෙන් වී ගිය ද ඔහුගේ මතකයන්

අප අතර සදා රැඳී පවතී. 


මෙම ලිපිය ලිවීමට ප්‍රථම අප ජාවා පිළිබද මෙතරම් සමීප තොරතුරු දැන නොසිටියත්, මෙය හමාර

කරන මොහොතේ දී හැගෙන්නේ ජාවා ක්‍රීඩාවට දැඩි ලෙස ආදරය කළ, සැම සිත්‍සතන් දිනාගත්, 

නිහතමානී චරිතයක් ලෙසයි. යලිත් ඔහුගේ ඔල්වරසන් නාදය කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන්

නොඇසුනත් ඔහුගේ අඩි පාරේ යන තරුණ ජවසම්පන්න ක්‍රීඩා තරු රැසක් කොළඹ විශ්වවිද්‍යාල

ක්‍රීඩාංගනය තුළින් බිහි වනවා නොඅනුමානයි.


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments