ලොව පවතින උත්කර්ෂවත්ම ක්‍රීඩා සැණකෙළිය ඔලිම්පික් උළෙල බවට සැක නැත. වසර හැත්තෑ හයක ඔලිම්පික් ගමන් මඟෙහි ශ්‍රී ලාංකික මංසලකුණු මෙසේය.
වර්ෂ 1937 දී ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව පිහිටවූ අතර එම වර්ෂයේදීම එය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පිළිගන්නා ලදි. එහි ඇවෑමෙන් 1948 දී මුල් වරට ඔලිම්පික් වරම් ලැබීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකුට අවස්ථාව උදා විය. කිසිදු සීත ඍතු ඔලිම්පික් උළෙලකට සහභාගී නොවුණ අප 1976 දී හැරුණු විට මෙතෙක් පැවති සියලු ගිම්හාන ඔලිම්පික් උළෙලයන්හී සහභාගිත්වය සනිටුහන් කර ඇත.
ශ්‍රී ලංකාවට පළමු ඔලිම්පික් පදක්කම දිනාදෙන්නෙ වර්ෂ 1948 දී එනම් අප රට සහභාගි වූ පළමු ඔලිම්පික් උළෙලේදී ඩන්කන් වයිට් මහතා විසිනි. ලන්ඩනයේ පැවති මෙම තරඟාවලියේ මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ රිදී පදක්කම ලබා ගැනීමට ඒ මහතා සමත් විය. ශ්‍රී ලංකාව නැවත ඔලිම්පික් පදක්කමක පහස ලබන්නේ ඉන් වසර 52කට පසු 2000 වර්ෂයේ සිඩ්නි නුවර පැවති ඔලිම්පික් උළෙලේදීය. ඒ ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාව විසින් මීටර් 100 ඉසව්වේදී ය. අවසන් තරඟයේදී ඇයට ලෝකඩ පදක්කම හිමි වූවද පසු කලක එම තරඟ ඉසව්වේ රිදී පදක්කම දිනාගත් මේරියන් ජෝන්ස්ට එල්ල වූ තහනම් උත්තේජක චෝදනාව සමඟ ඇගේ සියලු පදක්කම් අහිමිව ගිය පසුබිමක සුසන්තිකා ජයසිංහට රිදී පදක්කම හිමි විය.
1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලද ශ්‍රී ලාංකික අපට වැදගත් සංධිස්ථානයක් විය. කිසිදු පදක්කමක් දිනාගැනීමට සහභාගි වූ තරඟකරුවන් සය දෙනාටම නොහැකි වූවද මීටර් 10,000 තරඟ ඉසව්වට සහභාගි වූ රණතුංග කරුණාරත්න එතෙක් මෙතෙක් ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ඨතම පරාජිතයා බවට පත්විය. පෙර දින උණ වැළඳී රෝගාතුරුව සිට ඇති ඔහු කෙසේ හෝ තරඟයට සහභාගි වූවද සියලු තරඟකරුවන් තරඟය අවසාන කිරීමෙන් අනතුරුව පවා ඔහුට තවත් වට 3ක් ඉතිරිව තිබුණි. ප්‍රේක්ෂකාගාරයෙන් මුලින් හූ හඬක් නැගුණද අවසාන වටය වන විය සියලු දෙනා 'කරූ සිලෝන්' යනුවෙන් කෑ ගසමින් ඔහුව දිරිමත් කරන්නට විය. මෙම අධිෂ්ඨානශීලී ක්‍රීඩකයාගේ කතා පුවත ජපන් ජාතිකයන් ඔවුන්ගේ පෙළපොත් වලට පවා ඇතුළත් කළහ.
පෙර සඳහන් කළ පරිදි අප රට සහභාගි නොවූ එකම ඔලිම්පික් උළෙල 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙල වන අතර මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ අකාර්යක්ෂමතාව හා නොසැලකිලිමත්බාවය එයට හේතු විය. ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ පාක්හීඩ් සරසවියේ දිගු දුර ධාවන පුහුණුව පවා ලබා 1976 ඔලිම්පික් උළෙලට සහභාගිවීමට බලාපොරොත්තුවෙන් සිටි මැරතන් ක්‍රීඩක ලූෂන් රෝසාට මේ හේතුවෙන් අවාසනාවන්ත ලෙස ඔහුගේ ඔලිම්පික් සිහිනයට සමු දෙන්නට විය.
ශ්‍රී ලාංකික ඔලිම්පික් ගමන් මඟෙහි තවත් වැදගත් වසරක් ලෙස 1988 සඳහන් කළ හැක. එම වර්ෂයේදී කොරියාවේ සෝල් නුවර පැවති ඔලිම්පික් උළෙලේදී මුල් වරට ශ්‍රී ලාංකික කාන්තාවක් ඔලිම්පික් උළෙල නියෝජනය කරන්නට විය. ඒ කොස්ගොමගේ තිලකා ධම්මිකා ජිනදාස ක්‍රීඩිකාවයි. නෙට්බෝල් ක්‍රීඩිකාවක් මෙන්ම මලල ක්‍රීඩිකාවක්ද වූ ඇය සෝල් ඔලිම්පික් උළෙලෙහි මීටර් 100 කාන්තා කඩුලු දිවීම ඉසව්වට සහභාගී විය.
වර්ෂ 1948 සිට 2020 දක්වා අවස්ථා 18කදී ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වූවද අප මෙතෙක් පදක්කම් ලබා ඇත්තේ අවස්ථා දෙකකදී පමණක් වීම කණගාටුවට කරුණකි. මෙම වසරේ ජූලි 6 සිට අගෝස්තු 11 වනදා දක්වා ප්‍රංශයේ පැවැත්වීමට සැලසුම් කර ඇති මෙවර ඔලිම්පික් උළෙල සුවහසක් ශ්‍රී ලාංකික ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේ බලාපොරොත්තු බවට පත්ව ඇත.
Comments