අද්විතීය සටන් කලාවෙන් මොරටුවට ද්විත්ව ජයක්...

අද්විතීය සටන් කලාවෙන් මොරටුවට ද්විත්ව ජයක්...

ශ්‍රී ලංකාවේ අන්තර් විශ්ව විද්‍යාලයීය දැවැන්තම තරගාවලිය වන SLUG තරගාවලියේ තවත් එක් අදියරක් වන ටයිකොන්ඩෝ තරඟ ඉසව්ව පසුගිය 28,29 වන දිනවල දී රුහුණ විශ්ව විද්‍යාලයේදී අති සාර්ථක ව පැවැත්වුණා. තරගය පුරාවටම තරගකරුවන්ගේ අභියෝගාත්මක බව, අධිෂ්ඨානශීලි බව, කැපවීම වගේම විනය, සංවරබව දකින්නට ලැබුණේ මෙම සටන් කලාවේ ඉගැන්වීමේ සත්‍යතාවය මනා ලෙස තහවුරු කරමිනි.

ටයිකොන්ඩෝ යනු අද්විතීය ආත්මාරක්ෂක සටන් කලාවකි. එබැවින් ඒ පිලිබදව බිදක් කතා නොකලොත් ඒ එයට කරන අගෞරවයක්. වර්තමානයේ බොහෝ රටවල පුරුදු පුහුණු වන මෙම සටන් කලාවේ උපත කොරියාවේය. 1940-50 දශක වල නිර්මාණය වුවද වසර 2300ක් පමණ පැරණි ටයිකියොන්, සුබක්, ග්වොන්බියොප් වැනි පුරාතන කොරියානු සටන් ක්‍රම වලද, චීනයේ වූෂු, ජපානයේ කරාතෙ යන සටන් ශෛලීන් වලද ආභාසය මෙම සටන් කලාවේ දක්නට ලැබෙනවා. මෙම සටන් කලාව ප්‍රචණ්ඩත්වය හෝ කිසිවෙකු රිදවා සතුටු වීමට නොව හුදෙක් ආත්මාරක්ෂාවටත්, මනස සංවර කරගැනීමටත් නිර්මාණය වූවක්. එබැවින් මෙය ශක්තිය සමග ආධ්‍යාත්මය ද සංකලනය වූ සටන් කලාවක් විදියට හදුන්වන්න පුලුවන්.

ඉතාමත් තරගකාරි දින දෙකක අවසානයේ, ටයිකොන්ඩෝ තරගාවලියේ පිරිමි හා කාන්තා අංශ දෙකෙන්ම ශූරතාවය දිනාගැනීමට මොරටුව විශ්ව විද්‍යාලය සමත් වුණා. ඒ පිරිමි අංශයෙන් මුළු ලකුණු 31 ක් ද කාන්තා අංශයෙන් මුළු ලකුණු 25 ක් ද ලබාගනිමිනි. පිරිමි අංශයෙන් දෙවන ස්ථානය ලකුණු 21ක් ලබාගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ද තුන්වන ස්ථානය ලකුණු 14ක් ලබාගනිමින් කැලණිය විශ්ව විද්‍යාලයද හිමිකර ගත්තා. කාන්තා අංශයෙන් ලකුණු 24ක් ලබාගෙන දෙවන ස්ථානය කොළඹ විශ්ව විද්‍යාලයටත් ලකුණු 16ක් ලබාගනිමින් තුන්වන ස්ථානය රුහුණ විශ්ව විද්‍යාලයටත් හිමිවුණා.

කාන්තා තරගාවලියේදී මොරටුව විශ්ව විද්‍යාලයත් කොළඹ විශ්වවිද්‍යාලයත් අතර කරට කර තරඟයකින් පසුව පළමු ස්ථානය මොරටුව විශ්වවිද්‍යාලයට හිමිවුණා. ඔවුන් අතර තිබූ තරගකාරි බව කොතරම් ද යන්න දෙපාර්ශවයේ ලකුණු වෙනසින් මනාව දක්නට ලැබුණා. ඔවුන් ලැබූ ජයග්‍රහණය පිලිබදව මොරටුව විශ්ව විද්‍යාලයේ ටයිකොන්ඩෝ කාන්තා කණ්ඩායමේ නායිකා R.A.D.N.රාජපක්ෂ පැවසුවේ ශක්තිමත්, අධිෂ්ඨානශීලී, කැපවීමෙන් යුත් කණ්ඩායමක් තමන් සතුවීම මෙම ජයග්‍රහනයට ප්‍රධානම හේතුව වූ බවයි. සියලුම විශ්ව විද්‍යාල අතරින් වැඩිම සාමාජික‍යන් සංඛ්‍යාවකින් යුත් කණ්ඩායම වූයේ ද මොවුන් ය. අධ්‍යාපනික කටයුතු මධ්‍යයේ වුවද එම පීඩන නොතකා පුහුණුවීම් සදහා අඛණ්ඩව පැමිණීම මෙම ජයග්‍රහණයට මනා රුකුලක් වූ බව ඇයගේ මතයයි. කණ්ඩායමේ සාමාජිකයින්ගේ කුසලතා විශ්ව විද්‍යාල පිටියෙන් ඔබ්බට ළඟා වන බවත්, ඉදිරි වසරවලදී ජාතික මට්ටමේ තරඟ වලට ඉදිරිපත්වීමට බලාපොරොත්තු වන බවත් එහිදී ද ඔවුන් මෙලෙසම දස්කම් දක්වනු ඇතැයි ඇය අපේක්ෂා කරන බවත් ඇය තවදුරටත් සදහන් කලා.

මොරටුව විශ්ව විද්‍යාලයේ ටයිකොන්ඩෝ පිරිමි කණ්ඩායමේ නායක W.R.M.D.විමලදාස ඔවුන්ගේ ලැබූ ජයග්‍රහණය පිළිබඳව අප සමඟ පැවසුවේ පහුගිය SLUG XII තරගාවලියේදී ලැබූ පරාජය පන්නරයක් කරගනිමින් ඔහු සහ ඔහුගේ කණ්ඩායම පසුගිය වසර තුන තුළ ඔවුන්ගේ පුහුණුවීම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කල බවයි. කණ්ඩායමේ සාමාජිකයින්ගේ කැපවීම සහ කණ්ඩායම් හැඟීම මෙම ජයග්‍රහණය ප්‍රධානම හේතුව වූ බව ඔහු විශ්වාස කරයි. නොයෙක් අභියෝග හමුවේ පුහුණුවීම් සදහා ලැබෙන කාලය සීමිත වුවද වෙහෙස මහන්සි වී පුහුණුවීම් වල නිරතවීම ඔවුන්ට මෙම ජයග්‍රහණය වඩාත් පහසු කරවූ බව ඔහුගේ මතයයි. ඉදිරි වසරවලදී මෙම ශූරතාවය රඳවා ගැනීමට තම කණ්ඩායම උපරිම උත්සාහයක් ගන්නා බව ඔහු තවදුරටත් අප සමග පැවසූවා.

අවසන් වශයෙන් මෙවර ජයග්‍රහණය කල සියලුම ක්‍රීඩකයන්ට උණුසුම් සුභ පැතුම් එක් කරන අතරම තවදුරටත් ක්‍රීඩා ලෝකයේ ඉදිරියටම ගමන් කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි MoraSpirit අපි ප්‍රාර්ථනා කරනවා. තරගාවලිය පුරා දකින්නට ලැබුණු දස්කම් සලකා බලද්දී විශ්ව විද්‍යාල සිසුන් ලෙස තරග කල මොවුන් නොබෝදිනකින් ජාතික මට්ටමේ තරග පිටියද ආක්‍රමණය කරන බව නොඅනුමානයි. අන්තර් ජාතික මට්ටමෙන් තරග වැදීමට තරම් වූ ජවයක්, කැපවීමක්, අධිෂ්ඨානශීලී බවක් මොවුන් තුළ දක්නට ලැබුණ බව නොකිව මනාය. අවශ්‍ය වන්නේ අවස්ථාවක් සහ හොද පුහුණුවක් පමණි. කුමන විශ්ව විද්‍යාලයද අදාල නැත, විශ්ව විද්‍යාල සිසුන් වශයෙන් අපට සියලුම තරගකරුවන් ගැන දැනෙන්නේ විශාල අභිමානයක්. එබැවින් මොවුන් අන්තර් ජාතික මට්ටමේ තරගවලින් මව්බිමට ජයග්‍රහණයක් ගෙන එන දිනය ද වැඩි ඈතක නොවන බව අපි තරයේ විශ්වාස කරන්නෙමු.


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments