ජීවිතයේ බිඳ වැටීමක් ශක්තියක් කරගත් අපේ කාලයේ ක්‍රීඩකයා

ජීවිතයේ බිඳ වැටීමක් ශක්තියක් කරගත් අපේ කාලයේ ක්‍රීඩකයා


ඕනෑම අයෙකුට ඔලිම්පික් ක්‍රීඩා උළෙල යන නම ඇසූ සැණින් ලෝක ක්‍රීඩාවේ මහා මංගල්‍යය සිහියට නැගෙනු ඇත. එලෙසම ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලද සුවහසක් ක්‍රීඩක රසිකයින්ගේ හදවත් ඇද බැඳගත් ක්‍රීඩා උළෙලකි. පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාහී වීමට අවස්ථාව ලැබෙන්නේ විශේෂ අවශ්‍යතා සහිත අති දක්ෂයන්ට පමණයි. ලොව පුරා ඇති රටවල් බොහොමයකින් මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වීමට අති විශේෂ පිරිසක් සුදුසුකම් ලබනවා. අප සැමට වඩා දරාගැනීමේ හැකියාවක් ඇති, බාධක හමුවේ පසු නොබසින, ධෛර්‍යවන්ත ක්‍රීඩා කෞශල්‍යයෙන් ජාතික මට්ටමේ ක්‍රීඩකයින්ට පවා නොදෙවෙනි දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් මෙම පැරා ඔලිම්පික් තරගාවලියේදී තම රට වෙනුවෙන් තරග වදිනවා. මුණගැසෙන දහසකුත් එකක් බාධාවන් කිසිවකට තම ජීවිතය වෙනස් කරන්නට ඉඩ නොදුන් අපේ කාලයේ වීරයන් වන පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන කතා කරන "Beyond abilities" ලිපි මාලාවේ අද දිගහැරුමෙන් අප හමුවන්නේ 2021 පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති සුවිශේෂී පුද්ගලයෙක්.

 

ඔහු නමින් පාලිත බණ්ඩාර.

 

යගුලිය දැමීම, හෙල්ල විසි කිරීම සහ කවපෙත්ත විසි කිරීම යන ඉසව් යටතේ ලක් මවගේ නාමය පැරා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම තැබීමට සමත්කම් දැක්වූ ඔහු සමඟ දොඩමළු වූ අප ඒ අත්දැකීම් මෙන්ම ඔහුගේ අදහස් මෙම ලිපිය හරහා ඔබ සමග බෙදා හදා ගැනීමට අදහස් කරමු. ක්‍රීඩාවට ලැදි ඔබ මෙම අති සුවිශේෂී පැරා ක්‍රීඩකයා සමග සබැඳුණු මේ ලිපිය ආදරයෙන් වැළඳ ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

 

 

1) ඔබතුමා සහ ඔබේ පවුලේ සාමාජිකයින් ගැන හැඳින්වීමකින් අපි අපේ කතාව ආරම්භ කරමු.

 

මම පාලිත බණ්ඩාර. මම වසර 12ක පටන් යුධ හමුදාවේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවය කරනවා. අම්මා, තාත්තා එදා වගේම අදත් මා ළඟින් හිඳිමින් මට ශක්තියක් වෙනවා. ඒ වගේම මගේ බිරිඳ උදයංගනී කෝසලා මාගේ සියලු කටයුතු සඳහා නොමඳ සහයක් ලබාදෙනවා. මගේ එකම දියණියට දැන් වයස අවුරුදු 4ක් වෙනවා. මම අධ්‍යාපනය ලැබුවේ මිල්ලවාන මහා විද්‍යාලයෙන්. මමත් බිරිඳත් දරුවාත් දැන් ජීවත් වෙන්නේ මාතලේ පල්ලේගම ප්‍රදේශයේ.

 

 

2) ඔබ ක්‍රීඩා ක්ෂේත්‍රයට මුලින්ම පා තැබූ ආකාරය කෙටියෙන් විස්තර කළොත්?

 

මම පාසල් සමයේ සිටම දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙක්. යුධ හමුදාවට බැඳුණු පසුවත් මම දිගටම ක්‍රීඩාවේ යෙදුණා. ක්‍රීඩාවේ යෙදී සිටින අතරතුර සිදුවූ පාදයේ ආබාධයක් නිසා මගේ දණහිසෙන් ඉහළ කොටස අප්‍රාණික තත්ත්වයට පත් වුණා. නමුත් මම නිසි ප්‍රතිකාර කිරීමෙන් පසුවත් මගේ ක්‍රීඩාවට තිබුණු කැපවීම නැවැත්වූයේ නෑ. එවකට මගේ පුහුණුකරු W. ජයසේන මහතාගේ උපදෙස් පරිදි මම පැරා ක්‍රීඩා සඳහා අවධානය යොමු කළා. ඒ අනුව මම මුලින්ම යොමු වුනේ Sitting Volleyball ක්‍රීඩාව සමගයි. 2014 සිට ඉන් පසුව මළල ක්‍රීඩා සඳහා මා සතු වූ දක්ශතා හේතුවෙන් යගුලිය, හෙල්ල සහ කවපෙත්ත ඉසව් වලට යොමුවුණා.

 

 

3) ක්‍රීඩකයෙක් ලෙස ඔබතුමා ලබාගෙන ඇති ජයග්‍රහණ , මේ මොහොතේ සදහන් කීරිම වටිනවා!

 

මම පැරා ක්‍රීඩකයෙක් විදියට මගේ ගමන ආරම්භ කළේ 2014 වසරේදියි. එවකට යගුලිය දැමීමෙන් ලංකාවේ 8වන ස්ථානයේ පමණ සිටි මට නිසි පුහුණුවීම් වලින් පසු 2015 වනවිට තුන්වන ස්ථානය දක්වා පැමිණීමට හැකිවුණා. ඉන්පසු 2016 සිට මේ දක්වා සෑම අවුරුද්දකම පැවති ජාතික පැරා ක්‍රීඩා තරගාවලිවලදී යගුලිය දැමීමේ ඉසව්වෙන් රන් පදක්කම ලබා ගැනීම මම සමත් වුණා. 2018 වසරේ යගුලිය දැමීම සහ කවපෙත්ත විසිකිරීමේ ඉසව් සඳහා රන් පදක්කම් ද, හෙල්ල විසිකිරීමේ ඉසව්වට රිදී පදක්කමද දිනාගත් මම එම වසරේ හොඳම පැරා මළල ක්‍රීඩකයා වශයෙන් තේරී පත්වුණා. අන්තර්ජාතික තරගවලදී මම F42 කාණ්ඩයෙන් යගුලිය දැමීමේ ඉසව්වෙන් තරඟ වදිනවා. 2018 ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවති ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කම දිනාගත් මම 2019 ඩුබායිහි පැවති World Para Championship තරගාවලියේදී 8වන ස්ථානය දිනා ගත්තා. එලෙසම 2021 ඩුබායිහි පැවති Tassa Grandfit පැරා තරගාවලියේදී යගුලිය දැමීමේ තුන්වන ස්ථානය දිනාගැනීමට හැකිවුණා. එම දක්ශතා පදනම් කරගෙන 2021 ජපානයේ පැවැත්වීමට නියමිත පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියටත් මම සුදුසුකම් ලබා සිටිනවා.

 

 

4) ඕනෑම ක්‍රීඩකයෙකුට තම ක්‍රීඩා ජීවිතයේදී කරදර බාධක එන්න පුළුවන්. පැරා ක්‍රීඩකයෙක් විදියට ඔබ මුහුණදුන් බාධක මොනවාද? ඔබ ඒවාට සාර්ථකව මුහුණ දුන්නේ කොහොමද කියන දේ විස්තර කළොත් මෙම ලිපිය කියවන සැමට එය වැදගත් වනු ඇති.

 

පාසලේ පටන්ම ක්‍රීඩාවට යොමු වී සිටි මට මේ සිදුවුණු ආබාධය නිසා නැවත ක්‍රීඩාවට යොමුවීම බාධාවක් වනු ඇති බව බොහෝ දෙනා පැවසුවා. නමුත් නිසි ප්‍රතිකාර ක්‍රීමෙන් පසු එවකට මාගේ පුහුණුකරු සහ රෙජිමේන්තුවේ මගේ සහෝදරයින්ගේ දිරිමත් කිරීමත් මැදිහත්වීමත් සමගම පැරා ක්‍රීඩකයෙක් ලෙස මගේ ගමන ආරම්භ කිරීමට මට හැකි වුණා. නමුත් පැරා මළල ක්‍රීඩකයෙක් ලෙස පුහුණු වීම මට එතරම් පහසු වූයේ නෑ. මට මුල් කාලයේ පුහුණුකරුවෙක් නොමැති කමින් බොහෝ අපහසුවෙන් පුහුණුවීම් කටයුතු වල නිරත වීමට සිදු වුණා. නමුත් ඒ නිසා මම මානසික පසුබෑමකට ලක් වුණේ නෑ. මම දිගටම අන්තර්ජාලයේ ආධාර ඇතිව පුහුණුවීම්වල නිරත වුණා. අවසානයේ මට ආසියා පැරා ක්‍රීඩා උළෙලට සහභාගී වීමට මාස තුනකට පමණ පෙර පුහුණුකරුවෙක් ලැබුණා.

 

 

5) විශේෂ අවශ්‍යතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වර්තමානයේ සමාජයෙන් ලැබෙන සහයෝගය කොහොමද? එය ප්‍රමාණවත්ද?

 

ඇත්තටම සමාජයේ අප වැනි ක්‍රීඩකයින් පිළිබඳව හඳුනන පිරිස සාපේක්ෂව අඩුයි. නමුත් අප ක්‍රීඩාව ආරම්භ කළ කාලයට වඩා පිරිසක් මේ වනවිට අප සමග සිටිනවා. ඒ වගේම ජාතික මට්ටමේ ක්‍රීඩකයින්ට සමාජය තුළ ඇති වී තිබෙන කතාබහ පැරා ක්‍රීඩකයින් පිළිබඳවත් ඇතිවනවානම් පැරා ක්‍රීඩකයින්ගේ මානසිකත්වයට එය හොඳින් බලපානු ඇතැයි මම විශ්වාස කරනවා.

 


6) ඔබතුමා හිතන විදියට පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන පහසුකම් සහ සහයෝගය ප්‍රමාණවත්ද? එසේ නොමැතිනම් තවත් වර්ධනය විය යුතු දේවල් මොනවාද?

 

පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන භෞතික පහසුකම් සැලකුවොත්, ඒවා තවත් දියුණු විය යුතු බවයි මගේ අදහස. ක්‍රීඩාංගණවල පැරා ක්‍රීඩකයින්ට වෙන් වූ විශේෂ පුහුණු උපකරණ හෝ විශේෂිත වූ ව්‍යායාම උපකරණ නොමැතිවීම ලොකු අඩුපාඩුවක්. ඒ වගේම රෝද පුටුවලින් යන ක්‍රීඩකයින්ට පවා ඒවා නිසිපරිදි හසුරුවා ගැනීමට පහසුවන පරිදි මංතීරු ප්‍රධාන ක්‍රීඩාගාරවලවත් දක්නට නැහැ. පුහුණුකරුවන් පිළිබඳව සැලකුවහොත් ජාතික මට්ටමේ අප සමග සිටින පැරා ක්‍රීඩකයින්ට අවශ්‍ය පරිදි පුහුණුකරුවන් සිටියත් පළාත් මට්ටමින් ඒ සඳහා ඉතා අඩු අවධානයක් යොමුවීම කණගාටුවට කාරණයක්. පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් උචිත මට්ටමින් නවීන පහසුකම්වලින් යුත් ක්‍රීඩාගාරයක් බිහිවනවානම් එය අප පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැමට මහත් රුකුලක් වනු ඇති.

 

7) ඔබ ලබාගත් ජයග්‍රහණ බොහොමයක් අප සමග පැවසුවා. ඒ අතරින් ඔබට අමතක කළ නොහැකි විශේෂිතම වූ ජයග්‍රහණය කුමක්ද?

 

2018 වසරේ ඉන්දුනීසියාවේ ජකර්තාහි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී යගුලිය දැමීමෙන් මා ලබාගත් රිදී පදක්කම මගේ පළමු අන්තර්ජාතික ජයග්‍රහණය නිසා එය මට කිසිදිනක අමතක නොවන මාගේ විශේෂිතම ජයග්‍රහණය ලෙස සලකනවා.

 

 

8) මෙතරම් දිගු ගමනක් පැමිණීමට ඔබට ශක්තියක් වූ බොහෝ පිරිසක් ඉන්නවා ඇති. මේ අවස්ථාව ඔවුන්ව සිහිපත් කිරීමටයි.

 

පැරා ක්‍රීඩකයෙක් ලෙස පළමුව මාව උනන්දු කළේ එවකට යුධ හමුදා මාගේ බලඇණියේ පුහුණුකරු වූ W. ජයසේන මහතායි. එසේම පැරා ක්‍රීඩා සඳහා මට පුහුණුකාරීත්වය ලබා දුන් C.T. අනුරකුමාර සහ ප්‍රදීප් නිශාන්ත යන මහත්වරුන් ඉතා ආදරයෙන් සිහිපත් කළ යුතුයි. වර්තමානයේ මාගේ පුහුණුකරු වන ධනුෂ්ක ප්‍රභාත් මහතා මාගේ ජයග්‍රහණය වෙනුවෙන් නොමඳ වෙහෙසක් දරනවා. ඒ වගේම මාගේ පවුලේ සියලු දෙනා සෑමවිටම මා හට ශක්තියක් වෙමින් මා පසුපසින් සිටිනවා. ජාතික පැරා ඔලිම්පික් කමිටුව, ක්‍රීඩා අමාත්‍යාංශය, යුධ හමුදාව සහ මගේ රෙජිමේන්තුව මේ අවස්ථාවේ විශේෂයෙන්ම මතක් කළ යුතුයි.

 

 

9) මේ වසරේ ඔබ ලඟා කර ගැනීමට බලාපොරොත්තු වන ඉලක්කය කුමක්ද?

 

2021 පැරා ඔලිම්පික් තරඟාවලියට සහභාගී වී එහිදී ජයග්‍රහණයක් ලබා ගැනීම මගේ ප්‍රධානතම ඉලක්කයයි. පළමුව අවසන් 5 දෙනා තුළට ඇතුළත් වීමත් ඊට අමතරව පදක්කමක් කරා ගොස් මව්බිමටත් මාගේ රෙජිමේන්තුවටත් ගෞරවයක් අත් කරදීම මේ වසරේ මගේ බලාපොරොත්තුවයි.

 

 

10) වර්තමාන විශ්වවිද්‍යාල වලත් පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඉන්නවා. පරිණත පැරා ක්‍රීඩකයෙක් ලෙස ඔවුන්ට ඔබ දීමට කැමති උපදෙස කුමක්ද?

 

පැරා ක්‍රීඩකයින් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් ලෙස මා දකින්නේ මනස ශක්තිමත් කරගැනීමයි. සමහර පැරා ක්‍රීඩකයින් මම වගේ ක්‍රීඩාවේදී ආබාධයට ලක් වූ අය වෙන්න පුලුවන්. තවත් සමහර පිරිසක් ආබාධ සහිතවම ක්‍රීඩාවට යොමු වූවන් වෙන්නත් පුලුවන්. මොන ආකාරයේ කෙනෙක් වුණත් හැම අවස්ථාවකදීම වැදගත් වෙන්නේ සිත ශක්තිමත්ව පවත්වාගෙන අභියෝගවලට නොබියව මුහුණ දීමයි. පැරා ක්‍රීඩකයෙක්ට පැමිණිය හැකි අභියෝග සාමාන්‍ය ක්‍රීඩකයෙක්ට වඩා වැඩි විය හැකියි. මේ ක්‍රීඩාවේ දිගටම නිරත වී ඉන්නට නම් හොඳ මානසික ශක්තියක් මෙන්ම කැපවීම සහ ධෛර්‍යය තිබිය යුතුයි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් කියන්නෙ අභියෝග වලට හොඳින් මුහුණ දිය හැකි කෙනෙක්. ඉතින් ජීවිතයේ සිදුවන සුළු කඩාවැටීමක් ජීවිතයම කඩාවැටීමක් දක්වා යාමට ඉඩ නොදී එය ආශිර්වාදයක් කරගෙන ඉදිරියට යෑමයි අප කළ යුත්තේ. ඕනෑම මට්ටමක සිටින පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවකට අවශ්‍ය ශිල්පීය දැනුම ලබාදීමට මම ඇතුළු අප ජාතික තලයේ ඕනෑම පැරා ක්‍රීඩකයෙක් සූදානම්. අවශ්‍ය වන්නේ ඔබේ උනන්දුව සහ නොපසුබස්නා අධිෂ්ඨානය පමණයි.

පාලිත බණ්ඩාර මහතා විශ්ව විද්‍යාල පැරා ක්‍රීඩිකාවක් පිළිබඳව දුන් උදාහරණය මේ සමග එක් කිරීම මෙය කියවන ඔබට වැදගත් වනු ඇතැයි අපි සිතමු.

වෛද්‍ය ශිෂ්‍යාවක් වූ සමිතා සමන්මලී මහත්මිය 2008දී මුහුණදුන් අත්දැකීම විශ්ව විද්‍යලයීය පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැමට ඉතා වටිනා උදාහරණයකි. එවකට තෙවන වසර වෛද්‍ය සිසුවියක් වූ ඇය BMICH හි පැවති ප්‍රදර්ශනයක් නැරඹීමට ගොස් සිටි අවස්ථාවක ඇය සිටි අට්ටාලය කඩා වැටීමෙන් ඇගේ ඉනෙන් පහල කොටස පණ නැති වී ඇත. ඉන්පසු ජීවිත කාලයම රෝද පුටුවක ගත කිරීමට සිදුවුවත් ඇය තම වෛද්‍ය සිහිනයට හෝ ක්‍රීඩා ජීවිතයට එය බාධාවක් කරගත්තේ නැත. මාස 6ක් පමණ ඇඳක් මත වැතිර සිටින්නට සිදු වූ ඇය නැවත නැගී සිට තම උපාධිය සම්පූර්ණ කරගත්තාය. ඉන් නොනැවතුණු ඇය ඕස්ට්‍රේලියාවේදී තම පශ්චාත් උපාධි කටයුතු සිදු කළාය. පැරා ක්‍රීඩිකාවක් ලෙස ඔරු පැදීමේ තරග සඳහා ඉදිරිපත් වූ ඇය 2019 Asian Para Rowing Championship හිදී ලක් මාතාවට ලෝකඩ පදක්කමක් ලබා දීමට සමත් වීම අතිශය විශේෂිත වූ ජයග්‍රහණයකි. ඉතින් ඇගේ කතාව විශ්ව විද්‍යාලයීය පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මහඟු අත්වැලක් වනු ඇත.

 

අප කතාබහ මෙලෙස අවසානයක් කරා එළැඹුණු අතර ඔහු අප සමග නැවත නැවතත් කියා සිටියේ ජීවිතයේ එක් පරාජයක් නිසා ජීවිතය ආපසු හැරවීමට ඉඩ ලබානොදී දිරියෙන් මුහුණ දිය යුතු බවයි. ඔබට ලැබෙන අභියෝග ආශිර්වාදයක් කරගෙන ඉදිරියට යාමට ඔබේ මනස ශක්තිමත් කරගත යුතු බව ඔහු දැඩි විශ්වාසයෙන් යුතුව අපට දුන් උපදෙසයි. ඉතින් ඔබේ සියලු කටයුතු සාර්ථක වී පුහුණුවීම් සාර්ථක ලෙස සිදු කරගෙන නුදුරු අනාගතයේදීම ලක්මව රනින් සරසන්නට වරම් ලැබේයැයි MoraSpirit අපි සැවොම ඔබට සුබ පැතුම් එක්කර සිටිමු.

 

ජීවිතයේ ඔබ ලබන එක් පරාජයක් යනු ඔබ ජීවිතය ආපසු හැරවීමක් හෝ ජීවිතයම විනාශ වී යාමක් නොවේ. ප්‍රශ්න වලට දිරියෙන් මුහුණ දෙමු. බාධකවලට ශක්තිමත්ව මුහුණ දී අපගේ ඉලක්ක ජයගනිමු. දහසකුත් එකක් බාධක මැද ජීවිතය ජයගත් මේ දිරිය මිනිසාගේ කතාව ඔබ අප සැමට මහඟු උපදේශයක් වනු නොඅනුමානය. කිසිවෙකු සදාකාලික පරාජිතයින් නොවේ. සාර්ථකත්වයට අවශ්‍ය වන්නේ ආත්ම විශ්වාසය, කැපවීම සහ ධෛර්‍යය පමණි.

 


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments