පේරෙ හා සබරෙ සියලු අනාවැකි පරදා කිරුල වෙතට...

පේරෙ හා සබරෙ සියලු අනාවැකි පරදා කිරුල වෙතට...

SLUG තරගාවලිය කියන්නේ මේ දිනවල ලංකාව පුරා විශ්ව විද්‍යාල අතර කතාවෙන ඉතාමත් උණුසුම් මාතෘකාවක්. වසර තුනකට වරක් පැවැත්වෙන නිසා විශ්ව විද්‍යාල සිසුන් අතර මෙම තරගාවලිය ඉතාමත් සුවිශේෂි තැනක් ගන්නවා. ඒ නිසාම සෑම විශ්ව විද්‍යාලයක්ම මේ තරගාවලියට ඉතාම කැපවීමෙන් , උනන්දුවෙන් පුරුදු පුහුණු වෙනවා. විශ්ව විද්‍යාල කාල සීමාවේදී බොහෝ විට එක් වරක් පමණක් සහභාගි වීමට වාසනාව ලැබෙන මෙම තරගාවලිය විශ්ව විද්‍යාල මට්ටමෙන් ක්‍රීඩකයෙකුට ලබන්න පුලුවන් වටිනාම අවස්ථාව විදියට දක්වන්න පුලුවන්. මෙම අති විශාල තරගාවලියේ එක් ක්‍රීඩා ඉසව්වක් වන හොකී තරගාවලිය මෙමස 2,3,4 දිනයන්හිදී උයන්වත්ත ක්‍රීඩාංගනයේදී අති සාර්තක අන්දමින් පැවැත්වුණා.

              මූලික තරග වට වලදී ජපුරයන් හා රජරට ඉතාමත් දක්ෂ ලෙස ඔවුන්ගේ පිති හරඹයෙන් ඔවුන්ගේ ප්‍රතිවාදීන්ට තියුණු තරගයක් දෙන ආකාරය කාටත් දැකගන්නට ලැබුණා. ඔවුන් දැක්වූ දස්කම් සමග මෙවර හොකී කිරුළ ජපුරයන් හෝ රජරට සතුකර ගනී යැයි බොහෝ දෙනාගේ විශ්වාසය වුණා. නමුත් ක්‍රීඩාවක අවිනිශ්චිත බව කාට කාටත් මතක් කරමින් අවසන් දිනයේ සියලුම අනාවැකි උඩු යටිකුරු කර පේරා සහ සබරේ ඉදිරියට ආවෙ ක්‍රීඩා රසිකයන් බලාපොරොත්තු නොවූ ආකාරයටයි. මූලික තරග වට වලදී ජපුර සහ රජරට, පිටියේ ඒකාධිපත්‍යය පතුරා ගෙන සිටියත් අවසන් තරග වටයේදී පිරිමි අංශයෙන් ශූරතාවය දිනා ගත්තේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයයි. කාන්තා අංශයෙන් ශූරතාවය දිනාගත්තේ සබරගමුව විශ්ව විද්‍යාලයයි. ක්‍රීඩාවේ අවිනිශ්චිතභාවය මනා පසක් කරදුන් උදාහරණයක් විදියට මෙවර SLUG හොකී තරගාවලිය දක්වන්නට පුලුවන්.

              කාන්තා අංශයෙන් අවසන් පූර්ව වටය සදහා තේරි පත්වුනේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, සබරගමුව විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය සහ යාපනය විශ්ව විද්‍යාලයයි. ඉන් අවසන් වටයට තරග කරන්න තේරුණේ සබරගමුව විශ්ව විද්‍යාලය සමග ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයි. ඒ අනුව කාන්තා අංශයේ ශූරතාවය 02 ට 01 ලෙස ලබාගෙන සබරෙ හිමි කරගත්තා. දෙවන ස්ථානය ජපුරටත් තුන්වන ස්ථානය කොළඹටත් හිමිවුණා. පිරිමි අංශයෙන් අවසන් පූර්ව වටය සදහා තේරි පත්වුනේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය, රුහුණ විශ්ව විද්‍යාලය සහ රජරට විශ්ව විද්‍යාලයයි. ඉන් අවසන් වටයට තරග කරන්න තේරුණේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමග කොළඹ විශ්ව විද්‍යාලයයි. ඒ අනුව පිරිමි අංශයේ ශූරතාවය පේරෙ හිමිකරගත්තේ 01 ට 00 ලෙසයි. දෙවන ස්ථානය කොළඹටත් තුන්වන ස්ථානය රජරටටත් හිමිවුණා.

              පසුගිය දිනවල පැවති අන්තර්-විශ්ව විද්‍යාලීය තරගාවලියේදී හොකී ක්‍රීඩාවෙන් පිරිමි අංශයෙන් ශූරතාවය ලබාගත්තේ රජරට විශ්ව විද්‍යාලයයි. කාන්තා අංශයෙන් ජයග්‍රහණය කලේ මොරටුව විශ්ව විද්‍යාලයයි. පිරිමි අංශයෙන් අවසන් වටයේදී සටන් කලේ රජරට විශ්ව විද්‍යාලය සමග ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයි. කාන්තා අංශයෙන් අවසන් වටයේදී සටන් කලේ මොරටුව විශ්ව විද්‍යාලය සමග කැලණිය විශ්ව විද්‍යාලයයි. මෙම තරගාවලියේදී මොරටුව විශ්ව විද්‍යාලය දැක්වූ දස්කම් සමග මෝරා රසිකයන් ඉතාමත් ඉහල බලාපොරොත්තු තබාගෙන සිටියත් මෙවර SLUG තරගාවලියේ හොකී ක්‍රීඩාවෙන් මොරටුවට කිසිදු ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැකි වීම ඉතාමත් කණගාටුවට කරුණක්.

              කෙසේ නමුත් සියලුම විශ්ව විද්‍යාල ඉතාමත් අධිෂ්ඨානශීලිව තරග කල බවත් එකිනෙකාට කරට කර තරගයක් දුන් බවත් මනාව දක්නට ලැබුණා. එනිසා මෙවර හොකී තරගාවලිය රසිකයන්ට නම් ඉතාමත් සිත්ගන්නා සුළු වූවක් බව නොකිවමනාය. අවසන් වශයෙන් මෙවර SLUG තරගාවලියේ ක්‍රීඩාකල සියලුම හොකී ක්‍රීඩකයන්ටත් විශේෂයෙන්ම මෙවර SLUG තරගාවලියේදී හොකී වීරයන් විදියට කිරුලු පැලදූ සබරගමුව විශ්ව විද්‍යාලයේ කාන්තා හොකී කණ්ඩායමටත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පිරිමි හොකී කණ්ඩායමටත් MoraSpirit අපි උණුසුම් සුබ පැතුම් එක් කරනවා.


        


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments