සබරගමුව අත්පන්දු පිටියේ කිරුළ දරයි

සබරගමුව අත්පන්දු පිටියේ කිරුළ දරයි

කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගණය උණුසුම් කරමින් දින පහක් පුරාවට දිග හැරුණු SLUG-XIII අන්තර් විශ්වවිද්‍යාලයී අත්පන්දු තරග මාලාවේ නිමාව සනිටුහන් වූයේ සමස්ථ කාන්තා සහ පිරිමි ශූරතාවයන් සබරගමු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් අත්පත් කරගැනීමෙන් අනතුරුවය. මෙලෙසින් සබරගමු ශූරයින් SLUG අත්පන්දු වංශකතාවට නව පිටුවක් එකතු කිරීමට සමත් විය.

විශ්වවිද්‍යාල 14 ක් කාණ්ඩ 4ක් (A, B, C, D) ඔස්සේ දින පහක් පුරාවට තරග වට 26 ක් යටතේ තරග වැදුණි. මූලික තරග වට 18 කින් ද අර්ධ අවසන් පූර්ව වට 4 කින් ද අනතුරුව අත්පන්දු තරග මාලවේ සිව් වන දිනයේදී අවසන් පූර්ව වට ක්‍රියාත්මක විය.

කාන්තා අවසන් පූර්ව වටය තුල දී කැළණිය සහ සබරගමු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩිකාවන් තම ප්‍රතිවාදීන් වූ පිළිවෙළින් කොළඹ සහ රුහුණු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩිකාවන් පරයා වට 3-0 ක් ලෙස පහසු ජයක් ලබමින් අවසන් මහා තරගයේ තම දස්කම් පෙන්වීමට වරම් ලැබීය. එලෙසින්ම පිරිමි අවසන් පූර්ව වටය තුල දී සබරගමු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයින් වට 3-0 ක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තු සුනු විසුනු කරමින් ජය ලබාගත් අතර උණුසුම් තරග වට 5 ක අවසානයේ වයඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයින් තම ප්‍රතීවාදීන් වූ කැලණිය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයින් අභිබවා අවසන් මහා තරගයේ තරග වැදීමට වරම් ලැබීය. 

අත්පන්දු තරග මාලාවේ පස්වන දිනයේ සමාරම්භයත් සමග SLUG-XII අත්පන්දු තරඟාවලියේ තෙවන ස්ථානය වෙනුවෙන් රුහුණු සහ කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩිකාවන් ද මොරටුව සහ කැලණිය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයින් ද සටන් වැදුණි. එහිදී කාන්තා තෙවන ස්ථානය කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩිකාවන් විසින් අත් පත් කරගත් අතර පිරිමි තෙවන ස්ථානය කැලණිය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයින් විසින් තම ග්‍රහණයට නතු කරගත්තේ වට 3-0 ක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයින් හමුවේ පහසු ජයක් ලබමිනි.  

පස්වන දිනයේ අපර භාගයේ දී අවසන් මහා තරගයේ සමාරම්භය උණුසුම් කරමින් වයඹ සහ සබරගමු කාන්තා කණ්ඩායම් එකිනෙකා පරයමින් උරෙනුර ගැටෙමින් ඉතාමත් උණුසුම් තරග වට 5ක් ඔස්සේ තරග වැදුණි. පළමු වටය තුලදී 25-14 ක් ලෙස පහසු ජයක් ලබා ගැනීමට සබරගමු කණ්ඩායම සමත් වුවද දෙවන වටය තුල දී ඉතාමත් උද්වේගකර අන්දමින් සටන් වැදුණු කැලණි ක්‍රීඩිකාවන් 28-26 ක් ලෙස එම වටයේ ජය අත්පත් කරගනු ලැබීය.තුන්වන වටයේදී ද නැවත වරක් ජය පැන් බුක්ති විඳීමට කැලණි කණ්ඩායම සමත් වූයේ 25-22 ක් ලෙස ලකුණු සටහන් කරමිනි. කෙසේ වෙතත් දැඩි අධිෂ්ඨානයකින් සටන් වැදුණු සබරගමු ක්‍රීඩිකාවන් සිව්වන සහ පස්වන වට තුලදී 25-16 ක් සහ 15-10 ක් ලෙස ලකුණු සටහන් කරමින් සමස්ත අත්පන්දු ශූරතාවය ජයගත්තේ ප්‍රේක්ෂක සිත් මවිත කරවමිනි. ඒ අනුව අනුශූරතාවය කැලණි විශ්වවිද්‍යාලයීය ක්‍රීඩිකාවන්ට හිමි විය.

පිරිමි අවසන් වටයේ දී වයඹ සහ සබරගමු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයින් උද්වේගකර තරගයක් අවසානය දක්වා පවත්වාගෙන යාමට සමත් විය. ඉතාමත් උණුසුම් තරග වට හතරකින් සමන්විත වූ පිරිමි අවසන් මහා තරගයේ පළමු වටය කරට කර තරග වැදීමෙන් අනතුරුව 28-26 ලෙස ජය ගැනීමට ප්‍රභල කණ්ඩායමක් වූ වයඹ ක්‍රීඩකයින් සමත් විය. ඉදිරි වට තුන ම 25-19, 26-24, සහ 29-27 ලෙස ලකුණු පුවරුවේ ලකුණු සටහන් කරමින් උණුසුම් තරගයක අවසානයේ විශිෂ්ට ජයක් ලබා ගැනීමට සබරගමු ක්‍රීඩකයින් සමත් විය. එලෙසින් සබරගමු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයින් සමස්ත අත්පන්දු ශූරතාවය තමන් සතුකර ගැනීමට සමත් වූයේ අනුශූරතාවට වයඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයින්ට ලබා දෙමිනි.

එලෙසින් නිමා වූ SLUG-XIII 2019 අත්පන්දු තරග මාලාවේ ශූරතා සහ අනුශූරතා හිමිකරගත් කාන්තා සහ පිරිමි කණ්ඩායම් වලට MoraSpirit අපගේ උණුසුම් සුභ පැතුම්.   


Comments