කරාතේ වැඩි ගෞරවය සබරෙට සහ කැලණියට

කරාතේ වැඩි ගෞරවය සබරෙට සහ කැලණියට

අන්තර් විශ්ව විද්‍යාලීය ක්‍රීඩා උළෙලේ තවත් එක් විශේෂ ක්‍රීඩා අංගයක් වන කරාතේ ක්‍රීඩාව පුරා දින තුනක් පැවැත්වීමෙන් පසු නිමාවට පත්විය. ඒ සබරගමුව සහ කැලණි කණ්ඩායම් වලට වැඩි ගෞරවයන් අත්කර දෙමිනි. මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලය සාඩම්බර සත්කාරකත්වය ලබාදුනි.

තරඟ වට ආරම්භ වූයේ දෙවන දිනයේ සිටයි. එම දිනයේ කාත තරඟ පැවැත්වූ අතර එය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශිල්පීය දක්ෂතා ප්‍රදර්ශනය කරන තරඟ ඉසව්වක් විය. කාත වලදි සිදුවන්නේ මවාගත් ප්‍රතිවාදියෙක් සමග සටන් කරන ආකාරය දක්ෂ කරාතේ ශිල්ප ක්‍රම භාවිතා කර පෙන්වීමයි. කණ්ඩායම් සහ ඒකල යන දෙකොට්ඨාසයෙන්ම කාත තරඟ පැවැත්වුණි. පළමු දිනය නිමා වූයේ දිනයේ සියලු රන් සළකුණු කැළණිය විශ්ව විද්‍යාලීය නාමය ඉදිරියේ සනිටුහන් කරමිනි. ඒ පිරිමි සහ කාන්තා ඉසව්වන් දෙකෙහිම තනි සහ එකල රන් පදක්කම් තුනක්ම ලබා ගනිමින්ය.

තෙවන දිනය වෙන්වූයේ සියල්ලන් නොඉවසිල්ලෙන් බලා සිටි කුමිතෙ ඉසව්වටයි. එහිදී පෙර දිනය මෙන් නොව වඩා තරඟකාරී සහ ප්‍රහාරාත්මක විලාශයක් ප්‍රදර්ශනය විය. විශේෂයෙන්ම අවසන් සහ අර්ධ අවසන් තරඟ වලදී ඉතා තියුණු තරඟයන් දැක ගැනීමට ලැබුණි.

එකම අවස්ථාවේ කාන්තා සහ පිරිමි තරඟ දෙක බැගින් එකිනෙකට සමාන්තරව පිටියේ පැවැත්වුණු අතර පිරිමි තරඟ වඩාත් ප්‍රවේගකාරී වූ අතර ඇතැම් කාන්තා තරඟ වට පිරිමි අංශයේ ඉසව්වන්ටද වඩා වැඩියෙන් ප්‍රේක්ෂක අවධානය දිනා ගන්නා ලදී.

මේ අතරින් අවසන් මහා තරඟය සුවිශේෂී විය. එහිදී වඩාත් තියුණු සටන් දැකගත හැකිවිය. කාන්තා කිලෝග්‍රෑම් 55 ට අඩු බර පන්තිය යටතේ පැවති අවසාන මහා තරඟය කරට කර සටනක් විය. එහිදී තරඟ කාලය අවසන් වන විට ක්‍රීඩිකාවන් දෙදෙනාම ලකුණු අට බැගින් ලබාගෙන සිටි අතර එහිදී කරාටේ ක්‍රීඩාවේ නීති රීති අනුව ලකුණු වාර්තා කිරීම ආරම්භ කිරීම සලකා බලා තරඟ ජය ලබා දෙන ලදී. එසේම ඇතැම් තරඟ වට වල තරඟය මැද දී ප්‍රහාර සහ ඇද වැටීම් නිසා ඉතා අපහසු තත්ත්වයන් වල සිටියදී වුව ද තම සිතේ ධෛර්ය වඩවා ගනිමින් තම කණ්ඩායම වෙනුවෙන් නැවත තරඟයට අවතීර්ණ වී වී ජය ලබා ගත් අවස්ථාද පැවතුණි. එසේම ඇතැම් ක්‍රීඩකයන්ගේ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම් පවා ප්‍රීති ඝෝෂා පැවැත්වීම කැපී පෙනෙන දසුනක් විය.

තරඟ කාලය පුරා ඉතා උද්‍යෝගිමත් ව සිය විශ්ව විද්‍යාල වලට සහයෝගය පළ කිරීමට පැමිණ සිටි ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ ප්‍රීති ප්‍රීතිඝෝෂා තරඟය ආරම්භයේ සිටම අවසානය දක්වාම එකසේ එක සේ ගලා ගියේය. සියලු තරඟ අවසානයේ ජයග්‍රාහකයන්ට සහතික පත් ප්‍රදානයෙන් පසුව සියල්ලන් බලා සිටි කුසලාන ප්‍රදානය පැවතුණි. එහිදී කාන්තා අංශයේ කරාතේ ක්‍රීඩාව සඳහා සමස්ථ ශූරතාවය සබරගමු විශ්ව විද්‍යාලයට හිමිවිය. විශේෂත්වය වන්නේ සෑම කාන්තා කරාතේ ඉසව්වකදීම ඔවුන්ට කුමන හෝ ජයක් ලබා ගැනීමට හැකියාව ලැබීමයි. කාන්තා අංශයේ දෙවන ස්ථානය කැළණිය විශ්වවිද්‍යාලයට ද තෙවන ස්ථානය කොළඹ විශ්ව විද්‍යාලයට හිමිවුණු අතර පිරිමි ශූරතාවය කැලණිය විශ්ව විද්‍යාලය විසින්ද අනුශූරතාවය සබරගමුව විශ්වවිද්‍යාලය විසින්ද, තෙවන ස්ථානය කොළඹ විශ්වවිද්‍යාලය විසින්ද දිනාගනු ලැබීය.

කාත ඉසව්වේ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් බෙදී ගිය ආකාරය:

කාත කණ්ඩායම් (පිරිමි)

1 - කැලණිය විශ්වවිද්‍යාලය

2 - කොළඹ විශ්වවිද්‍යාලය

3 - සබරගමුව විශ්වවිද්‍යාලය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

කාත කණ්ඩායම් (කාන්තා)

1- කැලණිය විශ්වවිද්‍යාලය

2 - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

3 - සබරගමුව විශ්වවිද්‍යාලය - කොළඹ විශ්වවිද්‍යාලය

පිරිමි කාත (ඒකල)

1 - එස්. ටී. වී. ජයතිලක - කොළඹ විශ්වවිද්‍යාලය

2 - එම්. ආර්. පී. ආර්. පී. රත්නවීර - පේරාදෙණිය විශ්වවිද්‍යාලය

3 - යූ. ජී. ටී. එස්.බී. ගුණසේකර - මොරටුව විශ්වවිද්‍යාලය

කාන්තා කාත (ඒකල)

1 - එච්. එම්. එල්. වී. අමුණුගම - කැලණිය විශ්වවිද්‍යාලය

2 - පී. එම්. එල්. වය්. ඒකනායක - කැලණිය විශ්වවිද්‍යාලය

3 - අංජලිකා දියවඩන - මොරටුව විශ්වවිද්‍යාලය

කුමිතෙ ඉසව්වේ කාන්තා සහ පිරිමි රන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්:

කාන්තා

කිලෝග්‍රෑම් 45 පහළ - එල්. බී. එල්. පමාලි - රුහුණු විශ්වවිද්‍යාලය

කිලෝග්‍රෑම් 50 පහළ - වය්. ඒ. ඩී. සමෝදි සුපුන්සරා - කොළඹ විශ්වවිද්‍යාලය

කිලෝග්‍රෑම් 55 පහළ - පී. එම්. එල්. වය්. ඒකනායක - කැලණිය විශ්වවිද්‍යාලය

කිලෝග්‍රෑම් 61 පහළ - එස්. එම්. එච්. නිශාමලී - සබරගමුව විශ්වවිද්‍යාලය

කිලෝග්‍රෑම් 68 පහළ - ඩබ්ලිව්. එම්. ජී. සෙව්වන්දි - සබරගමුව විශ්වවිද්‍යාලය

කිලෝග්‍රෑම් 68 ඉහළ - ඒ. අනෝජා - නැගෙනහිර විශ්වවිද්‍යාලය

පිරිමි

කිලෝග්‍රෑම් 50 පහළ - ආර්. ආර්. පී. ඩී. රහවිට - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

කිලෝග්‍රෑම් 55 පහළ - ආර්. කේ. එම්. හස්නත්කන් - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

කිලෝග්‍රෑම් 60 පහළ - ඊ. ජී. ඩී. එන්. උදාර - සබරගමුව විශ්වවිද්‍යාලය

කිලෝග්‍රෑම් 67 පහළ - එස්. ඩී. මෙන්ඩිස් - වව්නියාව විශ්වවිද්‍යාලය

කිලෝග්‍රෑම් 75 පහළ - එන්. එස්. ජයසුන්දර - පේරාදෙණිය විශ්වවිද්‍යාලය

කිලෝග්‍රෑම් 84 පහළ - කේ. ටී. ඒ.අය්. පෙරේරා - කැලණිය විශ්වවිද්‍යාලය

කිලෝග්‍රෑම් 84 ඉහළ - එච්. එම්. ඒ. එම්. ජයශාන්ත - සබරගමුව විශ්වවිද්‍යාලය

තෙදින අවසානයේ ත්‍යාග ප්‍රධානයෙන් පසු ජයඝෝෂා මෙන්ම බලාපොරොත්තු කඩවූ මුහුණ ද ඒ හා සමාන ගණනක් දක්නට ලැබුණි. සිදුවූ අතපසුවීම් මගහරවා ගනිමින් හා මෙවර දැක්වූ දක්ෂතා තවදුරටත් වැඩි දියුණු කරගනිමින් මීලඟ ඉසව්වන්හිදී සියලු කරාතේ ශූරයින් හට තවත් විශිෂ්ට ජයග්‍රහණයන් ලබාගැනීමට හැකියාව ලැබේවායි MoraSpirit අපි ප්‍රාර්ථනා කරමු.



Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments