දක්ශතාවෙන් වාසනාවට අභියෝග කළ මැදි දුර ධාවන ශූරීය

දක්ශතාවෙන් වාසනාවට අභියෝග කළ මැදි දුර ධාවන ශූරීය

1890 ග්‍රීසියේ ඇතෑන්ස් නුවරින් ඇරැඹි නූතන ඔලිම්පික් තරගාවලිය ලොව පුරා විසිරුන සුවහසක් වූ මළල ක්‍රීඩකයින් ගේ ක්‍රීඩා දිවියේ විශාලතම සිහිනයයි. ලොව පුරා පැවති වසංගත තත්වය සමග ආරම්භය මඳක් ප්‍රමාද වූ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා මෙවරත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හැකියාවන්ගෙන් පරිපූර්ණ විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් එක්වී ඇත. ඒ අතරින් ආරාධිත ක්‍රීඩිකාවක් ලෙස අවතීර්ණ වන ශ්‍රී ලංකා මැදි දුර ධාවන වාර්තා පොත් අලුත් කළ නිමාලි ලියනාරච්චිගේ ටෝකියෝ සිහිනය මෙසේ ගෙනහැර දක්වමු.

 

දකුණු පළාතේ සූරියවැව ප්‍රදේශයේ උපත ලබන ඇය වැවේගම කණිෂ්ඨ විද්‍යාලයෙන් තම මලල ක්‍රීඩා ශිල්පයට අත්පොත් තබන අතර එහිදී ඇය මීටර 500 හා මීටර 800 ධාවන ඉසව්වන්හි කැපී පෙනෙන දස්කම් දක්වන්නේ මැදි දුර ධාවන ශූරියක් වීමේ අනාගත සලකුණු පෙන්වමිනි.

 

ඉන් අනතුරුව මීටර් 500 හා මීටර් 800 තම ප්‍රධාන ක්‍රීඩා ඉසවු බවට පත්කරගන්නා නිමාලි දේශිය තරඟාවලි අතික්‍රමණය කරමින් අන්තර්ජාතික මට්ටම කරා යොමුවන අතර 2015 වසරේ ඇය ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වන අතර තම අධිෂ්ඨානශීලී බව සහ කැපවීම මනාව ප්‍රකට කරමින් 2017 ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 800 ඉසවුව ජයගනිමින් රන් පදක්කම ඉදිරියේ ශ්‍රී ලංකා නාමය සනිටුවහන් කළාය.

 

ජාතික තලයේ තම විශිෂ්ඨත්වය විදහා පාමින් නිමාලි 2016 වසරේදී මීටර් 800 කාන්තා ඉසව්වේ එවකට ශ්‍රී ලංකා වාර්තාව පිහිටවූ අතර 2019 වසරේදී ඇය විසින් මීටර් 1500 කාන්තා ඉසව්වේ වර්තමාන ශ්‍රී ලංකා වාර්තාව පිහිටවනු ලැබීය. මැදි දුර ඉසව් අඩු ජයග්‍රහණ ලබමින් තරමක් පසුගාමී වී තිබූ අවධියක සියළු බාධක අභිබවමින් තම ඉලක්ක කරා ගමන්ගත් ඇයගේ මෙම ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ හමුවේ එය ශ්‍රී ලංකාව පදක්කම් වලින් සරසන ඉසවුවක් බවට පත් විය.

 

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල්වරියක් ලෙසින්ද වර්තමානයේ සේවය කරනු ලබන ඇය 2019 වසරේ චීනයේ පැවති ලෝක ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරඟාවලියේදී මීටර් 800 කාන්තා ඉසව්වෙන් දෙවන ස්ථානය දිනා ගනිමින් මෙරටට රිදී පදක්කමක් හිමිකර දීම ඇයගේ තවත් සුවිශේෂී දස්කමකි.

 

මේ අතර පසුගියදා ඉන්දියාවේ පාටියාලා හිදී නිමාවට පත්වූ 60 වන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලිය ඇයට ඔලිම්පික් වරම් හිමිකර දුන් හැරවුම් ලක්ෂ්‍යය බවට පත්විය. එහිදී ඇය කාන්තා මීටර් 800 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමත් සමගම ඔලිම්පික් තරඟාවලිය සඳහා මීටර් 800 කාන්තා ඉසවුව සඳහා ආරාධිත ක්‍රීඩිකාවක් ලෙස ජාතික මලල ක්‍රීඩා සංගමය විසින් ඇයව නම්කරනු ලැබුවේ ඒ් වන විට සුදුසුකම් ලැබීමට නියමිතව සිටි නිලානි රත්නායක හට අවාසනාවන්ත ලෙස සුදුසුකම් සපුරාලීමට නොහැකි වීම හේතුවෙනි.

 

ක්‍රීඩාවේ මිහිරි අමිහිරි මතක ගොන්නක් කැටුව දුෂ්කර වූ මාවතක් ඔස්සේ ඔලිම්පික් සිහිනය මුදුන්පත් කරගත් මෙම සුපිරි මැදි දුර ධාවන ශූරියට මෙවර ටෝකියෝ ඔලිම්පික් උළලේදී මීටර් 800 ඉසවුවෙන් ලක් මාතාව රනින් බබළවන්නට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවායි Moraspirit අපි ප්‍රාර්ථනා කරමු.

 


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments