ක්‍රීඩාව සමගින් සමබර වන ජීවිතයේ සුපර් ඕවරය

ක්‍රීඩාව සමගින් සමබර වන ජීවිතයේ සුපර් ඕවරය

“ෂඩාබ් ඛාන්ට එරෙහිව සෞරබ් නේත්‍රවල්කාර්. මෙය ඉතිහාස ගතවනු ඇත! ඇමෙරිකා එක්සත් ජනපදය සිය සුපිරි ඕවරයේ දී පකිස්තානයට එරෙහිව ජයගත්තේය. මෙය අදහාගත නොහැකි අද්විතීය ජයග්‍රහණයක්!”

විස්තර විචාරකයන් සෞරබ්ගේ දක්ෂතා එසේ අගයද්දී,

“පූර්ණකාලීන මෘදුකාංග ඉංජින්නෙරු, අර්ධ කාලීන ක්‍රිකට් ක්‍රීඩක සෞරබ් නේත්‍රවල්කාර්” යන වදන සමාජ මාධ්‍ය කළඹන්නට විය. සැම දෙනාගේම අවදානයට ලක් වූ දෙයක් වන්නේ සෞරබ් සිය රැකියාව සමඟ ක්‍රීඩා ජීවිතය සමබරව පවත්වා ගැනීමයි.

වර්තමාන තරඟකාරී ලෝකයේ ක්‍රීඩාව සමඟින් අධ්‍යාපනය සහ වෘත්තිය ජීවිතය සමබරව පවත්වා ගැනීමේ අභියෝගයට බොහෝ ක්‍රීඩකයන් මුහුණ දෙද්දී, සෞරබ් නේත්‍රවල්කාර්ගේ කතාව ක්‍රීඩා ජීවිතය සහ වෘත්තීය ජීවිතය සමතුලිතව පවත්වා ගනිමින් විශිෂ්ටත්වය ළඟා කරගැනීමට කදිම නිදසුනකි.

එසේ නම් සෞරබ්ගේ කතාව සමඟින් ක්‍රීඩාව හා ජීවිතය සමබරව පවත්වා ගැනීමේ රහස් සොයා බලමු.

සෞරබ් නේත්‍රවල්කාර්ගේ කතාව

1991 ඔක්තෝබර් මස 16 වන දින ඉන්දියාවේ මුම්බායි හි උපත ලද සෞරබ්, ඉන්දියාවේ සර්දාර් පටෙල් තාක්ෂණ ආයතනයෙන් සිය ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කර වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපදයේ කෝනල් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී, එහිදී පරිගණක විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හැදෑරීය.

ඔහුගේ ක්‍රිකට් ගමන ඉන්දියාවේ දී ආරම්භ වූ අතර, ඔහු මුම්බායි ක්‍රිකට් සමාජය හා 19 න් පහළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් කෙළිබිමේ දස්කම් දක්වන්නට විය. 2010 U-19 ලෝක කුසලානයේ දී ඉන්දීය කණ්ඩායම නියෝජනය ඔහු, එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා විය. මෙම විශිෂ්ට කඩුලුලාභියා මතු දිනක ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියාවට එදිරිව කඩුලු රැස් කරනු ඇතැයි එදින කිසිවෙකු නොසිතන්නට ඇත.



"නේත්‍රවල්කාර්ගේ සුපිරි දවාගැනීමක්. එය විරාට් කෝලිව පළමු පන්දුවෙන්ම දවාගත් විශිෂ්ට කඩුල්ලක්”

සෞරබ් නේත්‍රවල්කාර් වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන අතරම ඔරකල් තාක්ෂණික කාර්යය මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි.

වෘත්තිය ජීවිතය සමග ක්‍රීඩා ජීවිතය සමබර කිරීමේ දී පීඩනය කළමනාකරණය පිළිබඳව අදහස් දක්වන සෞරබ් පවසන්නේ,



"මට කවදාවත් ඒ පීඩනය දැනිලා නැහැ. ඔයා යම් වැඩකට ආදරය කරන විට, ඒක කිසි විටෙකත් ඔයාට රැකියාවක් නොවේ. ඒ නිසා මම පිටියේ ඉන්න කොට පන්දු යවන්න කැමතියි, පිතිකරුවෙක්ව දවා ගන්න උත්සාහ කරනවා. මම කේතකරණය (Coding) කරන විට, මම එය කිරීමට කැමති නිසා එයත් කිසි විටෙකත් වැඩ ලෙස දැනෙන්නේ නෑ”

ඔබ කරන දෙයට ආදරය කරන්න.

"ඔබ කරන දෙයට ආදරය කරන්න" යනු සමබර ජීවිතයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රබල මන්ත්‍රයකි. ඔබේ ආසාවන් සමඟ ගැළපෙන රැකියාවක නිරත වීමෙන් ආතතිය අඩු කර ඔබේ යහපැවැත්ම වැඩි දියුණු කර ගත හැකිය.

 

අධ්‍යයනවලින් පෙනී යන්නේ තම රැකියාවට ආදරය කරන පුද්ගලයින් ඉහළ මට්ටමේ රැකියා තෘප්තිය, ඵලදායිතාව වැඩි කිරීම සහ වඩා හොඳ මානසික සෞඛ්‍ය වාර්තා කරන බවයි (Journal of Occupational Health Psychology, 2015).

 

ක්‍රීඩාව අධ්‍යාපනික ජීවිතයේ සමබරතාව පවත්වා ගැනීමට බාධාවක් නොවේ.

 

ක්‍රීඩා වලට සහභාගී වීම අවදානය, මතකය සහ ගැටළු විසඳීමේ කුසලතා වැනි සංජානන ක්‍රියාකාරකම් වැඩි දියුණු කරන බව අධ්‍යනයන් මඟින් පෙන්වා දී ඇත.

 

ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදී සිටින සිසුන් ඔවුන්ගේ සම වයසේ මිතුරන්ට වඩා අධ්‍යාපනික වශයෙන් දක්ෂතා පෙන්වයි. (Journal of School Health, 2014).

 

ශාරීරික ක්‍රියාකාරකම්වලට සහභාගී වන විද්‍යාල සිසුන්ට ඉහළ GPA අගයන් සහ වඩා හොඳ දරා ගැනීමේ හැකියාවක් ඇත. (Journal of American College Health, 2006).

 

මෙයට හේතුව නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් නිරතවීම නිසා මොළයට රුධිර ප්‍රවාහය වැඩි කිරීම, වඩා හොඳ සංජානන ක්‍රියාකාරිත්වය අධ්‍යයන කාර්ය සාධනයට උපකාරී වීමයි.

 

එසේම ඵලදායි කාල කළමනාකරන උපක්‍රම භාවිතය ක්‍රීඩාව හා අධ්‍යයන කාර්‍යයන් සමතුලිත කිරීමට වැදගත් වේ.

 

 

ක්‍රීඩාව හා වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය

 

ක්‍රීඩාවේදී අවශ්‍ය වන විනය සහ කැපවීම රැකියා ජීවිතයේ කාර්ය සාධනය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට උපකාරී වේ. කණ්ඩායම් ක්‍රියාකාරිත්වය, නායකත්වය, විනය සහ සන්නිවේදනය වැනි කුසලතා ක්‍රීඩා පිටියේ දී ඔප් නැංවෙන වෘත්තිය ජීවිතයට වටිනා ගුණාංග වේ. (International Journal of Sport Science & Coaching, 2013).

 

 

ක්‍රීඩාව මඟින් ශක්තිමත් වන සමාජ සබඳතා

 

කණ්ඩායම් ක්‍රීඩා වලට සහභාගී වීමෙන් පුද්ගලයන්ට සහයෝගයෙන් වැඩ කිරීම, ගැටුම් නිරාකරණය සහ යහපත් මිත්‍රත්වයන් ගොඩනඟා ගැනීමට උගන්වයි.

 

එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව, සමාජ සහජීවනය පෝෂණය කිරීමට ක්‍රීඩාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ක්‍රීඩාව තුළින් ඉස්මතු කෙරෙන අන්‍යෝන්‍ය ගෞරවය, සාධාරණත්වය සහ කණ්ඩායම් ක්‍රියාකාරකම්වල වටිනාකම් ක්‍රීඩා පිටියෙන් ඔබ්බට සහ එදිනෙදා ජීවිතයට විහිදෙන අතර, සමාජ සම්බන්ධතා සහ වැඩි දියුණු කරයි. (United Nations Chronicle, 2020).

 

ක්‍රීඩාව හා ජීවිතය සමබර කරගැනීමෙහි ලා ඔබේ කැපවීමට බොහෝ අගනා ප්‍රතිලාභ ලැබෙන බව දැන් ඔබට පැහැදිලිය. 

අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ, ජීවිතය යනු පුදුමයන්ගෙන් පිරී පවතින්නකි. ඔබ යමකට දැඩිව ආදරය කරන විට එය ඔබට කෙදිනක හෝ ලැබෙනු ඇත.

 



"අනිවාර්‍යෙන්ම එය ඔහුට සැබෑ වූ සිහිනයකි. දෛවය ක්‍රියාත්මක වන ආකාරය පුදුමාකරයි. ඇමරිකා එක්සත් ජනපදයට T20 ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ ඔවුන් සත්කාරක රට වන බැවිනි. එසේ නොමැතිනම් ඔවුන්ට තරඟාවලියට සුදුසුකම් ලැබීමට අවස්ථාවක් කොහෙන් ද? ඔහු මුම්බායිවලින් ඇමෙරිකාවට සංක්‍රමණය වූ පසුව ICC සුදුසුකම් ලැබීමේ නීතිය ද වෙනස් විය. ඔවුන් එය වසර හතක් වෙනුවට එය වසර තුනකට අඩු කළේය. එය සෞරබ්ට වාසිදායක විය. ඔහුගේ දෛවයේ කුමක් තිබුණත්, ඔහුට එය ඉබේම ලැබුණි.”

 

සෞරබ්ගේ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඔහුගේ පියා නරේෂ් පැවසීය.

 

ඉතින් ඔබත් ඔබ දැඩිව ආදරය කරන ක්‍රීඩාව සමඟින් ඔබේ අධ්‍යාපනික හා වෘත්තිය ජීවිතය සමබර කරගැනීමේ පිටියට අවතීර්ණ වන්න. ජීවිතයේ සුපර් ඕවරය ඔබටත් අදහා ගත නොහැකි විස්මිත ජයග්‍රහණ අත්කර දෙනු නොඅනුමානය.



Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments