වෙනස් හැකියා ඇත්තන්ගේ ධෛර්යයේ කතාන්දරයේ අවසානය

වෙනස් හැකියා ඇත්තන්ගේ ධෛර්යයේ කතාන්දරයේ අවසානය

වසර සතරක් පැරාලිම්පික් උළෙලක විචිත්‍රත්වය අපේක්ෂාවෙන් සිටි අපට අනපේක්ෂිත සතුරෙකු වන් වූ කොවිඩ් ව්‍යසන තත්ත්වය නිසා තවත් වසරකුත් ඒ සඳහා කල් මැරීමට සිදුවිණි. අති සුවිශේෂී වූ වෙනස් හැකියාවැති අපේම සොයුරු කැලකගේ ක්‍රීඩා මංගල්‍යය 2020 Summer Paralympics උළෙලේ අවසානය මෙලෙස උදා වීඇත. සිය දිවියේ පැමිණි අපමණ බාධා හේතුවෙන් වැසී යන්නට, මැකී යන්නට තිබූ ජීවිත රැසක අපමණ ධෛර්‍යයේත් ශක්තියේත් අධිෂ්ඨානයේත් කතාන්තරයයි පුරා සති 2ක් තිස්සේ අප ඉදිරියේ දිගහැරුණේ. 

මෙවර Summer Paralympics උළෙලේ අවසන් උත්සවය පවත්වනු ලැබූයේ Tokyo හි Japan National Stadium හිදීය. එහි ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ ගෞරවය හිමි වූයේ පුරා වසර 11ක් ලෝක වාර්තාවක් සිය නම ඉදිරියෙන් සටහන් කරගෙන සිටින්නාවූ මෙවර Summer Paralympics උළෙලේ එකම ශ්‍රී ලාංකික කාන්තා නියෝජනය කුමුදු ප්‍රියංකා මහත්මියටයි. 

අවසන් උළෙලේදී ටෝකියෝ හි නගරාධිපතිනිය වන යුරිකෝ කොයිකේ මහත්මිය විසින් පැරාලිම්පික් ධජය අන්තර්ජාතික පැරාලිම්පික් කමිටු සභාපති ඇන්ඩෲ පාර්සන්ස් මහතා හටද ඔහු විසින් එය 2024 Summer Paralympics උළෙල පැවැත්වෙන පැරිස් නගරයේ නගරාධිපතිනිය වන ඈන් හිඩල්ගෝ මහත්මියටද ලබා දීමෙන් අනතුරුව ප්‍රංශ ජාතික ගීය ගායනා කිරීමද විශේෂ අවස්තාවක් විය. 

අයදුම්කරුවන් 5500ක් අතුරින් අතිදක්ෂයන් 89 දෙනෙකු පමණක් තෝරාගනිමින් සිදුකරන ලද අවසන් උළෙලේ ඉදිරිපත්කිරීම් වලදීද වෙනස් හැකියාවැති පුද්ගලයන්ගේ කලාත්මක හැකියාවන් විදහා පෑමට ජපානය සිය පරිකල්පනාත්මක චින්තනය භාවිත කල අතර ලෝකයේ විවිධත්වය ගෙනහැර පාන ඇඳුම් විලාසිතා ද සිය විවිධත්වයේ සංකල්පය මතුකිරීමට ඔවුන් භාවිත කළහ. ලොව සාමාන්‍ය සහ ආබාධිත යයි පුද්ගල දෙකොට්ඨාශයක් නොමැති බවත්, සිටින්නේ හැකියාවෙන් විවිධ වූ විවිධත්වයෙන් යුතු මිනිස් ප්‍රජාවක් පමණක් බවත් කියාපාන Inclusion and Diversity සංකල්පය තේමා කරගත් මෙවර Summer Paralympics අවසන් උළෙලේදී ජපානය ඒ බව සිය නිර්මාණශීලීත්වය යොදාගනිමින් මනාව ලොවට විදහා පෑමට සමත්විය.

මෙවර Summer Paralympics උළෙල ශ්‍රී ලංකාවටද ඉතිහාසයේ පෙර නොවූ විරූ සුවිශේෂී උළෙලක් විය. ඒ අපට ප්‍රථම වරට Olympic උළෙලකදී අපගේ ජාතික ගීය වාදනය වනු ඇසීමට මග පෑදූ දිනේෂ් ප්‍රියන්ත විරුවා නිසාවෙනි. ඉතිහාසයේ පළමු වරට ලෝක මට්ටමේ ශූරතාවලියකදී ලක් මව රනින් කිරුළු පැළඳ වූ ඔහු පමණක් නොව කිනම් හෝ Olympic උළෙලකදී පළමු වරට ශ්‍රී ලංකා නාමය ඉදිරියෙන් පදක්කම් දෙකක් සටහන් කිරීමට දායක වූ එකම ක්‍රීඩකයා ඔහුය. එලෙසම මව්බිම ලෝකඩ පදක්කමකින් සැරසූ සමිත දුලාන් විරුවා ද ඒ ගෞරවයේ කොටස්කරුවෙක් ලෙස විශේෂයෙන් සිහිපත් කළ යුතුය. යම් විටෙක අවසන් මොහොතේදී ජයග්‍රහණය අත හැරුණද සිය උපරිම දක්ෂතාවයන් වාර්තා කරමින් සමන් සුබසිංහ, කුමුදු ප්‍රියංකා, සම්පත් බණ්ඩාර, පාලිත බණ්ඩාර, සම්පත් හෙට්ටිආරච්චි, මහේෂ් ජයකොඩි සහ රන්ජන් ධර්මසේන යන මහත්ම මහත්මීන්ද තම උපරිමයෙන් ලක් මාතාවට යුතුකම් ඉටු කළ බව සිහිපත් කල යුතුය. 

ඉදින් 2020 Tokyo Summer Paralympics උළෙලේ ස්වර්ණමය මතකයන්ද උගත් පාඩම්ද සිහියේ තබා ගනිමින් අපි 2024 Paris Summer Paralympics උළෙල පැවැත්වෙන තෙක් දෑස් දල්වා බලා හිඳිමු.

-Lasith Gaurav-


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments