බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව නැවතත් ශ්‍රී ලංකාවට

බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව නැවතත් ශ්‍රී ලංකාවට

බටහිර ආසියානු බේස්බෝල් තරගාවලිය පසුගිය ජූලි 15 වනදින සිට 20 වනදින දක්වා දියගම ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව ක්‍රීඩාංගනයේ දී පැවැත්විනි. 14 වන වරට පැවති මෙම තරගාවලිය සදහා A කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, ඉන්දියාව හා නේපාලයත් B කාණ්ඩය යටතේ පකිස්තානය, ඉරානය හා බංගලාදේශය යන රටවල් තරග වැදුනු අතර එහිදී ශ්‍රී ලංකාව හා පකිස්තානය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය. මෙහිදී අවසන් මහා තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකාව ලකුණු 5-4 ක් ලෙස ජයග්‍රහණය හිමි කරගෙන සමස්ත ශූරතාවය තමා සතු කරගනීමින් මව්බිමට මහත් අභිමානයක් ගෙන ඒමට සමත් විය.

පකිස්තානු කණ්ඩායමට අවසන් මහා තරගයේ සත්කාරකත්වය හිමි වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පිතිකරණයේ නිරත විය. නායක සමීර රත්නායක සමගින් මනරම් පිතිකරණයක නිරිත වූ ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩකයින් තම නියමිත දැවීම් 3 අවසානයේ ලකුණු 3ක් රැස්කර ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ලෙස පකිස්තාන කණ්ඩායම කිසිදු ලකුණක් ලබා ගනීමට අපොහොසත් විය. 

තරගයේ දෙවන,තෙවන,සිව්වන හා පස්වන ඉනිම් සඳහා පිතිකරණයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත දැවීම් 3 අවසානයේදී කිසිදු ලකුණක් තම පිළට එක් කර ගැනීමට අපොහොසත් වූ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පකිස්තානු කණ්ඩායමට ද එකඳු ලකුණක් වත් ලබා නොදීමට කටයුතු කරමින් සමස්ත ලකුණු සටහනේ ලකුණු ප්‍රමාණය 3-0 ක් ලෙස පවත්වා ගැනීමට කටයුතු කළහ. තෙවන ඉනිමේදී නායක සමීර රත්නායක මැද පිටියෙහි සිට දිවයමින් දක්ෂ ලෙස රැකගත් උඩ පන්දුව නැවත පළමු බේසය වෙත යොමු කර දැවීම් දෙකක් (Double out) ලබාගැනීමට සමත් වීම කැපී පෙනුනි.

තරමක් තරගකාරී ඉනිමක් වූ සයවන ඉනිම සඳහා එක් ලකුණක් එක් කරගැනීමට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පකිස්තානුවන් සමත් වෙද්දී ඉනිම අවසානයේ සමස්ත ලකුණු 3-1 ක් ලෙස සටහන් විය. කණ්ඩායම් දෙකෙහි හත්වන ඉනිමද කිසිදු පිළකට ලකුණු ලබාගැනීමට නොහැකි වූ ඉනිමක් වූ අතර දැඩි තරගකාරී ස්වරූපයක් දැරූ අටවන ඉනිමේදී ශ්‍රී ලංකා පිළ ලකුණු 2ක් ද පකිස්තානු පිළ ලකුණු 2ක් ද ලබා ගනිමින් ඉනිම අවසානයේ සමස්ත ලකුණු ලෙස ලකුණු 5-3ක් ලබා තවදුරටත් ලකුණු අතරින් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය.

ජයග්‍රහණය උදෙසා ඉතාම තීරණාත්මක ඉනිම වන අවසන් ඉනිමේදීද ප්‍රථමයෙන් පිතිකරණයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිම අවසානයේ කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වූ අතර දිනුම සඳහා ලකුණු 3 ක් හඹා යාමට අරමුණු කරගනිමින් ඇරඹුණු පකිස්තානුවන්ගේ පිළිතුරු ඉනිම එක් ලකුණකට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂ ක්‍රීඩා විලාශය හේතු විය. මෙසේ නිමවූ නමවන ඉනිම අවසානයීදී ලකුණු 5-4 ක් ලෙස පකිස්තානු පිළ පරාජය කරමින් බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව අඛණ්ඩව දෙවන වරටත් දිනා ගැනීමට ශ්‍රී ලංකා බේස්බෝල් ශූරයින් සමත් විය.



Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments