ශ්‍රී ලාංකීය ක්‍රිකට් වංශකතාවේ අන්තර්ජාතික සළකුණ- 'සංගා'

ශ්‍රී ලාංකීය ක්‍රිකට් වංශකතාවේ අන්තර්ජාතික සළකුණ- 'සංගා'

නම ඇසූ සැණින් බාල මහලු සැමගේ මතකයට එන, සැවොම එකසේ ආදරය කරන සංගා 2011 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධ කාරණයක් නිසාවෙන් නැවතත් කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්ව සිටියි. ක්‍රීඩාවට ආදරය කරන, සංගාට ආදරය කරන ඔබ සැම වෙනුවෙන් ඔහුගේ ජීවිත කතාව සහ විශේෂයෙන්ම ඔහු හා සබැඳි පාසල් මෙන්ම විශ්ව විද්‍යාල මතකයන් සමග ක්‍රීඩාවට අත්පොත් තැබූ ආකාරය පිළිබඳව MoraSpirit අපි සොයාබැලීමක් කළෙමු. ඔහු විසින් ලබාගත් ජයග්‍රහණ සහ පිහිටවූ වාර්තා පිළිබඳ ලිපි බහුල සමයක ඔහු ක්‍රීඩාවට නැඹුරු වූ කාලය ප්‍රධාන කොටගෙන ඔහුගේ ක්‍රීඩා දිවිය ඇගයීමකට ලක් කිරීම ක්‍රීඩාවට ලැදි ඔබ සැම මහත් සෙනෙහසින් වැළඳගනු ඇති බව අපගේ බලාපොරොත්තුවයි.


1977 ඔක්තෝම්බර් මස 27 වන දින මාතලේදී උපත ලද කුමාර් චොක්ශානන්ද සංගක්කාර ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුළ සදා නොමැකෙන නාමයක් වනු ඇතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත. කුමාරි සුරංගනා මහත්මියගේ මාතෲත්වයෙන්ද ස්වර්ණකුමාර සංගක්කාර මහතාගේ පීතෲත්වයෙන්ද දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙස උපත ල ඔහු අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි. පාසලේදී සංගා සෑම අංශයකින්ම පාහේ දක්ශතා දැක්වූ සිසුවෙක් විය.

 

ඔහු කුඩාකල ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව ටෙනිස් සහ බැඩ්මින්ටන් ක්‍රීඩාවලින්ද දස්කම් දක්වා ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගෙන ඇත. තවද පිහිණුම් ක්‍රීඩාවෙන්ද දක්ශතා පෙන්වූ ඔහු ක්‍රීඩාවට උපන් හපන්කම් ඇති අයෙක් බව නැවත නැවතත් සනාථ කර තිබේ. එසේම කුඩා කල වයලීන් වාදනය සහ පොත්පත් කියවීමට වැඩි රුචිකත්වයක් දැක්වූ ඔහු ඉගෙනීමටද දක්ශයෙකු විය. පාසලේදී උපනන්ද ජයසුන්දර සහ බර්ටි විජේසිංහ යන පුහුණුකරුවන් යටතේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ ඔහු ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් 13 න් පහළ, 15න් පහළ, 17න් පහළ මෙන්ම 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් සඳහා ක්‍රීඩා කර ඇත. තවද 1996 දී කලා අංශයෙන් උසස්පෙළ විභාගයට මුහුණ දුන් ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට සුදුසුකම් ලැබීය. එකල වසරකට දිවයිනෙන්ම නීති පීඨයට සුදුසුකම් ලැබූයේ 200ක පමණ පිරිසක් වන අතර මෙය ඔහු තුළ පැවති අධ්‍යාපන සුදුසුකම් බෙහෙවින්ම කියාපාන අවස්ථාවක් ලෙස දැක්විය හැක. තවද පාසල් සමයේ නායකත්ව ගුණාංගවලින් හෙබි පුද්ගලයෙකු ලෙස පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරද දැරූ සංගා චතුර ඉංග්‍රීසි කථිකයෙකු ලෙස කා අතරත් ජනප්‍රිය චරිතයකි. මෙලෙස සෑම ක්ෂේත්‍රයකම පාහේ දස්කම් දැක්වූ ඔහු පාසල් සමයේදී ත්‍රිත්ව විද්‍යාලයෙන් පිරිනමන උසස්ම සම්මානය වන The Ryde Gold Medal සමග The Trinity Lion සම්මානය දිනාගැනීමට සමත් විය. පසු කලෙක මුත්තයියා මුරලිදරන් ගේ පුහුණුකරු වූ සුනිල් ප්‍රනාන්දු මහතාගේ මාර්ගෝපදේශනය හරහා සංගා ක්‍රිකට් ක්‍රීඩාවේ දිගු ගමනක් සඳහා මුලපිරීය.


කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වීමෙන් පසුවද සංගා තම ක්‍රීඩා කටයුතු කරගෙන ගියේය. සැවොම දන්නා පරිදි ඔහු දක්ෂ වමත් පිතිකරුවෙක් මෙන්ම විශේෂඥ කඩුළු රකින්නෙකි. නමුත් පාසල් සමයේත් ඉන්පසුත් ඔහු දකුණත් පිට දඟ පන්දු යවන්නෙක් ලෙස කටයුතු කර තිබේ. කොළඹ විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් 2003 වසරේදී රුහුණ විශ්ව විද්‍යාලය සමග පැවති අන්තර් විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ තරගයකදී ඔහු පන්දුවාර 8කදී නිලකුණු පන්දුවාර 4ක්ද සමගින් ලකුණු 12ට කඩුළු 2ක් දවාගෙන පන්දුවෙන් දස්කම් දක්වා ඇත. මොරටුව විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී රුහුණු කණ්ඩායම ලකුණු 143කට සීමා කිරීමට ඔහුගේ පන්දු යැවීම මහඟු අත්වැලක් වූ අතර පිත්තෙන්ද ලකුණු 30ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය දක්වා මෙහෙයවීය. මේ කාලය වන විට ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමද නියෝජනය කරමින් සිටි ක්‍රීඩකයෙක් ලෙස මෙලෙස තම විශ්ව විද්‍යාලය වෙනුවෙන්ද ක්‍රීඩා කිරීම ඇගයිය යුත්තකි.

 

කෙසේ වෙතත් සංගාට ක්‍රිකට් සඳහා වැඩිපුර කාලයක් යෙදවීමට සිදුවීම නිසා තම නීති උපාධිය සම්බන්ධ ඉගෙනීම් කටයුතු තාවකාලිකව නතර කිරීමට සිදුවිය. මෑතකදී ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අෂ්වින් සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී සංගා කියා සිටියේ එකල අවසන් විභාග සඳහා දේශන වල 60%ක සහභාගීත්වයක් අත්‍යවශ්‍යව පැවති අතර ඔහුට ශ්‍රී ලංකා A කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද එම කාලයේදීම ලැබීම නිසා දේශනවලට නිතිපතා සහභාගී වීම අපහසුවූ බැවින් ක්‍රිකට් හෝ උපාධිය යන දෙකෙන් එකක් තෝරගැනීමට ඔහුට සිදු වූ බවයි. එහිදී ඔහු ක්‍රිකට් තෝරා ගත්තද පසුකාලීනව තම උපාධියද සම්පූර්ණ කිරීමේ අභිප්‍රායක් පැවති බව 2015දී ප්‍රකාශ කර තිබුණි. 2019 පැවති අන්තර් විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේද කුමාර් සංගක්කාරයි.


1997දී අශෝක ද සිල්වා මහතාගේ පුහුණුකාරීත්වය යටතේ NCC ක්‍රීඩා සමාජය සමඟ තම ක්‍රීඩා දිවියේ වෘත්තිමය අන්තය ඇරඹූ සංගා ජාතික කණ්ඩායමට පැමිණීම ඔහු සතුවූ හැකියාවත් යම් ආකාරයක වාසනාවත් යන දෙකෙහිම බලපෑමකි. NCC ක්‍රීඩා සමාජයේ ඔහු හා සමකාලීන දැවැන්තයින් තිදෙනෙකු වූ අනිල් රිදීගම්මනගෙදර, අසේල පතිරණ, සංජීව ජයරත්න යන අයට ජාතික කණ්ඩායමේ ස්ථාන ලබාගැනීමට හැකියාවක් නොතිබූ අවධියක තමන්ට මෙම අවස්ථාව ලැබීම පිළිබඳව පුදුමයට පත් වූ බව NCC ක්‍රීඩා සමාජ වාර්ෂික උත්සවයකදී සංගා මතක් කර සිටීම ඔහුගේ නිහතමානීත්වය පෙන්නුම් කරයි. 1998 වසර වන විට ශ්‍රී ලංකා A කණ්ඩායමේ ස්ථානයක් වෙන් කරගන්නා ඔහු 98/99 තරඟවාරයේදී දකුණු අප්‍රිකාවේ පැවති තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සීමිත ඕවර තරඟයකදී ලබාගත් ලකුණු 156ක ඉනිම ඔහුව ජාතික කණ්ඩායමට කැඳවීමට හේතු වූ ප්‍රධාන ඉනිමයි. එම කාල වකවානුවේදී 1999 ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට නවකයින් කැඳවමින් තිබිණ. මෙහිදී එවක පුහුණුකරු ඩේව් වට්මෝර් විසින් කඩුළු රකින පිතිකරුවෙකු ලෙස සංගා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත් කෙරිණි. මෙහිදීද මතභේදාත්මක තත්ත්වයක් පැවතියේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ හදවතට ඉතා කිට්ටු චරිතයක් වූ රොමේෂ් කලුවිතාරණ වෙනුවට සංගා ආදේශ වීම නිසාවෙනි. නමුත් ටික කාලයකින් 'කලූ' ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු සංගාගේ ස්ථානය තහවුරු විණි. 2000 වසරේ ජූලි 5 වන දින පාකිස්ථානයට එරෙහිව තම මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ ඔහු එම වසරේම ජූලි 20 වන දින දකුණු අප්‍රිකාවට එරෙහිව මංගල ටෙස්ට් තරඟයට සහභාගී විය.


සංගා තමා මුහුණදුන් දෙවන එක්දින තරගයෙන්ම දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 85ක් ලබාගෙන තරගයේ වීරයා සම්මානය ලබාගත්තද මුල් කාලයේදී නොම්මර 6 හෝ 7 පිතිකරුවා ලෙස පිටියට පිවිසීම හේතුවෙන් ඔහුට පැවතියේ ලකුණු 25ක පමණ ලකුණු සාමාන්‍යයක් පමණි. නමුත් 2003 ලෝක කුසලාන තරගාවලියේදී ඔහු එම ස්ථානයේ දක්ශතා අතර නොසිටීමත් අරවින්ද, හශාන් යුගලය එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැන්මත් සමග සංගාට නොම්මර 3 පිතිකරණ ස්ථානය හිමි වූ අතර ඔහු තමාව ජාතික කණ්ඩායමට තේරීම ඉතා නිවැරදි බව පෙන්වා දෙමින් ඉතා වටිනා ක්‍රීඩා දිවියක් ආරම්භ කරන ලදී.

 

 

ඔහු තම ක්‍රීඩා දිවිය අවසන් කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 404කදී ශතක 25ක් සහ අර්ධ ශතක 93ක් සමගින් ලකුණු 41.98ක සාමාන්‍යයක් රඳවා ගනිමින් මුළු ලකුණු 14234ක හිමිකාරීත්වයක් සමගිනි. එසේම අතිවිශිෂ්‍ට ටෙස්ට් පිතිකරුවෙකු ලෙස ඔහු තරග 134කදී ශතක 38ක් සහ අර්ධ ශතක 52ක් සමගින් ඔහු මුළු ලකුණු 12400ක් ලබාගත්තේ ලකුණු 57.4ක ඉහළ සාමාන්‍යයක් සහිතවයි. ඉනිමක උපරිම ටෙස්ට් ලකුණ ලෙස බංග්ලාදේශයට එරෙහිව ලකුණු 319ක් රැස් කළ ඔහු ද්විත්ව ශතක 11කට හිමිකම් කියයි. තවද දුර්වල විනිසුරු තීරණයක් නිසා ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 192කට දැවීයාම සහ පකිස්ථානය හමුවේ ලකුණු 199ක් ලබාගෙන සිටියදී අනෙක් අන්තයේ සිටි පිතිකරුවන් සියලුදෙනා දැවීයාම නිසා ඔහුට අහිමි වී ගිය ද්විත්ව ශතක දෙක ලබා ගැනීමට හැකිවූයේ නම් ඔහුට ද්විත්ව ශතක 12ක් ලබාසිටින ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ව පවා අභිබවා යාමේ හැකියාව තිබිණි. 2006 ජුනි 15 එංගලන්තයට එරෙහිව T20 වරම් දිනාගත් සංගා තරග 56කදී අර්ධ ශතක 8ක් සමගින් ලකුණු 1382ක් ලබාගෙන තිබේ. 2014 T20 ලෝක කුසලාන තරගාවලිය පුරාවටම අසාර්ථක වූ සංගා කණ්ඩායමට අවශ්‍යම මොහොතේ, තම අවසාන විස්සයි විස්ස තරගය අමතක නොවන එකක් කරගනිමින් අවසන් මහා තරගයේදී ලකුණු 52ක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය දක්වා රැගෙන ගියේ තරගයේ වීරයා බවට පත්වෙමිනි.


සංගා සතුවන වාර්තා සහ ලබාගෙන ඇති සම්මාන අතරින් ප්‍රධානතම කිහිපය පිළිබඳ විස්තර දැනගනීමට ඔබ කැමැත්තෙන් පසුවේ යැයි අපි විශ්වාස කරමු. එක්දින තරගවලදී කඩුළු රකින්නෙක් ලෙස ලොව වැඩිම දවාගැනීම් සංඛ්‍යාවකට හිමිකම් කියන්නේ සංගාය. තවද නොකඩවා පැවති එක්දින තරග 4කදී ශතක 4ක් ලබාගෙන ඇත්තේද සංගක්කාර පමණි. ඔහු එම දක්ශතාව දැක්වූයේ 2015 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදීය. තවද ටෙස්ට් පිටියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පැවැත්වූ ඉහළම සම්බන්ධතාවය වන්නේ සංගා මහේල සමග එක්ව දකුණු අප්‍රිකාවට එරෙහිව තෙවැනි කඩුල්ල සඳහා පිහිටවූ ලකුණු 624ක සම්බන්ධතාවයයි. ටෙස්ට් තරඟ 4කදී නොකඩවා ලකුණු 150 ඉක්මවා ගිය එකම ක්‍රීඩකයා වන්නේද සංගා පමණි. තවද ටෙස්ට් ලකුණු 8000,9000,11000,12000 අඩුම ඉනිම ගණනකදී ලබාගත් ක්‍රීඩකයා වන්නේද ඔහුයි. ඔහු ලෝක එක්දින පිටියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන ස්‍ථානයත් ටෙස්ට් පිටියේ හයවන ස්ථානයත් ලබාගෙන සිටියි. 2007 එක්දින ලෝක කුසලානය, 2009,2012,2014 T20 ලෝක කුසලාන සියල්ලෙහි අවසන් මහා තරගය දක්වා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වූ සංගා 2011 එක්දින ලෝක කුසලානයේ අනුශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීය. ඔහු ලබාගත් සම්මාන අතර 2012 දී විස්ඩන් වසරේ ක්‍රීඩකයා, වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සහ ජනතාවගේ ක්‍රීඩකයා යන සම්මාන ත්‍රිත්වයම ලබාගැනීම අප රටට ඉමහත් ගෞරවයකි. තවද 2011,2013 වසර දෙකෙහි වසරේ එක්දින ක්‍රීඩකයා සම්මානය දිනාගැනීමද අගය කළ යුතුය. 2011 වසරේදී ලෝක ප්‍රසිද්ධ MCC Spirit of Cricket දේශනය සිදුකළ සංගා ඒ සඳහා ක්‍රීඩාවේ යෙදී සිටින අයෙක් නිර්දේශ වූ ප්‍රථම අවස්ථාවට හිමිකම් කීවේය. තවද ලොව පුරා ක්‍රීඩා සමාජ ගණනාවකට ක්‍රීඩා කළ ඔහු අවසන් සමයේ එංගලන්තයේ සරේ ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ඉතා ඉහළ දක්ශතා පෙන්නුම් කරන ලදී. ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් පසු 2019 වසරේදී සංගාව එංගලන්තයේ ප්‍රකට ක්‍රීඩා සමාජයක් වන මෙල්බර්න් ක්‍රිකට් කවුන්සිලයේ (MCC) සභාපති ලෙස පත්කෙරුණු අතර එම තනතුරට පත්වූ ප්‍රථම බ්‍රිතාන්‍ය නොවන ජාතිකයාය. මෙසේ දැක්වූයේ ඔහු සතු වාර්තා සහ සම්මාන ඉතා කිහිපයක් පමණක් වන අතර ඔහු රට වෙනුවෙත් ලැබූ ජයග්‍රහණ අතිමහත්ය.


අපගේ ලිපිය අවසානයේදී වර්තමාන තත්ත්වය පිළිබඳවද වචනයක් එක් කිරීමට කැමැත්තෙමු. 2011ලෝක කුසලානයේ අවසන් තරගයේදී තරග පාවාදීමක් සිදුවූ බවට එක්තරා දේශපාලකයෙක් විසින් චෝදනාවක් එල්ල කර තිබේ. එහි විමර්ෂණ කටයුතු සඳහා එවක නායක සංගක්කාරගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. නමුත් අවසානයේ ප්‍රකාශවලින් පෙනීගොස් ඇත්තේ ක්‍රීඩකයින් හරහා එබඳු තරග පාවාදීමක් සිදුව නොමැති බවයි. නමුත් මේ පිළිබඳව ලෝකය පුරා කතිකාවතක් ඇති වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් වලට එය කළු පැල්ලමකි. ප්‍රශ්නය වන්නේ එම චෝදනාව හදිසියේම වසර 9කට පසුව එල්ල කිරීමයි. නමුත් අපේ ක්‍රීඩකයින් නිර්දෝශී වග අපි විශ්වාස කරමු. කුඩා කල සිට අපව ක්‍රිකට් තරගවලට පෙළඹවූයේ ඔවුන්‍ ය. ලංකාවේ නම ලෝකය පුරා බැබලවූයේ එම ක්‍රීඩකයන්‍ ය. දේශපාලන මැදිහත්වීමකින් තොරව ක්‍රීඩාව නිවැරදි දිශානතියක් ඔස්සේ යාමට කාලය එළඹ ඇත. තවද රට වෙනුවෙන් මහඟු මෙහෙවරක් කළ මේ ක්‍රිකට් විරුවන්ට නිසි ඇගයීමක්, වටිනාකමක් ලැබිය යුතුබව MoraSpirit අපේ හැඟීමයි. ඒ සඳහා වචනයකින් හෝ දායක වීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වෙමු. සංගා ලෝක ප්‍රකට MCC දේශනයේදී කරන ලද කතාවක් ඇසුරින් මෙම ලිපිය අවසන් කිරීමට බලාපොරොත්තු වෙමු.


"All the Sri Lankans are my people. I am Tamil, Sinhalese, Muslim and Burgher. I am a Buddhist, a Hindu, a follower of Islam and Christianity. I am today, and always, proudly Sri Lankan."



Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments