දකුණු ආසියානු කඟවේණාගේ ටෝකියෝ සම්ප්‍රාප්තිය

දකුණු ආසියානු කඟවේණාගේ ටෝකියෝ සම්ප්‍රාප්තිය

සුවහසක් ලෝක වාසී ක්‍රීඩා ලෝලීන්ගේ මහා මංගල්‍යය, 2021 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වීමට ඇත්තේ දින කිහිපයක් පමණි. 1890දී ග්‍රීසියෙන් ඇරඹි ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරින් වසර ලොව සෑම රටකම ප්‍රේක්ෂක සිත් ඇද බැඳගනිමින් අති සාර්ථක මෙන්ම ලොව දැවැන්තම ක්‍රීඩා මංගල්‍යය ලෙසින් කිරුළු දරයි. 2020දී ආරම්භ වීමට නියමිතව පැවතුනද, කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දමන්නට යෙදුණු මෙවර ඔලිම්පික් තරගාවලිය මේ වසරේ ජූලි මස 23 වන දින සිට අගෝස්තු මස 8 වන දින දක්වා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.


මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකි. අපගේ මේ ලිපිය සබැඳෙන්නේ ඒ අතරින් මෑත කාලයේ ඔබ අප සැමගේ ගෞරවාදරයට පත්වූ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමගයි.


යුපුන් උපත ලබන්නේ 1994 දෙසැම්බර් මස 31 වන දිනයි. පන්නල ජාතික පාසලෙන් සහ වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද යුපුන් මුල් කාලයේදී තුන්පිම්ම ක්‍රීඩාව සඳහා යොමු වී තිබෙනවා. එහිදී ඔහු වයස 17න් පහළ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේදී සිව්වන ස්ථානය දිනාගැනීම ඔහු ලද පළමු ජාතික මට්ටමේ ජයග්‍රහණයයි. තම ක්‍රීඩා හැකියාවන් හේතුවෙන් වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයට පිවිසීමෙන් අනතුරුව මීටර් 100x4 සහය දිවීමේ ඉසව්වට සහභාගී වීමේ අවස්ථාව යුපුන්ට හිමිවෙනවා. මේ අවස්ථාවේදී තම පුහුණුකරු වූ චමින්ද සම්පත් මහතාගේ මග පෙන්වීම යටතේ මීටර් 100 දිවීමේ ඉසව්ව සඳහාද යුපුන් පුහුණුවීම් ආරම්භ කිරීම ඔහුගේ ක්‍රීඩා දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස හැඳින්විය හැකියි. 2015දී තම පළමු ජාත්‍යන්තර තරග ජයග්‍රහණය ලෙස ලෝක ආරක්ෂක ක්‍රීඩා තරගාවලියේ මීටර් 100x4 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට යුපුන් සමත් වෙනවා.


2015 නොවැම්බර් මාසයේදී වැඩිදුර පුහුණුවීම් සඳහා යුපුන් ඉතාලිය බලා පිටත් වෙනවා. එතැන් පටන් තම හැකියාවන් පියවරෙන් පියවර දියුණු කරගැනීමට ඔහු සමත් වෙනවා. එතැන් පටන් හොඳ පුහුණුකරුවන්ගේ මගපෙන්වීම සහ ක්‍රීඩාවට අවශ්‍ය තාක්ෂණික සහය නොඅඩුව ලබාගන්නා යුපුන් තම දක්ශතාවයන් ඔප්නංවා ගනිමින් කෙමෙන් කෙමෙන් ක්‍රීඩා ජීවිතයේ ස්වර්ණමය යුගයක් කරා තම ගමන ආරම්භ කරනවා. 2019 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී යුපුන්, හිමාෂ ඒශාන්, විනෝජ් සුරංජය හා චානුක සංදීප එක්ව වසර 15ක් පැරණි දකුණු ආසියාතික මීටර් 100x4 තරග වාර්තාව බිඳ හෙළමින් තත්පර 39.14ක කාලයකදී එම ඉසව්ව නිම කිරීමට සමත් වූවා. තම ගමනේ එක් සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2020 වසරේ සැප්තැම්බර් 8 වන දින දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යන නාමය තමන් සතු කරගැනීමට ඔහු සමත් වෙනවා.

ජර්මනියේ Dessau හි පැවති අන්තර්ජාතික මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 ඉසව්වේදී තත්පර 10.16ක කාලයක් වාර්තා කරමින් ඔහු තමන් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්වෙනවා. ඒ සමගම 2020 ස්විට්සර්ලන්ත Gala De Caste1 ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියේදී මව්බිමට මීටර් 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා දීමට ඔහු සමත් වෙනවා. 2021 ජනවාරි 24 වන දින ඉතාලියේ අන්කෝනා හි පැවති ලෝක ගෘහස්ථ මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 60 දිවීමේ ඉසව්ව සඳහා තත්පර 6.59ක කාලයක් වාර්තා කරමින් යුපුන් එම ඉසව්වේද ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කරගන්නවා. ඉන් නොනැවතුනු යුපුන් 2021 මැයි මාසයේදී නැවත වරක් ඉතාලියේදී මීටර් 100 ඉසව්ව සඳහා තත්පර 10.15ක කාලයක් වාර්තා කරමින් තම පැරණි වාර්තාව අලුත් කරනවා. එලෙසම මැයි මාසයේදී ජර්මනියේ පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී තත්පර 10.09ක දක්ශතාවයක් ඔහු දක්වන අතර සුළඟේ වේගය(+2.2) සැලකිල්ලට ගනිමින් එය "ඕනෑම තත්ත්වයක්" යටතේ දකුණු ආසියානු මළල ක්‍රීඩකයෙක් මීටර් 100 ඉසව්ව සඳහා පෙන්වූ හොඳම කාලය ලෙස සනිටුහන් වෙනවා. 2021 ජුනි මාසයේදී ෆ්ලෝරන්ස් හි පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී ලෝක මට්ටමේ ක්‍රීඩකයින් සමග උරෙනුර ගැටෙන යුපුන් මීටර් 100 ඉසව්ව තත්පර10.16කින් නිම කරමින් සිව්වන ස්ථානය දිනා ගන්නේ තෙවැන්නාට වඩා තත්පර 0.001ක කාලයක් පසුපසින් හිඳිමින් වීම විශේෂත්වයක්. එසේ ඩයමන්ඩ් ලීග් තරගාවලියක් සඳහා තරග වැදි ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස යුපුන් වාර්තා පොත් අතරට එක් වෙනවා. 


මෙලෙස ජය කෙහෙළි නංවමින් ඉදිරියට පැමිණි යුපුන් ජූලි මාසයේදි තම ටෝකියෝ ඔලිම්පික් සිහිනය සැබෑ කරගැනීමට සමත් වෙනවා. ප්‍රසාද ලකුණු 1203ක් ලබාගෙන ලෝක ශ්‍රේණිගත කිරීම් අතර 51 වන ස්ථානයේ රැඳී සිටි ඔහු මෙවර ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 ඉසව්ව සඳහා සුදුසුකම් ලද ක්‍රීඩකයින් 55 අතරින් දැනට 45වන ස්ථානයේ රැඳී සිටිනවා. තම ප්‍රසාද ලකුණු හා ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙලට සෘජුව තේරීපත් වූ එකම ක්‍රීඩකයා ඔහු වන අතර 1996න් පසු ශ්‍රී ලාංකිකයෙකු මීටර් 100 ඉසව්ව සඳහා සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙය ලෙස වාර්තා වෙනවා. 


මෙම සුවිශේෂී ක්‍රීඩකයාගේ ගමනට සහය වී ඔහුගේ ජයග්‍රහණ සඳහා මහත් කැපවීමක් කළ ඔහුගේ පවුලේ සැමදෙනා සහ පාසල් සමයේ පටන් මේ දක්වා ඔහුගේ පුහුණුකරුවන් සියලු දෙනා මෙම ජයග්‍රහණයේ කොටස්කරුවන් ලෙස දැක්විය හැකියි. පාසල් සමයේදී දිනේෂ් බණ්ඩාර, චමින්ද සම්පත් යන මහත්වරුන්ගේ පුහුණුකාරීත්වය ලද යුපුන් දැනට ඉතාලි ජාතික Claudio Liciardello යටතේ පුහුණුවීම් සිදුකරනවා. ආරක්ෂක ක්‍රීඩා තරගවලදී ශ්‍රී ලංකා යුධ හමුදාවට අනුබද්ධව යුපුන් පුහුණුවීම් සිදු කර තිබෙනවා. 


අවසාන වශයෙන් ක්‍රීඩාවට ලැදි සෑම ශ්‍රී ලාංකිකයෙක්ගේත් Moraspirit අප සැමගේත් බලාපොරොත්තුව වන්නේ මේ කෙටි දුර ධාවකයාගේ සියලු කටයුතු සාර්ථක කරගෙන ලක්මවට ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා යන්නයි.


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments