ක්‍රීඩා විද්‍යාව තවදුරටත් අරුමයක් නොවන්නට...

ක්‍රීඩා විද්‍යාව තවදුරටත් අරුමයක් නොවන්නට...

ඔබ, මම අතරින් බොහොමයක් දෙනා කුඩා කාලයේදී සුළුවෙන් හෝ ක්‍රීඩාවට නැඹුරු වෙන්නැති. පාසලේ විවේකයක් ලැබුනු විගසම එකා වගේ ක්‍රීඩා පිටියේ දුව පැන ඇවිදින්නැති. නමුත් කාලයත් සමග අප බොහොමයක් දෙනා ක්‍රීඩාව\ට සමු දීමට තීරණය කරන්නේ ක්‍රීඩාව යනු අධ්‍යාපනය හැදෑරීමට සීමා පනවන තවත් එක් බාධකයක් ලෙස අසන්නට, දකින්නට පෙළඹීම නිසාවෙන්. කනගාටුවට කාරණය වන්නේ තවමත් අප සමාජයේ බහුතරයක් දෙනා මේ මතය නිවැරදියි කියා පිලිගැනීමයි. නමුත් තමන් කුමන විෂය ධාරාව හැදෑරුවත්, කුමන පාසලකට ගියත් ක්‍රීඩාවට කැමති, අධ්‍යාපනයටත් කැමති ක්‍රීඩාව සේම අධ්‍යාපනයද සමබර කරගෙන ඉදිරියට යාමට කැමති දරුවන් සඳහාම වෙන්වූ විශේෂ උපාධි පාඨමාලාවක් වර්තමානය වන විට ලෝකයේ ඉතාම විශාල අවධානයක් දිනාගන්නට සමත් වෙලා තියෙනවා. ඒ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධි පාඨමාලාවයි. 

ඇත්තටම මොකක්ද මේ ක්‍රීඩා විද්‍යාව  කියන්නේ. කෙටියන් ගත්තොත් ක්‍රීඩා විද්‍යාව කියන්නේ ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා කාර්‍යසාධනය උපරිම කිරීම කරනේ කෙසේද යන්න අධ්‍යයනය කිරීමයි. එය physiology, psychology, biomechanics සහ nutrition  යන අංශ ගණනාවක එකතුවක්. මේ හරහා  බොහෝදුරට උත්සහා දරන්නේ වෘත්තීය අංශ ගණනාවකින් ඉදිරියට යාමට හැකි දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහි කිරීමයි. මෙහිදී මෙම පාඨමාලා මගින් බොහෝවිට න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමට කටයුතු කරනවා. ක්‍රීඩකයෙකුට මෙන් ම ක්‍රීඩාවට ලෙංගතු ඕනෑම අයෙකුට මෙවැනි අධ්‍යාපනික සුදුසුකමක් හරහා ලැබෙන පන්නරය මගින් ක්‍රීඩා පිටියේදී විශේෂ පිටිවහලක් ලැබෙනවා. ක්‍රීඩකයෙකුගේ ඉහලම දක්ෂතාවයන් එලිදක්වන්නේ කෙසේද, ඉතාම ත්‍රීව පුහුණු වාරයන් ගනනාවකදී පවා එක ලෙස ක්‍රීඩා කාර්‍ය සාධනය පවත්වා ගන්නේ කෙසේද, නිවැරදි සෞඛ්‍ය මට්ටමක් දිගින් දිගටම පවත්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද, හදිසි අනතුරක දී නිවැරදි ලෙස physiotherapy එකක් ලබා දෙන්නේ කෙසේද, වැනි තවත් බොහෝ වෘත්තීමය දැනමුතුකම් මේ මගින් යාවත්කාලීන වෙනවා.

ක්‍රීඩකයෙක් යනු බොහෝවිට ක්‍රීඩා පිටියේදී ඉතාම සක්‍රීය චරිතයක් වන්නට පුළුවන්. ක්‍රීඩාවේදී දක්වන එම ක්‍රියාශීලීත්වයම සමාජය සමග ගනුදෙනු කිරීමේදී යොදා ගැනීමටද හැකිනම් එය විශේෂ හැකියාවක්. ලොව පිලිගත් ඕනෑම විශ්වවිද්‍යාලයක ක්‍රීඩා විද්‍යාව වැඩිදුර හදාරන්නෙකුට මේ සම්බන්ධයෙන් නිවැරදි හා වැඩිදුර මගපෙන්වීමක් ලැබෙනවා. එලෙසම මිනිසුන් හා මනාව ගනුදෙනු කරන්නෙ කෙසේද, ඔවුන්ගේ ආචාරධර්ම පවත්වා ගත යුත්තේ කෙසේද, වෘත්තීමය සමාජය ඉදිරියේ ශක්තිමත්, උරෙන් උර ගැටෙන අනාගත නායකයෙකු වන්නේ කෙසේද යන සියල්ලම ක්‍රීඩා විද්‍යා විෂය ධාරාව යටතේ ශිෂ්‍යයයෙකුට අධ්‍යයනය කල හැකියි. මෙම ක්‍රියා පටිපාටිය සඳහා leadership development programmes, presentations, English improvement programmes, Business workshops යනාදී විවිධ වැඩමුළු ඔබ වෙනුවෙන්ම පැවැත්වීම සිදු කරනවා. ක්‍රීඩාවෙන් බිහිවන පෞරුෂයකින් හෙබි දරුවන් සමාජය ඉදිරියේ කැපී පෙනෙන පුද්ගලයන් බවට ක්‍රමක්‍රමයෙන් පත් කිරීම මේ හරහා සිදු කරන බවට ඒ අනුව පැහැදිලි වනවා.

වර්තමානයේ ලොව බොහොමයක් පිලිගත් විශ්වවිද්‍යාලවල මේ පාඨමාලාව ප්‍රචලිත වී ඇති අතර ශ්‍රී ලංකාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින්ද මේ උපාධි පාඨමාලාව අධ්‍යයනය කිරීමට සිසු සිසුවියන්ට ඉඩහසර වෙන් කර තිබෙනාවා. වර්තමානයේදී, එහි ව්‍යවහාරික විද්‍යා පීඨය ( faculty of applied sciences) යටතේ මෙම ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධි පාඨමාලාව[ B.Sc.(Special) in Sports Science and Management]  ප්‍රදානය කිරීම සිදු වෙනවා. 2013 වර්ෂයේ සිට හඳුන්වා දෙන ලද මෙයට, අධ්‍යයන  පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගය සඳහා කලා, වාණිජ, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ තාක්ෂණික විෂය ධාරාව යන  ඕනැම විෂය ධාරාවකින් ලබා ගත යුතු නියමිත Z අගය ලබා ගත් සිසුන්ට අයදුම් කිරීමේ හැකියාව තිබෙනවා. එසේ අයදුම් කල ශිෂ්‍යයන් අතරින් කුසලතා පරීක්ෂණයෙන් (Aptitude test) සමත්වන සිසු සිසුවියන් 50- 60 ත් අතර පිරිසකට මෙම අධ්‍යයන පාඨමාලාවට ඇතුලත් වීමට වරම් ලබා ගත හැකියි. 

සාමාන්‍යයෙන් ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධි පාඨමාලාවක් වසර 3 කට හෝ හතරකට සීමා වෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි පාඨාමාලාව වසර 4 කට සීමා වෙද්දී ප්‍රධාන ලෙසම ක්‍රීඩා කලමණාකරණය, ක්‍රීඩා විද්‍යාව, සහ ක්‍රීඩා යන විෂය ක්ෂේත්‍ර ආවරණය කිරීමක් සිදුකරනවා.එම මූලික අංශ තුන යටතේ තවදුරටත් Physiology, Psychology, General anatomy, Nutrition, Sports medicine, forensic science in sports, sociology, Performance analysis, Sports biomechanics වැනි අනු විෂයයන් හැදෑරීමට ශිෂ්‍යයන්ට වැඩි දුරටත් අවස්ථාව ලැබෙනවා. ඒ අනුව සමස්තයක් ලෙස ගත් විට මේ ක්‍රීඩා පාඨමාලාව හරහා විෂය සමගාමී ලෙසම විෂය බාහිර ක්‍රියාකාරකම් ද මනා ලෙස සමබර කිරීමක් සිදු කරන බව පැහැදිලියි

මූලික වශයෙන් සම්පූර්ණ උපාධි පාඨමාලාවටම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පීඨයේ, ව්‍යවහාරික විද්‍යා පීඨයේ, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ, වෛද්‍ය විද්‍යා පීඨයේ සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනයේ ද දායකත්වය ලබා ගන්නවා.

බහුතරයක් දෙනා ක්‍රීඩා ක්ෂේත්‍රයේ දිගුකාලීනව නිරතවීමට යම් පසුබට වීමක් දැක්වීමට මූලිකම හේතුව වන්නේ අනාගත වෘත්තීය අවස්ථාවන් ගැන නිවැරදි අවබෝධයක් නොමැති වීමයි. මේ හේතුව නිසාම අති දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ක්‍රීඩාවට සමු දී ඇති බවද නොරහසක්. නමුත්, වර්තමානය වන විට ක්‍රීඩා සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල අංශවල පැහිදිලි විහිදීමක් දක්නට පුලුවන්. උදාහරණයක් ලෙස බොහෝදෙනා දැන් සිය කායික සුවතාවය පවත්වාගැනීමට සහ ශරීරයේ හැඩය පවත්වා ගැනීමට ඉහල උනන්දුවක් දක්වනවා. මෙය පිරිමි සහ ගැහැනු බේදයකින් තොරවම කැමැත්තක් දක්වන එක් විලාසිතාවක් බවට පත් වී හමාරයි. එම නිසා ක්‍රීඩාවේ දස්කම් දක්වන ශිෂ්‍යයයෙකු මෙවැනි අධ්‍යාපනික සුදුසුකමක් ලබා ගැනීම මගින් ඔහුට විවර වන රැකියා අවස්ථා ගනන විශාලයි. 

එක් ප්‍රධාන වටිනාකමක් වන්නේ ක්‍රීඩාවට අදාල වෘත්තීන්ට අමතරව කලමණාකරණය වැනි වෘත්තීන්ට පිවිසීමට ද මෙම උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කිරීමෙන් ඔබට අවස්ථාව ලැබීමයි. ඒ අනුව ඔබේ කැමැත්ත අනුව මූල්‍ය ක්ෂේත්‍රයේ හෝ ක්‍රීඩා ක්ෂෙත්‍රයේ හෝ වෙනත් ඉහල ක්ෂෙත්‍රයක වෘත්තීය ගමනක් ආරම්භ කිරීමට අවශ්‍ය ශක්තිමත් අඩිතාලමක් ක්‍රිඩා විද්‍යා හා කළමනාකරණ උපාධි පාඨමාලාවක් මගින් ඔබට හිමි කර දෙනවා.

ක්‍රීඩා ගුරුවරුන්, පෝෂණවේදීන්, කාර්‍ය සාධක විෂ්ලේෂකයන්, ක්‍රීඩා පුහුණුකරුවන්, ක්‍රීඩා චිකිත්සකයන්, ක්‍රීඩා පරිපාලකවරුන් සහ ශාරීරික අධ්‍යාපන පුහුණුකරුවන් හා ගුරුවරුන් වැනි පිලිගත් ක්‍රීඩා වෘත්තීන්ගේ සේ ම කළමනාකරුවන් හා ව්‍යවසායකයන් වැනි වාණිජ අංශයට සම්බන්ධ රැකියාවක නිරතවීමට ද මේ අනුව ඔබට වරම් ලබා ගත හැකියි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධි පාඨමාලාව හැදෑරීමෙදී එහි ක්‍රීඩා විද්‍යා පීඨ ශිෂ්‍ය එකමුතුව, TOSS ( The Team of Sports Science ) යටතේ ක්‍රිඩා විද්‍යාව හදාරන ශිෂ්‍යයන්ගේ විෂය සමගාමී දැනුම , විෂය බාහිර ක්‍රියාකාරකම් , පෞරුෂත්ව සංවර්ධන වැඩසටහන්, වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් ඒවාය අවශ්‍ය මගපෙන්වීම ලබා දීමත් සිදු කරනවා. මෙම සමාජ මෙහෙවර ක්‍රියාත්මක කිරීම සඳහා "ක්‍රීඩා වෛද්‍ය ආයතනය" ( Institute of Sports medicine ) ලබා දෙන සහයෝගයද මෙහිදී විශේෂයෙන් පැසසීමට ලක් කල යුතුයි. මෙම වැඩසටහන් මාලාව හරහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සේම ක්‍රීඩාවට ලැදි පාසල් ශිෂ්‍යයන්ටද අවශ්‍ය කරන දැනුම, කුසලතා, ආකල්ප සංවර්ධනය කිරීමද විශේෂත්වයක්.

Moraspirit අනාගතයේ දී ක්‍රීඩා විද්‍යා ගමන්මග තෝරා ගැනීමට බලාපොරොත්තු වන සැමට හදවතින්ම සුභ පතන අතරම මේ ලිපිය සම්පාදනය කිරීමේදී විශේෂ දායකත්වයක් නොඅඩුව ලබා දුන් ආදරණීය ඇදුරුතුමිය, ආචාර්ය පියුමි පෙරේරා මහත්මියට අපගේ හද පිරි ස්තූතිය පුද කර සිටිනවා.

එසේනම් ක්‍රීඩාවට පෙම් බඳින, ක්‍රීඩාව සමග උරෙන් උර ගැටෙන, ක්‍රීඩාවේ නව මානයන් සොයා යන Moraspirit චාරිකාවේ මීලඟ නැවතුම්පොළෙන් යලිත් හමු වෙමු.


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments