පරාජය හමුවේ ධෛර්යයෙන් ලොවක් දිනූ කරුණානන්ද

පරාජය හමුවේ ධෛර්යයෙන් ලොවක් දිනූ කරුණානන්ද

ඒ 1964 ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් උළෙලයි. ඓතිහාසික ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලියේ 18 වන දිගහැරුම ලෙස සටහන් වූ මෙම තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6 දෙනෙක් සහභාගී වූහ. ඒ අතර සිටි එකම මලල ක්‍රීඩකයා වූයේ ශ්‍රී ලංකා දිගු දුර ධාවන ශූර රණතුංග කරුණානන්දයි. එහිදී ඔහු පිරිමි මීටර් 5000 සහ 10000 ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටියේ ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමේ සොඳුරු සිහිනයද සමගිනි.

පිරිමි මීටර් 10000 ඉසවුවේ තරඟ ආරම්භයට සියල්ල සූදානම්ව තිබූ අතර කරුණානන්ද ද තම සීමාවේ සූදානමින් සිටියේය. මෙම තරඟය ඔහුට ඉතා අභියෝගාත්මක එකක් වූයේ එවකට දිගු දුර ධාවන ඉසව් තුළ නම් දැරූ රටවල් වූ ඇමරිකා එක්සත් ජනපදය¸ ඕස්ට්‍රේලියාව¸ ඉතියෝපියාව වැනි රටවල ප්‍රභල ක්‍රීඩකයින්ද එයට සහභාගී වූ නිසාවෙනි. එබැවින් දකුණු ආසියාවේ එකම නියෝජනය ලෙස කරුණානන්ද මෙම ඉසව්2වට සහභාගී වීමද ඔහු ලද ජයග්‍රහණයකි.

විනිසුරු සංඥාවෙන් තරඟය ආරම්භ වූ අතර ක්‍රීඩකයින් එකිනෙකා පරයමින් තම දීර්ඝ ගමන ආරම්භ කළ අතර තරඟය කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙද්දී කරුණානන්දට තරමක පසුබෑමකට ලක්වීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිවාදීන් 10 වන වටය ගමන් කරද්දී කරුණානන්ද 9 වන වටය ධාවනය කරමින් සිටියේය. කාලය තවත් ඉදිරියට ඇදෙද්දී අවසානයේ ඇමරිකා ඒක්සත් ජනපදයේ බිලී විල්ස් නව ලෝක වාර්තාවක්ද පිහිටුවමින් මෙම තරඟ ඉසව්වේ ජය වාර්තා කරමින් රන් පදක්කමේ හිමිකරු බවට පත්විය. ඒ සමගම අනෙක් තරඟකරුවන්ද පිළිවෙලින් තම තරඟය නිමාවට පත් කළහ.‍

මේ අතර තරඟයේ ජය සංකේත ප්‍රධානයට සියල්ල සූදානම් වුවද ඊට බාධා කරමින් එක් තරඟකරුවෙක් තවමත් ධාවන පථයේ දුවමින් සිටියේය. තමාට ඉතිරිව ඇති වට 4 තවමත් සම්පූර්ණ කරමින් එහි රැඳී සිටියේ වෙන කිසිවෙක් නොව කරුණානන්දයි. රැස්ව සිටි පිරිසට මෙය අමුතුම ආකාරයේ විහිළුවක් බවට පත්වූ අතර මොහොතකින් අවඥා සහගත හූ හඬවල් ප්‍රේක්ෂකාගාරයෙන් නිකුත් විය. ඒ කිසිවක් මායිම් නොකළ මෙම ධෛර්යවන්තයා රටේ අභිමානය වෙනුවෙන් තම ගමන දිගටම මෙහෙයවූ අතර තරඟ අවසානයට ඔහුට වට දෙකක් ඉතිරිව තිබියදී ප්‍රේක්ෂකාගාරයට කරුණානන්දගේ ශ්‍රේෂ්ට තරඟකාරීත්වය වැටහුණි. ඒ සමගම කිහිපදෙනෙකුගේ අත්පොළසන් හඬ අවදිවූ අතර මිනිත්තු 32 තත්පර 21.2 ක කාලයක් වාර්තා කරමින් කරුණානන්ද තම තරඟය අවසන් කළේ අසුනින් නැගී සිටි ප්‍රේක්ෂකාගාරයේ දැවැන්ත අත්පොළසන් හඬ මධ්‍යයේය.

මෙලෙස එදින මෙම තරඟ ඉසව්ව සියැසින් දුටු දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ට අමතක නොවන සොඳුරු මතකයක් එක් කරමින් ශ්‍රී ලංකා නාමය ලොවක් ඉදිරියේ අභිමානයට පාත්‍ර කිරීමට කරුණානන්ද සමත් වූ අතර පසුදා වන විට මෙය ලෝකය පුරා ක්‍රීඩා පුවත්වල ප්‍රධානතම මාතෘකාවක් ලෙස කතාබහටද ලක්විය. එමෙන්ම එම තරඟ ඉසව්ව ජයග්‍රයණය කළ බිලී විල්ස් විසින් තමා දිනාගත් රන් පදක්කමේ නියම හිමිකරු කරුණානන්ද බවද ප්‍රකාශ කරමින් ඔහුව ඇගයීමට ලක් කළේය. සත්කාරක ජපානය ක්‍රීඩාවේ බිහිවූ සර්වකාලීන වීරයෙක් ලෙස ඔහුව සැළකු අතර පසු කලෙක ජපන් පාසල් පෙළපොතේ පිටු කිහිපයක්ද කරුණානන්ද වෙනුවෙන් වෙන්වුණි.

අසීමිත වූ කැපවීම් මැද ඔලිම්පික් සිහිනය සැබෑ කරගෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ බිමට පිවිස පරාජය හමුවේ වුවද තරඟය අත් නොහැර මව්බිමේ අභිමානය ලොවක් ඉදිරියේ විදහා දැක්වූ කරුණානන්ද සැබැවින්ම මෙරට ක්‍රීඩාවට මහත් පූර්වාදර්ශයකි. 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වෙන මේ මොහොතේ ඒ සඳහා සහභාගී වන සියළු ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම අනාගතයේ මෙරටින් බිහිවන සියළුම ක්‍රීඩක චරිතද කරුණානන්ද මෙන් ශ්‍රී ලංකා නාමය බබළවනු දැකීම ක්‍රිඩාලෝලී අප සැමගේ බලාපොරොත්තුවයි.


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments