පැසිපන්දු ක්‍රීඩාවෙන් කැලණි සරසවියට කිරුළු පැළඳූ හදවත් දිනූ පුහුණුකරු

පැසිපන්දු ක්‍රීඩාවෙන් කැලණි සරසවියට කිරුළු පැළඳූ හදවත් දිනූ පුහුණුකරු

ක්‍රීඩාවෙන් විශිෂ්ටයෙක් වීම කියන්නෙ නොයෙකුත් බාධක අභියෝග මැදින් ගමන් කළ යුතු දිගු ගමනක්.ඒ සඳහා ක්‍රීඩකයාගේ ධෛර්යය හා කැපවීම පමණක් නොව හොඳ මගපෙන්වීමකුත් අත්‍යවශ්‍ය වෙනවා.ඒ නිවැරදි මගපෙන්වීම ලබාදීමට ක්‍රිඩකයාගේ හැකියාවන් වර්ධනය කරමින් ආකල්ප වැඩිදියුණු කිරීම සිදුවන්නේ හොඳ පුහුණුකරුවෙක් අතින් පමණයි.


විශ්වවිද්‍යාල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ අද්විතීය ක්‍රීඩකයින් බිහිකිරීමට උරදුන් ක්‍රීඩකයින්ගේ හදවත් වල රැඳුණු පුහුණුකරුවන්ට උපහාරයක් වශයෙන් Moraspirit⁩ අප සංවිධානය කළ අදියර කිහිපයක් යටතේ පවත්වනු ලැබූ Coach of the Heart තරඟාවලිය පසුගිය දිනවලදී සාර්ථකව නිමාවට පත්වුණා. මේ වෙනස්ම තරඟ ඉසවුව තුළ 5 වන වටයේ ජයග්‍රාහකයා ලෙසන් කැලණිය විශ්වවිද්‍යාලයේ පැසිපන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කරන විනුර ඉලංගසිංහ මහතා තේරී පත්වුණා. මේ සොඳුරු පුහුණුකරු සමග හරවත් වූ සුහද සංවාදයක යෙදීමට අපට අවස්තාව ලැබුණා.


මෙම තරඟාවලියේ 5 වන වටයේ ජයග්‍රාහකයා වීම පිළිබඳ ඔබට උණුසුම් සුභපැතුම් පිරිනමන අතර ඒ පිළිබඳ ඔබේ හැඟීම දැනගන්න අපි කැමතියි…


ඇත්තටම සතුටුයි 5 වන අදියර දිනන්න පුළුවන් වුණ එක ගැන.මම ඇත්තටම හිතුවෙ නෑ දිනන්න පුළුවන් වෙයි කියලා.මූලිකවම විශ්වවිද්‍යාලයේ අපේ කට්ටිය තමයි facebook like ටික එහෙම අරං තිබ්බෙ.මම දැක්කා ලොකු තරඟයක් තිබුණා අනිත් පුහුණුකරුවන් එක්ක.ජයග්‍රහණ කරා කියලා දැනගත්තම ගොඩක් සතුටු වුනා.


ඔබ පැසිපන්දු ක්‍රීඩාවට අත්පොත් තැබීම සහ පාසල් කාලයේ සිට ලද ජයග්‍රහන පිළිබඳ පැරණි මතකය අවදි කළොත්…


මගේ පාසල නාලන්ද විද්‍යාලය.මම 3 වසරෙදි තමයි පැසිපන්දු ක්‍රීඩාවක් විදියට පටන්ගත්තෙ. ඒ වෙද්දි අපේ පන්තියෙ ගොඩක් අය පැසිපන්දු සෙල්ලම් කරා.කාරියවසම් ගුරුතුමිය තමයි අපේ පංතිභාර ගුරුතුමිය විදිහට හිටියෙ.මල්ලියි මමයි නිවුන් සහෝදරයො.ඒ ගුරුතුමිය තමයි මටයි මල්ලිටයි පැසිපන්දු වලට එන්න කියලා මුලින්ම ආරාධනා කළේ.  අපි 13න් පහළ සමස්ථ ලංකා සිව්වන ස්ථානය ලබා ගත්තා.16 පහළ සමස්ථ ලංකා අවසන් වටය දක්වා යෑමට අපි සමත් වුනා. 17න් පහළ සමස්ථ ලංකා තුන්වන ස්ථානය ලබා ගැනීමට සමත් උනා..19න් පහළ කාණ්ඩයේ ද පලමු වසර තුන්වන ස්ථානය සහ අවසන් වසර අනුශුරතාවයත් ලබා ගැනීමට සමත් වුනා.


පුහුණුකරුවෙක් වීමේ ඔබේ ගමන ආරම්භ වුණේ කොහොමද?


මම පාසලේ ක්‍රීඩා නායක විදිහට කටයුතු කරන අතරෙ අපේ පාසලේ පැසිපන්දු කණ්ඩායමේ හිටපු සහය පුහුණුකරු ඉවත් වෙලා තිබ්බා.මම දිගටම පැසිපන්දු පුහුණුවීම් වල යෙදි සිටින අතර හිටපු පුහුණුකරු මා සහාය පුහුණුකරු වශයෙන් තොරා ගත්තා..ඉන්පසු  මා නිල වශයෙන් සහය පුහුණුකරු විදියට කටයුතු කලා..එතනින් තමයි මගේ ගමන ඇරඹුණේ.ඊට ගොඩක් කාලෙකට පස්සෙ තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ පැසිපන්දු පුහුණුකරු තනතුර ලැබුණෙ.දැනට ආනන්ද විද්‍යාලයෙත් පුහුණුකරුවෙක් වශයෙන් ද කටයුතු කරනවා.


එදා සිට අද දක්වා පුහුණුකරුවෙක් ලෙස ලද අමතක නොවන ජයග්‍රහන ගැන කිව්වොත්....


අපි පාසල් කාලයේ ලබපු සමස්ථ ලංකා තරඟ ජයග්‍රහණ වලින් පස්සෙ පාසලේ පැසිපන්දු තරඟ ජයග්‍රහනවල යම් පසුබැසීමක් ඇතිවුණා.ඉන් පස්සෙ තමයි අජිත් සර් සමග  සහය පුහුණුකරු ලෙස කණ්ඩායම දියුණු කරන්න මහන්සි උනේ.එතන ඉඳන් අපිට කිහිප වතාවක්ම සමස්ථ ලංකා අවසන් පූර්ව තරඟ දක්වා කණ්ඩායම් මෙහෙයවන්න හැකියාව ලැබුණා ඒ කාලෙ වෙද්දි තිබුණ ලොකු තරඟකාරීත්වයත් අපට ලොකු අභියෝක් උනා.


කැලණිය සරසවියේ පැසිපන්දු පුහුණුකරු වශයෙන් පත්වීම සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?


කැලණිය විශ්වවිද්‍යාලයේ පුහුණුකරු වශයෙන් මම පත්වුණේ ගිය අවුරුද්දෙ විශ්වවිද්‍යාලය ක්‍රීඩා උළෙලට  මාස කිහිපයකට කලින්.ඒ වන විට කැළණිය කණ්ඩායමේ පුහුණුකරු ඉවත්වී පුහුණුකරුවෙක් නොමැතිව මාස 4ක් පමණ ගත වී තිබුණා. .ඒ වගේ තත්වයක් මත කැළණී කණ්ඩායම ක්‍රීඩා උළෙලහි කන්ඩායම් තරග වලදී  ප්‍රබල ජපුර කණ්ඩායමට හොඳ අභියෝගයක් ලබා දීමට අපි සමත් වුනා.අපි පරාජ වුනේ ලකුණු 8ක් වැනි සුළු ප්‍රමාණයකිනි. .අපිට එහි අර්ධ අවසන් පුර්ව වටය දක්වාම එමටත් හැකියාව ලැබුණා.කැලණියෙ හොඳ කණ්ඩායමක් ඉන්නවා ඉස්සරහට හොඳ තරඟයක් ලබාදෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා.


තරුණ පුහුණුකරුවෙක් වශයෙන් විශ්වවිද්‍යාල ක්‍රීඩකයින් සමග ඔබ ලබන අත්දැකීම ගැන පැවසුවොත්….


ඇත්තටම කැලණිය සරසවියේ  සෑහෙන්න මිත්‍රශීලි ක්‍රීඩකයො කණ්ඩායමක්  ඉන්නෙ.මම කොහොමත් ගහලා බැනලා ක්‍රීඩකයින් හදාගන්න විදියෙ කෙනෙක් නෙවෙයි.නිතරම ඒගොල්ලො එක්ක හොඳ සමීප ඇසුරක් තමයි පවත්වාගෙන යන්නෙ.අපි පුහුණුවීම් වලදි උනත් හොද ප්‍රබොදයක්  තියාගන්නවා.ඒක අනිවාර්යෙන් තියෙන්න ඕන මොකද ඔවුන් කැම්පස් එකක ඉගෙනගන්න ළමයිනෙ.උදේ ඉඳන් ඉගෙනගෙන හවසට පුහුණුවිමි වලට එනකොට එතනදි ඔවුන්ට මානසික ආතතියක් ඇතිවෙන්න දෙන්න බෑනෙ.එහෙම උනොත් ක්‍රීඩාව එපාවෙනවා.අපේ පැසිපන්දු ක්‍රීඩාපිටිය  තියෙන්නෙත් සරසවියේ මැද හරියෙ වගේ.ඉතින් නිතරම පුහුණුවෙන අතරෙ වෙනත් අය ඒවා බලන්නත් එනවා ඔවුන් එක්ක කතාකරනවා.ඒ නිදහස ඔවුන්ට තියෙනවා.තරඟයකට යද්දිත් ඔවුන්ට අවශ්‍ය මානසික නිදහස හැමවෙලේම ලබාදෙනවා.


විශ්වවිද්‍යාල සිසුවෙකුට ක්‍රීඩාවේ ඇති වැදගත්කම සහ අධ්‍යාපනය හා ක්‍රීඩාව සමබරව පවත්වාගෙන යාම ගැන ඔබේ අදහස කුමක්ද?


සාමාන්‍යයෙන් ළමයි කැම්පස් එකට එන්නෙ අධ්‍යාපනය මූලික කරගෙන.එවිට ඔවුන්ට ඒ වැඩ අතරෙ ක්‍රීඩාවත් කරගෙන යන්න නම් අනිවාර්යෙන් මනසට නිදහසක් අවශයයි..කැලණිය සරසවියේ  නම් ගොඩක් ළමයි එක ක්‍රීඩාවක් හරි කරනවා.මම දකින දේ තමයි එයාලා පුහුණුවීම් වලදි සහ තරඟවලදි ලබන අත්දැකීම් එක්ක අධ්‍යාපනයත් සමබරව පවත්වා ගෙන යනවා..ගොඩක් වෙලාවට අධ්‍යාපනයෙ ප්‍රායෝගික පැත්තෙනුත් ඔවුන් ගොඩක් ඉදිරියෙන්..මම විශ්වවිද්‍යාල පුහුණුකරුවෙක් ලෙස ලැබූ අත්දැකීම් අනුව අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යන්න ක්‍රීඩාව ලොකු උදව්වක් වෙනවා.


ඔබේ දැක්මට අනුව විශිෂ්ට ක්‍රීඩකයෙක් වීම සඳහා සිහින දකින යොවුන් ක්‍රීඩකයින් වෙත ලබාදෙන උපදෙස කුමක්ද?


අනිවාර්යෙන් ලොකු කැපවීමක් තියෙන්න ඕන.එහෙම නැතුව ඒ තැනට යන්න අමාරුයි.ඒ වගේම පුහුණුවීම් වෙලාවට හරියට ඒවයෙ යෙදෙන්න ඕන.කෑම බීම ගැනත් සැළකිළිමත් විය යුතුයි.ඒ වගේම ක්‍රීඩාව තුළ හොඳ විනයක් පවත්වා ගැනීමත් වැදගත්.


ක්‍රීඩකයින්ගේ හදවතේ රැඳුණු පුහුණුකරුවෙක් විදිහට ක්ෂේත්‍රයේ අනෙක් පුහුණුකරුවන්ට ලබාදෙන පණිවිඩය කුමක්ද?


දැන් ගොඩක් ක්‍රිඩාවන් වලදි වෙන්නෙ පුහුණුකරුවන්  ක්‍රීඩකයින්ට බනිනවා, ඒක ක්‍රීඩකයො තරඟ දිනන්න බලකරනවා  වගේ දෙයක්.නමුත් මම හිතන්නෙ අප පුහුණුකරුවන් විදිහට ඉන්නෙ ඒ ක්‍රීඩකයාට කරන්න පුළුවන් දේ බලලා ඒක වැඩිදියුණු කරන්න උත්සහ කරන එක.ක්‍රීඩකයාට හොඳම දක්ෂතාවයෙ පෙන්වන්න අවශ්‍ය නිදහස දෙන්න ඕන.ඒ වගේම විශ්වවිද්‍යාල ක්‍රීඩකයින්ට නම් අධ්‍යාපනයට අවශ්‍ය ඒ වැඩවලට නිදහස දෙන්න ඕන ඕනම වෙලාවක.


ක්‍රීඩා භූමිකාවට අමතරව පෞද්ගලික ජීවිතය ඔබ විඳින්න කැමති කෙසේද?


මම ඉඩ ලැබෙන හැම වෙලාවකම කැමති කොහේහරි ඇවිදින්න යන්න.ට්‍රිප් එකක් ගිහිල්ලා එදිනෙදා වැඩවලින් එන ආතතිය ටිකක් මගහැරගන්න පුලුවන්.ඒ වගේම අවශ්‍ය මානසික නිදහසත් ලබාගන්න පුළුවන්.


ඔබේ හැකියාව සහ අත්දැකීම් අනුව ක්‍රීඩාව නිසා ජීවිතයට එකතු වූ බොහෝ දේ ඇති.ඒ ගැනත් යමක් පවසමු…


මම පොඩිකාලෙ ඉඳලම ක්‍රීඩාවත් එක්ක ගතකර නිසා කණ්ඩායමක් විදියට වැඩ කරන්නත් දිනුම පැරදුම දරාගන්නත් ඉගෙනගත්තා.ජීවිතේ ගොඩක් ප්‍රශ්නවලදි ඒවට සාර්ථකව මුහුණදෙන්න ක්‍රිඩාශිලී මනස ගොඩක් වැදගත් වෙනව.ඒ වගේම කණ්ඩායමක් එක්ක වැඩ කරන්න සිදුවන වෙලාවට ක්‍රීඩාවෙන් ලැබෙන ඒ කණ්ඩායම් හැඟීම නිසා ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙනවා.කෙනෙක් ප්‍රශ්නයක් වුණාම හැසිරෙන තීරණ ගන්න විදියෙන් කියන්න පුළුවන් එයා ක්‍රීඩාවල නිරත වුණ කෙනෙක්ද නැද්ද කියලා.


මේ අවස්තාව ඔබ මෙතෙක් ලද සාර්ථකත්වය පසුපස සිටින අමතක නොවන චරිත ගැන මතක් කරන්න…


මුලින්ම මතක් කරන්න ඕන මගේ අම්මයි තාත්තයි.මේ තැන ඉන්නෙ මුලින්ම ඒ දෙන්නා නිසා.විශේෂයෙන්ම ගොඩක් අම්මලා තාත්තලා කැමති වෙන්නෑ පුහුණුකරුවෙකු වෙනවා කිව්වම මොකද ඒයාලා ගොඩක් කැමති අපි හොඳ ජොබ් එකක් කරනවා දකින්න.ඒත් මගේ අම්මා මට කැමති මම දක්ෂ දේ කරන්න නිදහස දුන්නා.


ඒ වගේම නාලන්ද විද්‍යාලයේ පොඩිකාලෙ ඉඳලා මගේ පුහුණුකරු ලෙස හිටපු අජිත් කුමාර සර්ව මතක් කරන්න ඕන.දැනටත් තරඟ වලදි සර් හමුවුණාම කතාකරලා විස්තර අහනවා.ඒ වගේම ඉස්කෝලෙ කාලෙ හිටපු රුක්ෂාන් සර් දිලරුවන් සර් ශ්‍රියන්ත සර් මතක් කරන්න ඕන.


පාසල් කාලෙන් පස්සෙ මම පුහුණු වුණේ HCS Blues Club එකේ.ඒ Club එකේ හිටපු හිරාන් විජේසූරිය සර්ව විශේෂයෙන් මතක් කරනවා අපිට පහසුකම් සියල්ල ඔහු සැපයුවා.ඒවගේම ප්‍රසන්න සර් සහ හර්ෂණ සර්ව මතක් කරනවා.ඒ වගේම club එකේ හිටපු නායක නිලූ අයියවත් මිතිල අබේසේකරවත් මතක් කරන්න ඕන. ඒ වගේම club එකේ එකට පුහුණුකරුවෙක් විදහට ඉන්න ජ'පුර පැසිපන්දු පුහුණුකරු තරිඳු සර්වත් මතක් කරන්න ඕන.All Nalandians’ Basket Ball club එකේ හැමෝවම මතක් කරනවා.


අවසාන වශයෙන් මේ දක්වා මගේ ගමනට සහය දුන්න හැමෝවමත් මතක් කරනවා.


හැකියාවෙන් පරිපූර්ණ දක්ෂ ක්‍රීඩකයින් බිහිකිරීමට දායක වන පුහුණුකරුවන් අගයමින් Moraspirit අප විසින් පැවැත්වූ මේ  Coach of the Heart නවමු තරඟ ඉසවුව ගැන ඔබේ අදහස කුමක්ද?


ඇත්තටම සෑහෙන්න කාලෙකින් දැකපු දෙයක් මේක.අපි ඉස්කෝලෙ කාලෙ ඉඳලම පුහුණුකරුවන් ව අගය කරන මේ වගේ අවස්ථා දකිනව අඩුයි.මේක ඇත්තටම පුහුණුකරුවන්ට හොඳ උත්තේජකයක්.ඒ වගේම කලින් දැන අඳුරගෙන හිටියෙ නැති පුහුණුකරුවන් විශාල ප්‍රමාණයක් දැන අඳුරගන්න හැකිවුණා මේ හරහා.ඒ වගේම මම ගැනත් ගොඩක් අය අලුතෙන් දැනගත්තා මේ ජයග්‍රහනය හරහා.මම හිතනවා අවුරුද්දකට වරක්වත් මේ වගේ වැඩසටහනක් කරන එක පුහුණුකරුවන්ට  ගොඩක් වටිනවා කියලා.ඇත්තටම සතුටුයි මේ වගේ දෙයක් කරන්න හිතපු එක ගැන.


ක්‍රීඩා පුහුණුකරුවෙක් ලෙස ඉදිරි අනාගතයේදී සපුරාගැනීමට බලාපොරොත්තු වන විශේෂ ඉලක්ක ගැන සඳහන් කළොත්...


මම බලාපොරොත්තු වෙන්නෙ ඉස්සරහට හොඳ කණ්ඩායම් ටිකක් හදාගන්න.කැලණිය විශ්වවිද්‍යාලයට මෑතකදී ලබාගන්න බැරිවුණ ශූරතාවයන් ඉස්සරහදි ලබාගන්න පුළුවන් වෙන විදියට ක්‍රීඩකයින් පුහුණු කරවන්න බලාපොරොත්තු වෙනවා.මට අවශ්‍ය හොඳ ක්‍රීඩකයින් ටිකක් විශ්වවිද්‍යාල මට්ටමෙන් නිර්මාණය කරන්න.


…………………………………………….. 


ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහන අපේක්ෂා කරමින් ක්‍රීඩාවට පිවිසෙන යොවුන් විශ්වවිද්‍යාල ක්‍රීඩකයින් සඳහා අවශ්‍ය නිවැරදි මගපෙන්වීම හා පුහුණුව ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත වර්ණවත් කරමින් ඔවුන්ගේ හදවතේ රැඳුණු පුහුණුකරුවෙක් වශයෙන් ඔබ ලැබූ මෙම ජයග්‍රහණයට නැවත වරක් Moraspirit අපේ උණුසුම් සුබපැතුම් පිරිනමන අතර අප  සමග ඔබේ වටිනා අදහස් හා අත්දැකීම් බෙදා ගැනීමට එක්වීම පිළිබඳ ඔබට අපගේ ස්තූතිය පිරිනමමු.දක්ෂතාවලින් අනූන ජයග්‍රාහී ක්‍රීඩකයින් තව තවත් බිහි කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි Moraspirit අපි ප්‍රාර්ථනා කරමු.


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments